
ඔබේ සම්මාන ගොන්නට මෑතකදී එකතු වුණු සුමතිපාල අනුස්මරණ සම්මානය ගැන කියලම කතාව ආරම්භ කරමු?
ඒක ඇත්තටම සතුටට කාරණයක්. කලාකරුවන් ජීවත්ව සිටියදීම ඔවුන්ට සම්මාන, ගරු බුහුමන් ආදිය දැක්වීම වටිනවා. ජීවමානව සිටියදී ලැබෙන ඒ ඇගයීම්වලින් ඔවුන් සතුටට පත්වෙනවා. සතුට තමයි ජීවිතයේ පරම ධනය. ඒ සතුට නිසා නිරෝගී බව ලැබෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ආයුෂත් දවසකින් හෝ වැඩි වෙනවා කියන එක. ඒ නිසා එවැනි කටයුතු උතුම් සද්කාර්යයන් විධියට තමයි මම සලකන්නේ.
ලංකාවේ ජීවමාන පුරාවෘත්තයක්, නමුත් ඔබ නවකයන් සමඟත් බොහොම සුහදව වැඩ කරනවා?
මට මෙතැනට එන්න ප්‍රවීණයන් අතහිත දුන්නා. මට පළමුවෙන්ම තනුවක් නිර්මාණය කළේ වික්ටර් රත්නායකයන්. ඒ ‘මාතර ආච්චි’ චිත්‍රපටය වෙනුවෙන්. ‘සඳකඩපහණක කැටයම් ඔපලා’ ගීතයට. එතුමා බොහොම නිර්ලෝභීව ඒ තරම් ලස්සන තනුවක් මට නිර්මාණය කරලා දුන්නා. හොඳ ලස්සන තනුවකින් ගායකයෙක්ට ලැබෙන ආලෝකය ඉමහත්. ඒ වගේම අමරදේවයන් වගේ මහා ගාන්ධර්වයෙක් මාව අගය කරපු හැටි, එතුමා සමඟ පටු අදහස් නම් ගීතය ගැයීමට මට ආරාධනා කරපු හැටි මට මතකයි. ඒවා තමයි මගේ පූර්වාදර්ශ. මම අද මේ ඉන්න තැනට එන්න එවැනි ප්‍රවීණයන්ගෙන් ලබපු උපකාර, ඇගයීම් තමයි මට ආදර්ශයක් වුණේ මගෙන් පසු පරම්පරාවට මගෙන් විය යුතු දේ ඉටු කිරීමට. මට ප්‍රවීණයන්ගෙන් ලැබුණු දේ තමයි මමත් ප්‍රවීණයෙක් වෙලා නැවත මගෙන් පසු පරම්පරාවකට ලබාදෙන්නේ.
සමකාලීනයන්ට සාපේක්ෂව ඔබ තවමත් සංගීත ලෝකය තුළ බොහොම සක්‍රියයි. ඒ ගැනත් කතා කරමු?
අපි මේ ලෝකයට ඇවිත් ඉන්නේ සදාකල් ජීවත් වීමට නෙවෙයි. දවසක අපිට මේ සියල්ල අතහැර යන්නට සිදුවෙනවා. අපි නිතර අතහැරීම පුරුදු කිරීම නිසා අප තුළ තිබෙන දැඩි ආශාවන් නැති වෙනවා. ඒ ආකාරයෙන් ආශාවන් අවම වීම හරහා ඒ තුළින් අලුත් ජීවිතයක් උපදිනවා. එතැනදී අප තුළ තිබෙන කම්මැළිකම නැති වෙලා, අනුන්ව ඉවසන්න පුළුවන්, අනුන්ව අගය කරන, අනුන්ගේ සාර්ථකත්වය දැන සතුටු වන මනසක් නිර්මාණය වෙනවා. ඒකත් එක හේතුවක් කායික දුබලතා අඩු වීමට. කොහොම වුණත් අවසානයේ සිදුවන දේ තමයි මේ සියල්ල අතහැරීම. ඒක නිතර මෙනෙහි කිරීමෙන් අපේ සිත නිරෝගී වෙනවා. සිත නිරෝගී වෙනවා කියන්නේ ගත නිරෝගී වෙනවා කියන එක. ඒක තමයි මම හිතන්නේ හේතුව.
ඔබේ පළමු ගීතය ‘සඳකඩපහණ’ ලංකාවේ ගීත කලාවේ ස්වර්ණමය ලකුණක්. මෙහි අර්ථය ගැන විවිධ අදහස් පළවෙනවා. ඇත්තටම මෙහි තේරුම කුමක්ද?
මේ ගීතය ලියන්නේ මගේ වැඩිමල් සහෝදරයා සතිශ්චන්ද්‍ර එදිරිසිංහ. එහි සැබෑ අරුත වන්නේ පෙම්වතාට සිය පෙම්වතිය අහිමි වීම. ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ තේමාව තමයි මේ ගීතය තුළ ගැබ් වෙලා තියෙන්නේ. මෙතැනදී තමන්ගේ පෙම්වතිය අහිමි වීම ගැන පෙම්වතාගේ වැළපීම තමයි ඒ වචන හරහා කියන්නේ. ‘සඳකඩපහණක කැටයම්’ වගේ ස්ථිර සාර දෙයක් වශයෙන් තිබුණු අපේ ප්‍රේමය සුළු මොහොතකින් මැකිලා යන දේදුන්නක් බවට පත්වුණා යනුවෙන් පෙම්වතෙක්ගේ වැළපීම තමයි එහි ගැබ්වෙලා තියෙන්නේ.
දශක හයකට අධික සංගීත දිවිය තුළ ගීත කොපමණ ගායනා කරලා තියනවාද?
මේ වන විට මම ගීත 700ක් පමණ ගායනා කරලා තිබෙනවා. ඒ අතර විවිධ මාතෘකාවලට අදාළ ගීත තිබෙනවා.
අතීතයට සාපේක්ෂව අද වන විට ගීතයක් නිර්මාණය කිරීමේදී දරන වෙහෙස අඩු වෙලා. මෙය ඔබ දකින්නේ කොහොමද?
කොයි විදිහට නිර්මාණය කළත්, ගීතයක් වශයෙන් දිගු කාලීන පැවැත්ම තියෙන්නේ අර්ථ, රස, භාව කියන තුනම සම්පූර්ණ වුණොත් පමණයි. එතැනදී ගීතය අර්ථවත් විය යුතු වගේම, ඒ සංකල්පනාවට උචිත ආකාරයෙන් තනුව සහ සංගීතය නිර්මාණය විය යුතුයි. වචනයට යා හැකි දුර ගෙවා නවතින තැන සංගීතයේ ඇරැඹුමයි කියලා කියනවා. වචනවලින් ප්‍රකාශ කළ හැකි හැඟීම තවදුරටත් ඔපමට්ටම් කරන්නේ තනුව සහ සංගීතය නිර්මාණය තුළින්. ඒ වගේම මේ දෙකේ එකතුව ගීතයක් විධියට එළියට එන්නේ මිනිස් කටහඬකින්. එතැනදී ඒ හඬේ හැඟුම්බර බව, ලයාන්විත බව තිබිය යුතුයි. තනු නිර්මාණයේ, පද රචනයේ තියෙන සංකල්පනාවට උචිත හැඟීමට පිවිසිලා ගීතය රසිකයන්ට ප්‍රධානය කිරීම තමයි ගායනාව කියන්නේ. ඔය කරුණු තුනම සම්පූර්ණ ගීතයක් විතරයි බොහෝ කල් පවතින නිර්මාණයක් බවට පත්වෙන්නේ. එවැනි ගීතවලින් රසයට එහා ගිය ජීවිතාවබෝධයක් ලැබෙනවා. උසස්ම ගීතයක තිබෙන ලක්ෂණයක් තමයි ජීවිතාවබෝධයක් ලැබීම. ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාව කරා යනවා කියන කතාව ගැළපෙන්නේ ඔය අවස්ථාවේදී.
වර්තමානයේ එවැනි නිර්මාණ හිඟ වීමට හේතු විධියට ඔබ දකින්නේ මොනවාද?
අද කාලයේ බොහෝ දෙනා කලාවේ නිරත වෙන්නේ ජීවත් වීම පිණිස. මමත් ජීවත් වෙන්නේ කලාවෙන් තමයි. නමුත් පෙර සඳහන් කළ ආකාරයෙන් අර්ථ, රස, භාව කියන තුනම සම්පූර්ණ කරමින් නියැළෙන කලාවක් කියන්නේ එය සම්පූර්ණයෙන් වාණිජමය කාරණාවක් නෙවෙයි. එය මිනිස් ආධ්‍යාත්මය සුවපත් කරන ක්‍රියාවලියක්. එතැනදී ඒකට ලැබෙන ප්‍රතිලාභයක් තිබේ නම් කලාකරුවන් එය භුක්ති විඳිනවා. නමුත් කර්මාන්තයක් වශයෙන් නිතරම මුදල් පමණක් පරමාර්ථය කරගෙන බිහිවන නිර්මාණවල ඔය ගැටලුව බහුලවම දැකගන්නට පුළුවන්.
වර්තමාන ගීතවල පද රචනය සම්බන්ධයෙන් බොහෝ විවේචන තිබෙනවා. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද?
අද අපේ ගීත කලාවේ සුභාවිත ගීත පද රචනා කළ පුද්ගලයන් ගැන සමීක්ෂණයක් සිදුකළොත්, ඔවුන් කොතරම් පොත් කියවලා තියෙනවාද. චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙන් පටන්ගත්තොත් ආනන්ද සමරකෝන්, මහගම සේකර, මඩවල එස්. රත්නායක. ප්‍රේමකීර්ති ද අල්විස් සහ ඊට පසුව තවත් පරපුරක් ඉන්නවා. මොවුන් මොන තරම් ඇසූ පිරූ තැන් ඇති අයද, ඔවුන් කොතරම් පොත්-පත් ඇසුරු කළාද, මොනතරම් සාහිත්‍යයක් ඔවුන්ගේ මනස තුළ ගොඩනැඟිලා තිබුණාද. සත්‍ය වශයෙන්ම ඒ කාරණය තමයි ඔවුන් රචනා කළ ගීතවල සාර්ථකත්වයේ රහස. පද රචකයන්ගේ පංචේන්ද්‍රයන්ට ග්‍රහණය වන වස්තු බීජ, පරිකල්පනය හරහා අලුත්ම අත්දැකීමක් විධියට ඉදිරිපත් කිරීම තමයි හොඳ ගීත කලාව කියන්නේ. දැනටත් ගීත පද රචනයේදී සිදුවන්නේ ඒ ක්‍රියාවලියම තමයි. නමුත් අද රචනා වන ගීත බොහෝමයක ගැඹුරක් දැකගන්න නැහැ. ඒ ගැඹුර නැති වීමට හේතුව තමයි ඇසූ පිරූ තැන් නැති කම.
ඔබේ දරුවන් දෙදෙනාටත් ගායන හැකියාව එලෙසින්ම පිහිටා තිබෙනවා, ඒ ගැන මොනවගේ හැඟීමක්ද තිබෙන්නේ?
ඔව්… ඇත්තටම ඔවුන්ට ඒ හැකියාව පිහිටා තිබෙනවා. ඒක පුදුම සහගත සතුටක්. අපි මවුපියන් විධියට ඔවුන්ට පූර්වාදර්ශයක් වෙන ආකාරයෙන් කටයුතු කළා. ඔවුන් දැන් ඒ අඩි පාරේ යනවා. මා ගයපු ගීත ඉදිරි කාලයේදී ඔවුන් ගායනා කිරීමෙන් ඔවුන්ටත් සමාජයේ ප්‍රසාදය හිමි වෙනවා වගේම මගේ ගීත ඉදිරියට ගෙන යෑමටත් හැකියාව ලැබෙනවා. ඒක ඇත්තටම ගායන ශිල්පියෙක් වශයෙන් වගේම තාත්තා කෙනෙක් වශයෙනුත් විශාල සතුටක්.
අවසන් වශයෙන් මෑතකදී පැවැත්වීමට නියමිත ප්‍රසංග මාලාව ගැනත් මතක් කරමු?
එළැඹෙන නොවැම්බර් මාසයේ ප්‍රසංග කිහිපයක්ම පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. නොවැම්බර් මස 4 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත්, නොවැම්බර් 9 වැනිදා මාතරත්, නොවැම්බර් මාසේ 15 වැනිදා මියුසියස් විද්‍යාලයේත් පවත්වන්න සූදානම් කරලා තිබෙනවා. ඒ ප්‍රසංගවලදී මගේ දුව සංඛනී සහ පුතා සංඛ මා සමඟ ගීත ගායනා කරනවා.
