
ඔහු ලාංකේය කලා කෙත තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. එමෙන්ම ඔහු කලාව තුළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති රංගන ශිල්පියෙක්. තණ්හා රතී, රඟා, ද නිවුස්පේපර්, වාලම්පූරි වැනි සිනමාපට නිසා ඔහුගේ රංගනය පිළිබඳව බොහෝ විචාරක පැසසුම් ලැබුණා. වේදිකාව, ටෙලිවිෂනය, සිනමාව තුළ එක ලෙස දස්කම් පානා ඔහුගේ රංගන විලාසය ප්‍රේක්ෂක සන්තානය නිතැතින්ම කලඹනවා. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල.
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරනවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකත් වැඩ කරනවා. පැනඩෝරා, ඔළුහැලුවෝ කියන වේදිකා නාට්‍ය දෙක මේ දිනවල වේදිකාගත වෙනවා. ඉතින් නිර්මාණ සමඟ කාලය ගෙවී යනවා.
මගෙමදෝ ටෙලිනාට්‍ය තුළින් ඔබ දකින්න ලැබෙනවා. ඒ ගැන කියමු?
මගෙමදෝ කියන්නේ ඉතා හොඳ ටෙලිනාට්‍යයක්. ඉතා ලස්සන ටෙලිනාට්‍යයක්. මේ දිනවල එයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ජී. නන්දසේන. එහි කතාව, දෙබස් හා රූපවාහිනි රචනය කුෂාන් සමීරගේ. මේ දිනවලත් එහි රූගත කිරීම් සිදු වෙනවා. කිසිම කලබලයක් නැතිව අපි වැඩේ කරගෙන යනවා. ඉතින් මේ ටෙලිනාට්‍ය ඉදිරියේදී මොන ආකාරයකට ගලායයිද කියලා අපි බලා සිටිමු.
ඔළුහැලුවෝ වේදිකා නාට්‍ය ගැන කියනවා නම්?
මේ දිනවල මම රංගනයෙන් දායක වන වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකාගත වෙනවා. මේ වේදිකා නාට්‍ය නිර්මාණය කළේ චින්තක පීරිස්. මට අමතරව චින්තක පීරිස්, මිහිරි සිරිතිලක, පුබුදු චතුරංග, ජනක රණසිංහ කියන රංගන ශිල්පීන් මේ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායකත්වය සපයනවා. මෙය නිෂ්පාදනය කළේ රඟහල ඩොට් එල්.කේ. ජනක රණසිංහ. ඉතින් මේ නාට්‍ය නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද වේදිකාගත වෙනවා.
මෙ දිනවල ප්‍රේක්ෂකයාට වේදිකාව ගැන විශාල උනන්දුවක් ඇති වෙලා. මේ ගැන ඔබේ අදහස?
ඇත්තටම ඒ ප්‍රබෝධය ඉතා හොඳයි. බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ විජය නන්දසිරිගේ රඟපෑමත් එක්ක තමයි බොහෝ පිරිසක් වේදිකාව වටා එක් රොක් වෙන්න ගත්තේ. තරුණ පිරිස් ඉන්පසුව වේදිකාව වැලඳ ගත්තා. නාට්‍යයක තිබෙන විනෝදකාමී බව දැන් වේදිකා නාට්‍ය තුළ තිබෙනවා. ප්‍රේක්ෂකයා වේදිකාව වෙත පැමිණෙන්න හේතුව වුණේ මේ විනෝදකාමී බව. ඒක තමයි අපේ මැජික් එක. වේදිකාවට මේ මැජික් එක ගෙන එන්නේ කොහොමද එය භාවිත කරන්නේ කොහොමද කියන දෙය අපි සොයා ගත යුතුයි. පැනඩෝරා තුළත් අපි අත්හදා බලන්නේ එයයි. දැන් නැවුම් අලුත් වේදිකා නාට්‍ය බිහි වෙනවා. එය ඉතා හොඳ දෙයක්.
වාලම්පූරි සිනමාපටයේ විමලෙ මාමාගේ චරිතයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. ඒ ගැන කියනවා නම්?
සිනමාපටයක තිබෙන්න ඕන ආතල් එක විනෝදකාමී බව වාලම්පූරි තුළ තිබුණා. අපේ සිනමාව තුළ තිබෙන්න ඕන අන්න ඒ දෙය. විමලෙ මාමාගේ චරිතය වෙනස්ම ආකාරයක චරිතයක්. ඒක මධ්‍යස්ථ චරිතයක්. ලකාගේ සිත තුළ මැවුණු වෙනස්ම ආකාරයක චරිතයක්. අනෙක් චරිතත් සමඟ කතාව අල්ල ගෙන යන්න පුළුවන් ආකාරයේ චරිතයක් විධියට මම විමලේ මාමාගේ චරිතය දකිනවා.
ලක්මාල් ධර්මරත්න සමඟ වැඩ කරන්න ලැබුණ එක මොන වගේ අත්දැකීමක්ද?
ලක්මාල් සමඟ වැඩ කරන එක අමාරුයි තමයි. නමුත් අමාරුත් නැහැ. ඔහුව තේරුම් ගත්තොත් මේ වැඩේ අමාරු නැහැ. මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විධියට. ඔහු මේ විෂය පථය ගැන ලොකු දැනුමක් තිබෙන අධ්‍යක්ෂවරයෙක්. මම ඔහුට අවශ්‍ය විධියට මේ නිර්මාණයට පණ පෙව්වා කියා මම සිතනවා.
ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ආදරණීය මිනිසෙක් ගැන කතා කරමු?
මේ කතාවේ තිරපිටපත රචනා කළේ සුනන්ද සිල්වා. නලීන්ද්‍රජිත් තමයි මට මේ ටෙලිනාට්‍ය සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කළේ. මගෙත් එක්ක බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩුවෙල, වසන්ත මොරගොඩ, ගයනා සුදර්ශනී, මාධනී මල්වත්ත යන රංගන ශිල්පී ශිල්පිනියන් මෙයට රංගනයෙන් දායකත්වය සපයනවා. මේක නම් දෙකකින් පෙනී සිටින මිනිසකුගේ චරිතයක් පාදක වුණු වෙනස් ආකාරයක කතාවක්. අපි ජීවිතයේ දකින අත්විඳින, අත්නොවිඳින දේවල් තමයි චරිතවලට පාදක වෙන්නෙ. මේ වනවිට අපි මෙහි බොහෝ කොටස් රූගත කොට අවසන්. ඉදිරියේදී මෙහි තවත් කොටස් කිහිපයක් රූගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ වන විට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ පෙර පැවැති කලාත්මක වාණිජ රේඛාව බෙදී යනවා මේ ගැන ඔබේ අදහස?
මේක බොරුවට හදාගත්ත දෙයක්. මේක හදන්නේ විචාරකයෝ. ඇතැම් පිරිස් රඟපාන්න ඇවිත් එහෙම කර ගන්න බැරි වුණාම මේ ක්ෂේත්‍රයට වෙනස් ආකාරයකින් සම්බන්ධ වෙනවා. ඔවුන් ඉතින් අනාදිමත් කාලයක ඉඳන් මෙවැනි කතන්දර කියනවා. කලාත්මක සහ වාණිජ කියන චිත්‍රපට බෙදීමේ රූල කොතැනද කියන එකයි මම අහන්නේ. මේවා එකිනෙකා හදාගත් හිතලු. සිනමා පටයකින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ප්‍රකාශනය සිදු කිරීම. සිනමාපට එහෙම බෙදන්නේ නිර්මාණකරුවන් නෙවෙයි. විදග්ධ යැයි සිතාගන්නා පිරිසක්. නමුත් අනාදිමත් කාලයක සිට ඉතා ශිෂ්ට සම්පන්න ලෙස කටයුතු කරන පිරිසකුත් සිටිනවා.
වත්මන් සමාජ මාධ්‍ය විචාර කලාව පිළිබඳ ඔබ සිතන්නේ කුමක්ද?
ගොඩක් වෙලාවට මෙවැනි දෑ තුළ සිදු වෙන්නේ සිනමාපටය විචාරය කරනවා කියා ඒ සිනමාපටයේ කතාව විස්තරය කිරීමක්. එය නැරඹිය යුතු දෙයක්. සිනමාපටය මිනිසුන්ට දැනෙන්නේ කොහොමද? සිනමා භාෂාව යොදා ගෙන තිබෙන්නේ කොහොමද? කියන දෙය තමයි විචාරය තුළින් කතා කළ යුතු වෙන්නේ. අද විචාර කලාව එහෙම දෙයක් නෙවෙයි. මම ඒ දේවල් අදාළ කරගන්නේ නැහැ. මට ඒ දේවල්වලින් වැඩක් නැහැ.
සරත් කොතලාවලට තමන්ගෙම සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් තිබෙනවාද?
මම මගේම සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ මාසයේ අගදී එහි රූගත කිරීම් ආරම්භ කරනවා. ඒ සිනමාපටය ගැන කිසිදු දෙයක් තවමත් හෙළිදරව් කරලා නැහැ. එහි වැඩ කටයුතු අවසන් කරලා ඒ ගැන කියන්න බලා සිටිනවා.
වත්මන් දේශපාලනය කලාවේ අනාගතයට කවර ගණයේ බලපෑමක් කරයිද?
මම සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මනුස්සයෙක්. කලාකරුවෙක් ලෙස මගේ ප්‍රතිපත්තිය වෙන්නේ මෙන්න මේකයි. මම ලංකාවේ තිබෙන පක්ෂ දේශපාලනයට කැමැති නැහැ. මට දැනෙන විධියට එයින් යහපතක් සිදු වෙලා නැහැ. කලාකරුවකුට පක්ෂ දේශපාලනයක් නොතිබිය යුතුයි කියා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ලංකාවේ ගොඩක් කලාකරුවන් පක්ෂ දේශපාලනය සමඟ සම්බන්ධ වෙලා ඒ ඒ පක්ෂවල දේශපාලන කටයුතු අනුව වැඩ කළා. සමස්තය ගැන සිතා තමන්ගේ ප්‍රකශනය කරන කලාකරුවො ඉතා අල්පයි. සමස්තය ගැන කතා කරන පුද්ගලයකුට බැරියර්ස් තිබෙන්න බැහැ.
ගිහාන් සචින්ත
