මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල වෙනදා වගේම සුපුරුදු විධියට කාලය ගෙවී යනවා. ඉතින් ටිකක් කාර්යබහුලයි.
“වීදුරු තිර” ටෙලි නාට්‍යයේ කතා තේමාව සමාජය නොදුටු පැතිකඩක් කතාබහට ලක් කරනවා?
ඇත්තටම ඒ වගේ තේමාවක් ගැන ටෙලි නිර්මාණයකින් කතා කරන එක හොඳයි. ඒක අද්භූත දෙයක්වත් ලෝකයට එකපාරටම කඩා වැටුණු දෙයක්වත් නෙවෙයි. ඉතින් අපේ මිනිසුන් සමලිංගිකත්වය දිහා බලන විධිය, බලන කෝණය එක්ක ඔවුන්ට සමාජයට විවෘත වෙලා ඉන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේ අයට තමන්ට තමන් වෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේ අය සමාජයේ අසරණ වෙන අවස්ථා තිබෙනවා. මේ තේමාව අපි සමාජයේ සඟවන්නේ නැතිව කතා කළ යුතු තේමාවක්. ඉතින් මේ ටෙලි නාට්‍යයට සමහරු හොඳ අදහස් පළ කරනවා වගේම සමහරු විවේචනය කරනවා. නමුත් මම බහුතරයක් හොඳ කමෙන්ට්ස් දැක්කා. ඉතින් අපි ටෙලි නාට්‍යයක් නැවැත්තුවා කියලා මේ වගේ දේවල් ලෝකයෙන්ම තුරන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
මෙවැනි සමරිසි චරිතයක් භාර ගැනීම අභියෝගයක්?
ඔව්. මම මුලින් නම් ප්‍රේක්ෂකයන්ගෙන් ගල් මුල් ප්‍රහාර වදියි කියලා හිතුවා. නමුත් මම හිතුව ගල් මුල් ප්‍රහාරවලට වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබුණා. මම ගත්ත තීරණය අභියෝගාත්මකයි. නමුත් ඒකෙන් මට රංගනයට හොඳ පන්නරයක් ලැබුණා. මම ඒ වගේ අභියෝගාත්මක චරිතයක් භාර ගැනීම ගැන සතුටු වෙනවා.
වීදුරු තිර ටෙලි නාට්‍යයේ ඇතැම් ජවනිකා ගැන ලැබුණු විවේචනාත්මක අදහස් ඔබ දකින්නේ කෙසේද?
ඇත්තටම එතැන චරිත ඇතුළේ ඉන්නේ සමරිසි පුද්ගලයෝ දෙදෙනෙක්. ඒ අය ආදරය කරන්නේ කොහොමද? ඒ අයගේ හැඟීම් කොහොමද කියන දේ නිරූපණයක් තමයි එතැන තිබෙන්නේ. එතැන අස්වාභාවික දෙයක් නෑ. මිනිසුන් දකින්න කැමැති ගැහැනු ළමයකු හා පිරිමි ළමයකු ආදරය කරනවානේ. අපේ මේ මාතෘකාව තුළ තිබෙන්නේ පුරුෂයන් දෙදෙනකුගේ ආදරයක්. ඉතින් මමයි චමීරයි දෙන්නම කළේ අපිට ලැබුණු චරිතවලට උපරිම සාධාරණයක් කරපු එක තමයි.
මෙවැනි චරිත තුළින් රංගන ශිල්පියකුගේ පෞරුෂයට හානි වන බවට ප්‍රේක්ෂකයෝ දක්වන අදහස් ගැන ඔබේ අදහස?
එහෙම මේ වගේ චරිත නිරූපණයන් රංගන ශිල්පියකුගේ පෞරුෂයට හානි වෙනවා කියලා මම හිතන්නේ නෑ. මමවත් චමීරවත් මුලින්ම කරපු චරිත නිරූපණයක් නෙවෙයි. ජෝ අබේවික්‍රම පවා ඒ කාලයේ චිත්‍රපටයක මෙවැනි චරිතයකට පණපොවලා තිබෙනවා. ලෝකයේ සුප්‍රකට නළු නිළියන් පවා මෙවැනි චරිත නිරූපණය කර තිබෙනවා. කිසිම චරිතයකින් රංගන ශිල්පියකුගේ පෞරුෂයට හානියක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. ඒක රංගනයක් විතරයි. කලාවට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිස ඒක තේරුම් ගනියි. මට ඕනෑ වුණේ මම භාරගන්න ඕනෑම චරිතයක් මට කරන්න පුළුවන් කියලා පෙන්වන්න විතරයි. මොකද එතැන ඉන්නේ චතුරංග නෙවෙයි. යම්කිසි චරිතයක් තමයි අපි නිරූපණය කරන්නේ.
චමීර ලියනගේත් ඔබත් මෙවැනි සමරිසි චරිත භාර ගැනීමම නිර්භීත ක්‍රියාවක් ලෙස ලැබෙන ඇගයීම් ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. තව තවත් විවිධාකාර චරිත කරන්නට එයින් ධෛර්යයක් ලැබෙනවා. ඉතින් මම අභියෝග භාරගන්න කැමැතියි.
ඔබේ පෙනුමටත් දක්ෂ රංගන විලාසයන්ටත් රසිකයන් දක්වන ආදරය දැනෙන්නේ කොහොමද?
ඒ ගැන නිහතමානී සතුටක් දැනෙනවා. ඉතින් මම දක්ෂ නළුවකු වෙන්න කැමැතියි.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?
මම අවුරුදු දාසයේදී ආදරය දැක්ක විධියට නෙවෙයි දැන් අවුරුදු තිහේදී දකින්නේ. ඉතින් ආදරය කියන්නේ හරිම අමුතු දෙයක්. මට ඒ ගැන කියන්න තේරෙන්නේ නෑ. හරි ලස්සන දෙයක්. ආදරය ඇතුළේ දුක-සතුට දෙකම තිබෙනවා. විවාහය කියන්නේ තෝරා බේරා කරන්න ඕනෑ දෙයක්. ගැළපෙන කෙනා හමුවුණොත් ඒක හරි සුන්දර වෙයි. ඒක සුන්දර කරගන්න අපි දැනගන්න ඕනෑ.
ඔබ පෙම්වතාගේ චරිතයටම කොටු නොවී වෙනස් වෙනස් චරිත ඔස්සේ දක්නට ලැබෙනවා?
මම එකම විධියේ චරිතවලට කොටුවෙන්න කැමැති නෑ. මම පෙම්වතාගේ චරිතයටත් කැමැතියි. නමුත් වෙනස් වෙනස් චරිත කරලා මගේ හැකියාව පිටතට පෙන්වන්න මම කැමැතියි. මගේ වාසනාවකට මට විවිධ විවිධ චරිත කරන්නට ලැබෙනවා. ඊට මට අවස්ථා ලැබුණා. සමහර අයට තමන්ගේ හැකියාව පෙන්වන්න අවස්ථා ලැබෙන්නේ නෑ. තව දක්ෂ නළු නිළියෝ ඉන්නවා. නමුත් ඔවුන් එකම තැනකට කොටුවෙලා ඉන්නවා. ඉතින් මට ලැබුණු අවස්ථාවලින් මම උපරිම ප්‍රයෝජන ගන්නවා.
ඔබ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් දකින්න ලැබේවිද?
මදර් ලංකා චිත්‍රපටයට දායක වුණා. ඒක අගෝස්තු මාසයේ රිලීස් වීමට නියමිතයි. ඉස්සරහට රිදී තිරයටත් එන්න බලාපොරොත්තු වෙනවා. අවස්ථාවක් ලැබෙනකල් තමයි ඉන්නේ.
ඔබේ රංගන හැකියා කුසලතා වැඩි දියුණු කර ගැනීමට ස්වයං අභ්‍යාස කරනවාද?
ඇකඩමික හැදෑරීම් කරන්න නම් මට කාර්යබහුලත්වයත් එක්ක අපහසුයි. නමුත් මම හැමවෙලේම අප්ඩේට් වෙනවා. චිත්‍රපට බලනවා. ගොඩක් දේවල් මම ඉගෙන ගන්නෙ සමාජයේ ඉන්න මිනිස්සු දිහා බලලා තමයි. මම හිතන්නේ ඒක හොඳම අභ්‍යාසවලින් එකක් තමයි.
ඔබේ ඉදිරි වැඩ කටයුතු කොහොමද?
තව ටෙලි නාට්‍ය දෙකක් වගේ විකාශය වෙන්න නියමිතයි.