පුංචි තිරයට හිද්දලයෝ ගෙන එන රනිල් කුලසිංහ

gossiplanka image 1
තමන්ටම ආවේණික වූ පෙනුම සහ අපූරු රංග කුසලතාවකින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රනිල් කුලසිංහ අද වෙද්දී රංගනයට වඩා කාලය වෙන් කර තිබෙන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කියන කාර්යයට. රංගන ශිල්පියෙක් ලෙස සිය අනන්‍යතාව තහවුරු කළා සේම මේ වෙද්දී ටෙලි නිර්මාණ කිහිපයකින්ම රනිල් කුලසිංහ අධ්‍යක්ෂවරයෙක් විදියට තමන්ගේ අනන්‍යතාවක් ගොඩ නගාගෙන අවසන්. මේ දිනවල බොහෝ තැන්වල දකින්න ලැබෙන දෙයක් තමයි රැල්ලක් හදන කැරැල්ලක් ගැන. ඒ රනිල් කුලසිංහගේ නවතම ටෙලි නිර්මාණය වන ‘හිද්දලයෝ‘ නාට්‍ය ගැනයි.


රැල්ලක් හදන කැරැල්ලේ නිර්මාණකරු ඔබයි. හිද්දලයෝ ටෙලි නාට්‍යයට වස්තුවිෂය වෙන්නෙ මොකක් ද?


1848 කැරැල්ල මූලික කරගත් සත්‍ය සිදුවීම් ඇසුරින් මෙම ‘හිද්දලයෝ‘ ටෙලි නාට්‍ය නිර්මාණය කෙරෙන්නේ. අගෝස්තු 23 සිට හිරු නාළිකාවෙන් මේ හිද්දලයෝ ටෙලි නාට්‍යය දැක ගන්න පුළුවන්.


ප්‍රවීණ එමෙන්ම දක්ෂ නළු නිළියන් රැසකගේ එකතුවක් මේ තුළ දකින්න තියෙනවා, ඒ ගැනත් කියන්න දෙයක් ඇති?


බුද්ධදාස විතානාරච්චි, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අවන්ති අපොන්සු, මොරින් චාරුණී, චමීර ලියනගේ, තරින්දි ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, මයුර කාංචන, අනුරාධ මල්ලවාඅරච්චි, මධුෂාන් හත්ලහවත්ත, දසුනි නවෝද්‍යා වැනි දක්ෂයින් රැසක් එක්ක තමයි මම මේ ටෙලි නාට්‍යය නිර්මාණය කළේ. මේ නම් තියෙන අය වර්තමානයේ එක නිර්මාණයකට එකතු කරගන්න එකත් මම හිතන්නේ අභියෝගයක්. ඒ වගේම මම දකින දෙයක් තමයි විශේෂයෙන් අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගේ කැපවීම. ඔවුන් චරිතයකට සූදානම් වීම. ඔවුන්ගේ ඇසුරත් එක්ක එක්තරා අතකට අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරයෙක් විදිහට මගේ නිර්මාණය තුළම මට ගොඩක් දේ ඉගෙන ගන්න ලැබුණා. මම හිතනවා ඒක මට ලැබුණු වාසනාවක් කියලා.


මෙය කොටස් කීයක් දිවෙන ටෙලි නාට්‍යයක් ද?


අධ්‍යක්ෂවරයෙක් විදිහට කරපු කිසිම නිර්මාණයක් කොටස් 100න් එහාට මම කරලා නැහැ. ඒ ප්‍රමාණයත් මේ නිර්මාණය හරහා මම තවත් අඩු කළා. මින් ඉදිරියට මම කරන නිර්මාණ මම කරන්නෙ කොටස් 80 කට ආසන්නව පමණයි. ඒ අතරත් ‘හිද්දලයෝ’ දිවෙන්නේ කොටස් 60 යි. ‘හිද්දලයෝ’ විකාශය වීමට නියමිත හිරු ටීවී ආයතනයට ස්තූතිවන්ත වෙනවා එවන් සීමිත කොටස් ප්‍රමාණයකට එකඟවීම සහ ඒ අවස්ථාව මට ලබාදීම ගැන. මම හිතනවා අපේ කලාව රැකෙන්න නම් කෙටි කාලයකට හරි සීමිත කොටස් ප්‍රමාණයක නිර්මාණ කෙරෙන්න ඕනේ සහ සීමාවක් අවශ්‍යයි කියලා.


මෙහි පිටපත ලියන්නෙ කවුද ?


ප්‍රියාල් වීරසිංහ තමයි මේ ‘හිද්දලයෝ’ ටෙලි නාට්‍යයේ පිටපත රචනා කළේ. මාව මේ වැඩේට සම්බන්ධ කර ගනිද්දිත් ප්‍රියාල් අයියා මූලික වැඩ ආරම්භ කරලා තිබුණේ. ප්‍රියාල් අයියාට වගේම හිරු ටීවී ආයතනයට ස්තූතිවන්ත වෙනවා ‘හිද්දලයෝ’ වගේ දෑවැන්ත නිර්මාණයක අධ්‍යක්ෂණය මට බාරදීම සම්බන්ධව සහ මා වෙත තැබූ විශ්වාසයට. ඒ වගේම ‘හිද්දලයෝ’ නිෂ්පාදකතුමා මුදිත දිනේෂ්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කාලයක මෙවැනි ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධව.


කොහෙද මේ ටෙලි නිර්මාණය රූපගත කළේ?


සියලුම රූපගතකිරීම් කෙරෙන්නෙ නුවර ප්‍රදේශය ආශ්‍රිතවයි.


‘හිද්දලයෝ’ අතරතුර අමතක නොවන මතකයන් ඇති නේද?


අමතක නොවන සිදුවීම් නම් ඕනේ තරම් තියෙනවා. මේ නිර්මාණයේ විදේශිකයන් කිහිපදෙනෙක් වැඩ කළා. එක විදේශිකයකුට ඉංග්‍රීසිවත් සිංහලවත් කතා කරන්න අපහසුයි. ඒ සඳහා අවුරුදු නවයක වයසැති දුව ඔහු සමඟ එනවා. ඔහු සහ අපි අතර සම්බන්ධතාව ඇති කරන්නේ ඒ දුව. ඒ දුවට භාෂා හතරක් පුළුවන්. ඇය හරිම හුරතල් දක්ෂ දුවෙක්. මට විතරක් නෙමෙයි අපේ මුළු කණ්ඩායමටම කවදාවත් ඒ දුවව අමතක වෙන එකක් නැහැ. ඒ තරමටම ඇය ‘හිද්දලයෝ’ තුළ මතකයන් රැසක් එකතු කළා.


මේ ඔබේ කීවෙනි ටෙලි නිර්මාණය ද?


8 වැනි ටෙලි නිර්මාණය


පුංචි තිරෙන් සිනමාවට එන්න දැන්ම අදහසක් නැද්ද ?


ඒක තමා මගේ හීනය. හැබැයි මට හදිස්සියක් නැහැ. සිනමා නිර්මාණයක මූලික වැඩ කරමින් ඉන්නේ . මගේ උත්සාහය ලෝක සිනමාව සමඟ සම්බන්ධ වෙලා හොඳ නිර්මාණයක් කරන්න. ඒක මගේ හීනයක්


රනිල් කුලසිංහ කියන නළු භූමිකාවට මොකද වෙලා තියෙන්නෙ?


ඒකනම් දැන් ඇතෑරිලාම ගිහින්. ආරාධනා නම් ගොඩක් එනවා. අධ්‍යක්ෂණය කියන්නේ විශාල වගකීම් සහිත කාර්යයක්. ඒ නිසාම මට කාලය අඩුයි රංගනයට. මම අධ්‍යක්ෂණයට තමා මූලිකත්වය දෙන්නෙ.. ඒ නිසාම රංගනය ඇතෑරිලා ගොඩාක් දුරට. සීමිත කොටස් ප්‍රමාණයක මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මගේ වෙලාව වෙන්කරගන්න පුළුවන් කාලයක නම් වැඩක් කරන්න කැමැත්තක් තියෙනවා.. මගේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු ඉල්ලීමක් තමයි රංගනයත් අතහරින්න එපා කියන එක.

gossiplanka image 2
Previous Post Next Post