මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
කාලයකට පස්සෙ නැවතත් ප්‍රසංග වේදිකාවට එක් වෙන්න අවස්ථා කිහිපයක්ම ලැබුණා. පසුගිය දිනෙක මම අලුත් කලා ප්‍රසංගයට එක් වුණා. ඒ වගේම අගෝස්තු මාසයේදී අතීතකාමය කියලා ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ වගේම මතකේ හසරැල් කියන මගේ ඒක පුද්ගල ප්‍රසංගයට මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා. ඒ වගේම කුරුම්බා සංගීත කණ්ඩායමත් එක්ක කාලය ගෙවී යනවා. මට මැන්ගෝ ෆ්‍රෙන්ඩ් කියලා ආයතනයක් තිබෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු එක්කත් කාලය ගෙවීගෙන යනවා. මම ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. සිරස ඩාන්සින් ස්ටාර් සමඟ සම්බන්ධ වුණාට පස්සේ ඒ කාර්යබහුල බව තව තවත් වැඩි වුණා.
සිරස ඩාන්සින් ස්‍ටාර් වැඩසටහනට ඔබ විනිශ්චකරුවකු ලෙස එක් වෙනවා මේ ගැන කතා කරමු?
මේ වැඩසටහන නර්තනය සම්බන්ධ වැඩසටහනක් වුණාට ප්‍රාසාංගික වැඩසටහනක්. ඒ නිසා මම හුදු විනිශ්චයකරුවකු ලෙස පමණක් නෙවෙයි සිත්ගන්නාසුලු විධියට කටයුතු කරන්න ඕන. මාත් සමඟ තවත් විනිශ්චයකරුවන් දෙදෙනෙක් එක් වෙනවා. ඒ සාරා අබේවර්ධන සහ චන්දිමාල් ජයසිංහ. ඔවුන් නර්තනය දෙස බලන්නේ වෙනත් කෝණයකින්. ඒ නිසා මේ විනිශ්චයන් එකිනෙකට වෙනස්. ලංකාවේ බොහෝ පිරිසක් මේ වන විට මේ වැඩසටහන සමඟ එක් වී තිබෙනවා. මේක ඉතා විශිෂ්ට වැඩසටහනක්. ඒ වගේම දැවැන්ත වැඩසටහනක්.
ඔබ සමඟ සිටින අනෙක් විනිශ්චයකරුවන් වෙත මේ වනවිට විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස?
විවේචන බොහෝ විට එල්ල වෙන්නේ දෙයක් ගැන හරියට නොදැනුවත් වීම හේතුවෙන්. චන්දිමාල් ජයසිංහ ගැන බොහෝ දෙනෙක් විවේචනය කරන්නේ ඔහු ගැන තිබෙන නොදැනුවත්කම නිසා. හැබැයි ඔහුගේ සැබෑ කතාව දන්නවා නම් ඔය විවේචන අඩු වෙනවා. චන්දිමාල් ඔය කියන විධියට නර්තනයෙහි යෙදෙන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එවැනි කෙනෙක්ට නර්තනයක් දෙස බලලා එහි හොඳ නරක කියන්න අවබෝධයක් තිබෙන්න බැරිද. ලංකාවේ ඕන තරම් නර්තන ශිල්පීන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන්ට නර්තනයට එහා ගිය වටිනාකම් ගැන අවබෝධයක් නැහැ. ඔවුන් තවම තරු වෙලා නැත්තේ ඒකයි. චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ තරුවක්. ඔහු මීට වසර 17කට පෙර ඩාන්සින් ස්ටාර්වල වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ බව කවුරුත් දන්නෙ නැහැ. චන්දිමාල් කියන්නේ මේ ක්ෂේත්‍රය තුළ කවදාවත් සල්ලි බලාගෙන වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඔහු මේ ක්ෂේත්‍රයේ තිබෙන සෑම දෙයක් ගැනම විශාල අවබෝධයක් තිබෙන කෙනෙක්. ඔහුට අපිට වඩා හොඳට නර්තනයක තිබෙන දේවල් දකින්න පුළුවන්. මොකද ඔහු තිරය පිටුපස සිටිමින් මේවා වසර ගණනාවක් අත්වින්ඳ කෙනෙක්. ඉතින් වසර ගණනාවක් මේ ක්ෂේත්‍රය පිළිබඳව ඔහුට තිබෙන පළපුරුද්ද නිසා නර්තනයක් විනිශ්චය කිරීමේ සුදුසුකම් තිබෙනවා.
ඔබ ඩාන්සින් ස්ටාර් පළමු තරගයට තරගකරුවකු ලෙස එක් වී එය ජයග්‍රහණය කළා. අපි ඒ අතීතයට ගමන් කරමු?
මම සිතන විධියට සිරස ඩාන්සින් ස්ටාර් පළමු සීසන් එක ලබා ගත්ත රේටින් අද වනතුරු කිසිම වැඩසටහනක් ලබා ගෙන නැහැ. මම පානා සෙනහස සහ ජේත්තු නෝනේ ගීත නිකුත් කරලා මේ ක්ෂේත්‍රය තුළ ලොකු සාර්ථකත්වයක් ලැබුවා. මම මගේ තෙවැනි ගීතය නිර්මාණය කරලා එහි වීඩියෝව සිරසට භාර දෙන්න ගිය මොහොතක තමයි මට ඩාන්සින් ස්ටාර් සමඟ එක් වෙන්න කියලා ආරාධනා කළේ. ඇත්තටම මම මේ තරගයට එක් වුණේ චකිතයකින්. මේ තරගයට එක් වීමට සිටි තරගකරුවෙක් මෙයින් ඉවත් වෙලා තිබුණා. ලුක්ස් ලයික් වැඩසටහන කළ සමීර මට මේකට එක් වෙන්න කියලා බල කළා. මම පළමුවැනි වටය අන්තිම වටය කියලා හිතලා මගේ නර්තනය කළා. පසුව මම මේ තරගාවලිය තුළ බොහෝ වෙනස්කම් සිදු කරමින් මේ වැඩසටහන වෙනත් තලයකට රැගෙන ගියා.
සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලිය තුළ ඔබ බොහෝ වෙනස්කම් සිදු කළා. මේ ගැන කතා කරමු?
මට මතකයි, ඒ දවස්වල බොහෝ දෙනෙක් නර්තනයෙහි යෙදුණේ එකම ගීතයකට. මම ඇහුවා මෙතැන නීතියක් නැහැ නේද එකම ගීතයකට නර්තනයෙහි යෙදෙන්න ඕන කියලා. මට ගීත දෙකකට නටන්න පුළුවන්ද කියලා. ඒක මට තේරෙන්නෙ නැහැ කියලා නිෂ්පාදකවරයා කිව්වා. ඔහු මගෙන් ඇහුවා එතකොට ගීත තුනකට ඔබ නර්තනයේ යෙදෙනවාද කියලා. එතකොට කාලය ඉක්මවා යනවනේ කියලා ඔහු මට කිව්වා. මම ඔහුට කිව්වා නැහැ වේලාව වැඩියෙන් යන්නේ නැහැ. මම ඒකට හදපු ට්‍රැක් එකක් තමයි දාන්නේ කියලා. ඇත්තටම අපි මේ විධියට මේ වැඩසටහනේ වෙනස් දේවල් අත්හදා බැලුවා. සුසාර දිනාල් අපිට මේ අලුත් දේවල් කරන්න ඉඩ දුන්නා. ඒ වගේම වේදිකාවේදී මුලින්ම කොස්ටියුම් චේන්ජ් කරපු එක කළෙත් මම. මම මේ ගැන මුලින්ම ඇහුවම ඔවුන් මට කිව්වා ප්‍රෆෝම් කරන වෙලාවේ එහෙම කරන්න යන්න දෙන්නෙ කොහොමද කියලා. මම කිව්වා මේක කරන්නේ වේදිකාව උඩදිමයි කියලා. ඔවුන් ඒ ගැන පුදුම වුණා. ඔන්න ඔය විධියට අපි ඒ කාලේ ගොඩක් දේවල් වෙනස් කළා.
ඇත්තටම මේ වැඩසටහන ආරම්භය සිදු වුණේ කොහොමද?
ඒ කාලයේ ලෝකය පුරාම නර්තනය ගැන ලොකු රැල්ලක් ආරම්භ වුණා. ඇමරිකාවේ ඩාන්සින් විත් ද ස්ටාර් කියලා වැඩසටහනක් ආරම්භ කළා. මෙය ලෝකයේ ගොඩක් ප්‍රචලිත වුණා. මේ පෙරළියෙන් පස්සේ ස්ටෙප් අප් වැනි සිනමාපට පවා නිර්මාණය වුණා. සිරස නාළිකාවට ඩාන්සින් ස්‍ටාර් කියලා සිනමාපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. ඔවුන්ට මේ සිනමාපටයේ දර්ශන තලය නිර්මාණය කිරීම සඳහා විශාල පිරිවැයක් දරන්න සිදු වුණා. එහි දර්ශන තලය නිර්මාණය කිරීමේදී ඔවුන්ට මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීමේ අදහස පැමිණියා. ඉතින් මේ වගේ දෙයකට අහම්බයෙන් එකතු වෙලා තමයි මම ජයග්‍රහණය කළේ.
කුරුම්බා සංගීත කණ්ඩායමත් එක්ක ගෙවෙන ජීවිතය මොනවගේද?
කුරුම්බා නිසා තමයි මගේ ජීවිතය සුන්දර වුණේ. ලොකු දැවැන්ත චරිතයක් වුණාට පසුව මට අකරතැබ්බ කිහිපයකටත් මුහුණ දෙන්න සිදු වුණා. උඩට යන්න යන්න කකුලෙන් අදින අය වැඩියි. මේ ගමනේ උඩට ආවට පසුව මට වෙනත් රස්සාවක් කරන්න බැහැ. ඉතින් මම කුරුම්බා පටන් ගත්තා. ඉතින් මේ සංගීත කණ්ඩායම පටන් ගත්තට පස්සෙ මට වැරැදුනේ නැහැ. කුරුම්බා නිසා මම සංගීතය ගොඩක් විඳිනවා. මගේම හිට් වුණු ගීත ගායනා කරනවට වඩා කුරුම්බා සංගීත කණ්ඩායම එක්ක ගීත සිය ගණනක් ගායනා කරන එකට මම ගොඩක් කැමැතියි.
මතකේ හසරැල් ප්‍රසංගය ගැන කියමු?
මතකේ හසරැල් පැවැත්වෙන්නේ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ තිබෙන කොළොම්බාර් කියන ස්ථානයේදී. මාත් එක්ක එදාට මගේ සංගීත කණ්ඩායම වන කුරුම්බා සංගීත කණ්ඩායමත් එක් වෙනවා. ඉතින් මතකේ හසරැල් විඳගන්න අගෝස්තු 28 වැනිදා කොළොම්බාර් එකට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ගිහාන් සචින්ත