
ඇය වේදිකා නාට්‍ය සඳහා ගැළපෙන රුවක් හා හඬක හිමිකාරියකි. පුංචි තිරය මෙන්ම සිනමාවේද පෙරළිකාර ලෙස තම රංගනය ඉදිරිපත් කරන්නියක ලෙස නමක් දිනා සිටින ඈ, ඇයට ආවේණික වූ තාත්වික රංගනය තුළින් රසික සිත් සොරා ගන්නට සමත් වී තිබේ. නමින් මාධනි මල්වත්තගේ නම් වූ ඇය මේ දිනවල දක්නට ලැබෙන්නේ “ආදරණීය මිනිසෙක්” ටෙලි නාට්‍ය තුළින්ය. අපේ කතාබහ ඇය පිළිබඳවයි.
මේ දිනවල ජීවිතය ගෙවෙන ආකාරය පිළිබඳ කියලම අපේ කතාබහ පටන්ගමු?
මම මේ දිනවල කපිල කුමාර කාලිංග පිටපත ලියපු අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කරන “බ්‍රිස්බේන් මනාලයා” සහ ඊ. එම්. ඩී. උපාලි අධ්‍යක්ෂණය කළ “පවුල් කන මිනිහෙක්” වේදිකා නාට්‍ය දෙකෙහිම පුහුණු වීම්වල නිරත වෙලා ඉන්නවා. නාට්‍ය දෙකක දෙකෙහිම පුහුණුවීම්වලට එකවර කාලය වෙන් කරල තියෙන නිසා මේ දිනවල වෙනදාට වඩා කාර්යබහුලයි.
ඊට අමතරව මේ දිනවල වේදිකාවේ රඟදක්වන සුද්දෙක් ඔබ අමතයි, රෝමය ගිනි ගනී වේදිකා නාට්‍යයේ දෙවැනි කොටස ඊමේල් කුමාරයා මෙන්ම කැලණි පාලම වේදිකා නාට්‍යයත් මේ දිනවල වේදිකාගත වෙනවා. ඒ වැඩ නිසා විවේකය නම් අඩුයි.
රංගනයෙන් මෙතරම් කාර්යබහුල ඔබ රඟපාන අලුත්ම ටෙලි නාට්‍ය “ආදරණීය මිනිසෙක්” එහි චරිතය පිළිබඳ කතා කළොත්?
“ආදරණීය මිනිසෙක්” ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අයියාගෙ ලස්සන වැඩක්. මට මේ නාට්‍ය තවත් විශේෂ වෙන්න හේතුවක් තියෙනවා. ඒ නලින් ප්‍රදීප් අපේ ප්‍රවීණ රංගනවේදියා චරිත නිරූපණය සඳහා එක් වී සිටීම. මේ කතාව තුළින් එදිනෙදා සමාජය තුළ අපට දක්නට ලැබෙන චරිතයන් බොහොමයක් හමු වෙනවා. මෙහි මගේ චරිතය පුතකු ඉන්න අම්මා කෙනෙක්. ඇය තම ස්වාමියා අහිමි වීමේ වේදනාවෙන් පෙළෙන ඔහුගේ ජීවිතය අහිමි කළ අයගෙන් පළිගන්න ඕනෑ කියලා නිතර හිත තුළ කැකෑරෙන, තමන්ගෙ පුතාට වුණත් නිතරම බනින, තරහ ගන්න, කිපෙනසුලු කටකාර ගැහැනියක්.
ඇයට මේ වන විට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාර දෙස බලද්දී මේ චරිතයත් මිනිසුන් ආදරයෙන් වැලඳගනී කියල තමයි හිතෙන්නෙ.
මෙම ටෙලි නාට්‍ය තවත් කාරණයක් නිසා ඔබට විශේෂයි නේද?
ඔව්… මේ නාට්‍යයේ පුතාට රඟපාන්නේ මගේම පුතා තේනිය රත්නායක. මීට කලින් මම රඟපාපු නාට්‍යවලට පුතා රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒ වුණාට මගේම පුතාට රඟපාන පළමු අවස්ථාව මේක. දැන් ඔහුගේ වයස අවුරුදු 20ක්. ඒ වයසේම දරුවකුගේ චරිතයක් තමයි මේ නාට්‍යයෙන් ඔහු කරන්නේ. මේ මගේ ජීවිතේ මම ලද අමතක නොවන අවස්ථාවක්. ඒ වගේම පුතා මගේ ගමන් මඟම තෝරාගෙන ඉදිරියට පියවර තබනවා. ඒ ගැනත් හරිම සතුටුයි.
ඔබ රංගනයෙන් දායක වෙලා ඉන්න “මදර් ලංකා” ගැන කතා නොකරම බැහැ නේද?
මගේ චරිතය සම්පූර්ණ චිත්‍රපටය පුරාම දිවයන එකක් නෙවෙයි. මට රඟපාන්න ලොකු අවකාශයක් ලැබිලත් නැහැ. එහි ඉන්නෙ දර්ශන දෙකක හෝ තුනක පමණයි. එහි මම නිරූපණය කරන්නෙ සිංහල පරිසරයක හැදුණු හොඳට සිංහල කතා කරන දමිළ කාන්තාවකගේ චරිතයක්. ඇයට ඉන්න පිරිමි දරුවා ආකර්ෂණය වෙන්නෙ හැඩගැන් වෙන්නෙ ස්ත්‍රියක් ලෙසයි. මේ සමාජය තුළ මෙවැනි චරිත අනන්තවත් දකින්න ලැබෙනවා. ඒත් මේ පුතාගෙ වෙනස තාත්තා දරා ගන්නෙ නැහැ. ඒ නිසාම පුතා ගෙදරින් එළියට දානවා. ඒ නිසා වේදනාවට පත්වෙලා. තාඩන පීඩන නිසා අසරණ වෙලා. ඒ වුණාට මොනම හේතුවක් නිසාවත් තමන්ගේ දරුවා අත්නොහරින මවුවත් ගුණය තිබෙන අම්මා කෙනකුගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. ඉතින් “මදර් ලංකා” ගැනත් මිනිස්සු කතාබහ කරයි. මෙහි ධනංජය සිරිවර්ධනගේ රංගනය ඉතාමත් ඉහළයි. පුංචිම පුංචි චරිතයක් වුවත් මම හරිම ආසාවෙන් මේ චරිතය කළා.
ගත වූ රංගන දිවිය දෙස ආපසු හැරිලා බලද්දී දැනෙන්නේ දුකක්ද සතුටක්ද?
මගේ රංගන දිවිය ගැන මගේ හිතේ කිසිම දුකක් නැහැ. මගේ රංගන ජීවිතේට දැන් අවුරුදු 25ක් විතර වෙනවා. වේදිකාවෙන් පටන් ගෙන පුංචි තිරය, සිනමාව හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඇගැයීම් සම්මාන ලබාගෙන මට මම නොවී කරන්න පුළුවන් චරිත සෑහෙන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මට ලැබුණු ඒ අවස්ථාවන් සියල්ලකටම මම කැමැතියි. මම ආශාවෙන් තමයි රංගනයේ යෙදුණේ. අධ්‍යයනයකින් යුතුව තමයි මම රංගනයේ නියැළුණේ. ආපසු හැරිලා බලද්දී මගේ රංගන දිවිය ගැන මම සතුටු වෙනවා.
රඟපාන්න ආසාවෙන් ඉඳල අනේ එහෙම චරිතයක් මට තවම ලැබුණේ නැහැනේ කියලා හිතුණු අවස්ථා තියෙනවද?
ටෙලි නිර්මාණවලදී අපිව එකම චරිතයකට කොටු කරන අවස්ථා වැඩියි. අපි හොඳට චරිතයක් කරනවා දැක්ක ගමන් ඒ විදිහෙම චරිතවලට තමයි අනෙක් නිර්මාණවලදීත් අපිට කතා කරන්නෙ. එහෙම රඟපාන්න නම් චරිතාංග රංගන ශිල්පීන් ඕනෑ නැහැ. එක චරිතයකට මහන්සි වෙලා එහි වපසරිය හදා ගන්න කොට ඒ වගේම චරිතයක් සඳහා ආයෙම කතා කරද්දි කනගාටුවක් වගේම කලකිරීමක් ඇති වෙනවා. කරපු චරිතවලට වඩා වෙනස් ආකාරයේ චරිත ලැබෙනවා නම් මම කැමැතියි. එහෙම චරිත අපි වෙනුවෙන් ලියැවෙනවා නම් හරිම වටිනවා. ඇතැම් නිර්මාණවලට දායක වෙන්නෙ රැකියාව කරන්න ඕනෑ නිසා මිසක් සතුටෙන් නෙවෙයි.
අපේ රටේ පවත්වන ඇගයීම් උළෙලවල් සහ සම්මාන රාත්‍රි ගැන අදහසක් දක්වන්න කිව්වොත්?
ඕනෑම චරිතාංග රංගන ශිල්පියෙක් ඔහු හෝ ඇය රඟපෑමට ආව මුල් කාලයේ සිටම තමන්ට වටිනාකමක් නිර්මාණය කරගෙන ප්‍රමිතියක් දාගෙන තියෙනවා. යම් මුදලක් අය කරනවා. ඒ වගේම ලැබෙන චරිතයට උපරිම සාධාරණය කරනවා. මහන්සි වෙනවා. ඒ සඳහා ඇගයීමක් ලැබෙනවා කියන්නෙ එම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය පන්නරයක් ලබනවා කියන එකයි.
වත්මන් සම්මාන උළෙලවලදී සුදුස්සාට සුදුසු තැන ලැබෙනවාද?
සමහර අවස්ථාවලදී නම් නැහැ කියලා හිතෙන අවස්ථා වැඩියි. එහෙම වෙලාවට හිතෙනවා ඇතැම් අයට මේ සම්මානය දුන්නේ විනිශ්චය මණ්ඩලය ඒ නිර්මාණය දෙස නොබලාද කියලත්. එහෙම අවස්ථා ගැන නම් කනගාටුයි එහෙත් සම්මාන ලබා දෙද්දී එය සුදුසු කෙනාටම ලැබෙනවා නම් ඉතාමත් හොඳයි.
කලාවට පැමිණෙන නවකයන් වෙනුවෙන් ඔවුන්ගේ පැවැත්ම රඳවා ගැනීම වෙනුවෙන් අවවාදයක් දෙන්න කිව්වොත්?
කලාව අධ්‍යයනය නොකර කරන්න බැහැ. හොඳටම ඉගෙන ගන්න ඕනෑ. රඟපාන එක හරිම අමාරුයි. ඒ වුණාට ගොඩක් අය හිතන්නෙ රඟපාන එක හරි ලේසියි කියලා. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. එය ඉතාමත් අසීරු කාරණයක්. ඒ නිසා හොඳින් අධ්‍යයනය කරන්න ඕනෑ. තමන්ට පිටපත ලැබුණට පස්සෙ එය හොදටම කියවන්න. එහෙම කියැවීමෙන් පසු වටපිටාවෙන් ඒ චරිතයට අවශ්‍ය කරන අඩුම කුඩුම එකතු කරගන්න. අපි ගොඩනැඟුණේ එහෙමයි. ඒ නිසා නවකයන්ටත් කියන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන්න කියලයි. එහෙම කළොත් තමන්ගේ පැවැත්ම සහ ක්ෂේත්‍රය තුළ මනා ලෙස ස්ථාවරත්වය ගොඩනඟා ගැනීම එතරම් අසීරු නැහැ.
අනාගතයේදී මොනවගේ නිර්මාණවලින්ද දැකගන්න ලැබෙන්නේ?
දැනට අවුරුදු හතරක පහක වගේ කාලයක සිට මම මගේම රංගන ඇකඩමි එකක් පවත්වාගෙන යනවා. ප්‍රවීණ ශිල්පීන් එකතු කරගෙන වේදිකා නාට්‍ය කරන්න ඕනෑ. මට මම නොවී රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාවන්ට දෙපාරක් නොහිතම මම සම්බන්ධ වෙනවා. පුතාට කලා කටයුතුවලට ගොඩක් ආස නිසා එයාට යා යුතු මඟ කියා දෙමින් ශක්තිමත් වෙන එක තමයි අනාගත බලාපොරොත්තුව.
