
දිලීමා ගැන කියලම කතාව ආරම්භ කරමු?
දිලීමා කියන්නේ මේ වෙද්දි ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් විකාශය වන ඉර හැංගිලා ටෙලි නාට්‍යයේ මගේ චරිතය. ඇත්තටම මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ චාරුක දිල්හාර. ඔහුගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තමයි ඉර හැංගිලා කියන්නේ. මේ වෙද්දි දිලීමාට ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. මටත් විශාල සතුටක් තියෙනවා ඒ ගැන.
කාලෙකට පස්සේ නේද ඉර හැංගිලා හරහා ඔබව ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නේ?
ඔව් ඇත්තටම මම ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා වසරක් සම්පූර්ණ වෙන්න කලින් තමයි මේ ටෙලි නාට්‍යය විකාශය වීම ආරම්භ වුණේ. ඒකත් එක්කම මම ආයේ අලුත් වුණා කියලා දැනෙනවා.
දිලිනිව අමතක වෙන තරම් දිලීමා ලෙස ඔබේ චරිත නිරූපණය ප්‍රබල බවයි ප්‍රේක්ෂක අදහස?
ඇත්තටම ඔවුන් ඒ විධියට ප්‍රතිචාර දක්වන්නේ දිලීමා ලෙස මගේ රංගනය තුළ ඔවුන් යම්කිසි දෙයක් දකින නිසා වෙන්න ඇති. ඉර හැංගිලා කියන්නේ කාලෙකට පසුව ලැබුණු හොඳ තිර පිටපතක්. දිලීමා කියන චරිතය තමයි මට නිරූපණයට කරන්න තිබුණේ අවශ්‍ය සියලුම කාරණා ඒ තිර පිටපත තුළ අන්තර්ගතවෙලා තිබුණා. එහි තිර රචනය සිදු කළේ සුනෙත් වර්ණසූරිය. තිර පිටපත වගේම එයට චාරුක්ගේ අධ්‍යක්ෂණය, මේ නිර්මාණයට දායක වෙලා ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලැබෙන සහාය මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණු සියල්ලගේම සහාය නිසා තමයි දිලීමා චරිතය මට පුළුවන් උපරිම හොඳ විධියට රඟ දක්වන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම මෑත කාලීනව මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන නිර්මාණයක් විකාශය වීම ලොකු සතුටක් මට.
දිලිනිට දිලීමාව දැනුණේ කොයි ආකාරයෙන්ද?
ඇත්තටම චාරුක මට කතා කරලා මේ වගේ වැඩක් කරනවා මේකේ දිලීමා විධියට මගේ ඔළුවේ ඉන්නේ ඔයා කියලා කිව්වා. ඊට පස්සේ පිටපත අතට ලැබුණම මම දැක්කා පිටපත තුළ දිලීමාව ඉතාමත් ලස්සනට, ප්‍රේක්ෂකයන් මේ දකින ආකාරයටම මවලා තිබුණා. දිලීමා කියන්නේ සැප සම්පත් අතහැරලා ආදරය තෝරාගෙන, තමන්ගේ සැමියාගේ වියෝවෙන් පස්සේ ඔහුගේ පවුලෙන් එල්ල වෙන අභියෝගත් දරාගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දෙන ගැහැනියක්, අම්මා කෙනෙක්. මම විශ්වාස කරනවා මේ වගේ දිලීමලා අද ඕනෑ තරම් ඉන්නවා. ඉතිං ඔවුන් සියලු දෙනාවම තමයි මම ඉර හැංගිලා තුළ නිරූපණය කරන්නේ.
ග්‍රාමීය පරිසරය, ගැමි ජීවිත මූලික කරගත් නිර්මාණවලට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ ඇයි?
මම හිතන දෙයක් තමයි අපේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත්, මොන පරිසරයක ජීවත් වුණත් ඔවුන් තුළ ගම්මානයට, ගැමි කමට තියෙන ආදරය, ඇල්ම, කැමැත්ත කවදාවත් අඩුවක් වෙන්නේ, වෙනසක් වෙන්නේ නැහැ. ඒකමයි හැම කාලයකම මේ ගැමිකම මූලික කරගත්ත නිර්මාණවලට ප්‍රේක්ෂකයන් කැමැත්තක් දක්වන්නේ. විශේෂයෙන් මම දැන් ලංකාවෙන් එළියේ ජීවත් වෙන නිසා මට ඒ බව හොඳට තේරෙනවා. මට හිතෙන විධියට අපේ ශ්‍රී ලාංකිකයන්ගේ රුධිරයටම මේ ගැමිකම කියන එක බද්ධ වෙලා තියෙන්නේ. ඒකයි මොන කාලෙක වුණත් ගම්මාන, ගැමිකම ආශ්‍රිතව කෙරෙන නිර්මාණ ඔවුන් ආදරයෙන් වැලඳ ගන්නේ. මේ ගැමි සංකල්පය කවදාවත් පරණ වෙන්නේ නැහැ. එක එක රැලි එනවා. නමුත් කවදා ගියත්, ලෝකේ කොහේ හිටයත් අපේ ප්‍රේක්ෂකයන් ඒ රසයට කැමැතියි.
කාලයකට ඉහත මෙගාවලට තිබුණු ප්‍රේක්ෂකාගාරය සීමිත කොටසක් සහිත නිර්මාණ දෙසට හැරිලා, මේ ගැන ඔබේ අදහස?
ප්‍රේක්ෂකයන් ගොඩක් කැමැතියි ඉක්මනට කතාවක් බලලා ඉවර කරන්න. ඔවුන් කැමැතියි තමන් බලන නිර්මාණය තුළ ජීවත් වෙන්න. දීර්ඝ ටෙලි නාට්‍යවලදී ඇත්තටම සමහර වෙලාවට අපි පටන් ගන්න කතාව නෙවෙයි අන්තිමට ඉවර වෙද්දි තියෙන්නේ. සමහර වෙලාවට අවසන් භාගය වෙද්දි ප්‍රේක්ෂකයන්ට මුල-මැද මතක නැහැ. මේක හැම දීර්ඝ ටෙලි නාට්‍යයටම අදාළ නැහැ. සමහර දීර්ඝ නිර්මාණවලට විතරයි මේ කාරණය වලංගු වෙන්නේ. මමත් දීර්ඝ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයන් ගොඩක් වෙලාවට වඩාත් යථාර්ථවාදී නිර්මාණවලට කැමැතියි. ඒ නිසාම තමයි එවැනි නිර්මාණ ඉක්මනට ප්‍රේක්ෂකයන් අතරට ගිහින් ඔවුන්ගේ අවධානයට, ආදරයට පාත්‍ර වෙන්නේ.
කාලෙකට පස්සේ ලංකාවට ආවේ, ඉර හැංගිලාට අමතරව තවත් නිර්මාණවලින් ඔබව දැකගන්න ලැබෙයිද?
මම දැන් අවුරුද්දක් පමණ වෙනවා ලංකාවෙන් ගිහින්. ඇත්තටම මම ගියේ මේ වගේ ඉතා ඉක්මනින් එන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි. නමුත් ඉර හැංගිලා විකාශය වීමත් සමඟ මේ නිර්මාණයේ ඉතුරු කොටස්වල රූගත කිරීම් සඳහා මට එන්න සිදු වුණා. මොකද අපි මෙහි සීමිත කොටස් ගණනක් පමණයි රූගතකරලා තිබුණේ. ඒත් එක්කම නාට්‍ය විකාශය වීම ආරම්භ වීමත් එක්ක තමයි මම හැකි තරම් ඉක්මනින් ඉතිරි රූගතකිරීම් සඳහා ලංකාවට ආවේ. ඇත්තටම මම ආවට මගේ හිත තියෙන්නේ මේ ඉර හැංගිලා වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දීලා. ඉතාමත් හොඳින් ඒ කටයුතුවලට අවශ්‍ය සහාය දීලා නැවතත් නිව්සීලන්ඩ් යන්න. නමුත් දිලීමා වෙනුවෙන් මම මගේ උපරිමය ලබා දෙනවා.
ඒ කියන්නේ ලංකාවට ආවට හිත තියෙන්නේ එහේ?
අපි විවාහ වෙද්දිම මම දැනගෙන හිටියා දවසක මේ තීරණය ගන්න සිදු වෙනවා කියන දේ. ඇත්තටම මගේ සැමියා ඉතාමත් හොඳ, ආදරණීය, මට අවශ්‍ය සියලු සහාය ලබා දෙන කෙනෙක්. එතැනදි මම අපි වෙනුවෙන් තමයි මේ තීරණය ගත්තේ. මට මේ මොහොතෙදි අවශ්‍ය දිලීමා වෙනුවෙන් ලැබෙන මේ ආදරය ඒ විධියටම ආරක්ෂා කරගෙන ඇයට පණපොවන එක. ඉතිං ඒ වැඩ කටයුතු අවසන් කරලා හැකි ඉක්මනින් නැවතත් ඔහු ළඟට යන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ.
ඔබ දෙදෙනා එක්ව කරගෙන යන යූටියුබ් නාළිකාවටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වෙනවා. ඒ ගැනත් කියමු?
අපි නොහිතපු විධියට අපේ යූටියුබ් නාළිකාවට විශාල ආදරයක් හිමිවෙලා තියෙනවා. ඇත්තටම මේ මොහොත වෙද්දි සබ්ක්‍රයිබර්ස්ලා ලක්ෂය ඉක්මවන්න හැකිවෙලා තියෙනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තමයි අපිට මේ විධියට ලක්ෂය ඉක්මවන්න හැකි වුණේ. ඇත්තටම එහි ගෞරවය වැඩි වශයෙන් යන්න ඕනි මගේ සැමියට. ඔහු තමයි වීඩියෝ එඩිට් කරන වැඩ කටයුතු කරමින් ඒ වෙනුවෙන් වැඩි වෙහෙසක් දරන්නේ.
ලංකාවේ අතිශය ජනප්‍රිය තරුවක් විධියට නවසීලන්තයේ බොහොම හුදෙකලා පරිසරය ගෙවන නිස්කලංක ජීවිතයට හුරු වීම අපහසු වුණේ නැද්ද?
මම ලංකාවෙදි වුණත් බොහොම සරල ජීවිතයක් ගත කළේ. ඒ නිසා මට නවසීලන්තයේ ගෙවන නිදහස්-නිස්කලංක ජීවිතයට හුරු වීම පහසු වුණා. විශේෂයෙන් මම ජීවත්වෙන්නේ බොහොම සුන්දර පරිසරයක. ඒ පරිසරයේ තියෙන සුන්දර බව නිසාම මට ඒ ජීවිතය විඳින්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම තමයි මගේ සැමියා එක්ක ගෙවන ඒ ජීවිතයට මම බොහොම කැමැතියි. අපේ යූටියුබ් නාළිකාවට වුණත් ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ ඒ සුන්දර පරිසරය සහ එහි ගෙවන අපේ ජීවිතවල සරල බව නිසා. ඒ වගේම අපේ යූ ටියුබ් නාළිකාවට ලැබෙන ප්‍රතිචාර නිසා සමහර වෙලාවට ලංකාවෙන් පිට ඉන්න බව දැනෙන්නේ නැහැ.
අවසන් වශයෙන් දශක දෙකකට ආසන්න කාලයක් පුරා නොඅඩුව ලැබුණු ප්‍රේක්ෂක අදරය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගැන මගේ හිතේ විශාල කෘතඥතාවක් තියෙනවා. ඔවුන් හැමදාම මට එක වගේ ආදරය කළා. ඔවුන්ගෙන් ලැබෙන ඒ ආදරයට මමත් ඔවුන්ට පෙරළා ආදරය කරනවා. ඒ වගේම මාව මේතාක් කාලයක් නිර්මාණවලින් ඔසවා තැබූ අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම දෙනාට මම ගෞරව කරනවා. ස්තුතිවන්ත වෙනවා.
