
පොඩිත්තෝ මේ දිනවල ආසාවෙන් නරඹන හිරු නාළිකාවේ විකාශය වෙන ‘භූත බංගලාවේ‘ රොකීව නම් ඔබට අමතක නැතිව ඇති. ඒ වගේම ‘අකුරු මැකී නෑ‘ ටෙලි නාට්‍යයේ අභී ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේය. ‘මහපොළොව, ළංවී‘ වැනි ටෙලි නිර්මාණ සේම මේ දිනවල විකාශය වන ‘ඉර හැංගිලා‘ ටෙලි නාට්‍යයේ ‘අකිල‘ගේ චරිතයට පණ පොවන ඔහු දමිතු ප්‍රනාන්දුය.
මොකද දමිතු මේ දවස්වල වෙන්නේ ?
පහුගිය දවස් ටිකේ පාසල් නිවාඩුව තිබුණා. මම නම් ‘හපන් පැදුර‘ වැඩසටහනේ නිවේදන කටයුතු එක්ක කාර්යබහුල වුණා. ඒ වගේම මේ දවස්වල ‘ඉර හැංගිලා‘ ටෙලි නාට්‍යයේ අවසන් රූගත කිරීම් වලටත් සම්බන්ධ වෙනවා.
ඔයාගේ අධ්‍යාපන කටයුතු ගැන දැන ගන්න කැමැතියි?
මම ඉගෙන ගන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ. මීට කලින් මම අධ්‍යාපනය ලැබුවේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ. මගේ නිවේදන, රංගන හැකියා හැමදේටම මුල් වුණු තැන තමයි වේල්ස් කුමර විද්‍යාලය.
මිතු කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?
‘ගිනිසර‘ කියලා අංගම්පොර ඇක්ට් එකකින් තමයි මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. මට වයස අවුරුදු තුනේදි තමයි රඟපාන්න පටන් ගත්තේ. ඊට පස්සේ හිරු නාළිකාවේ පළවෙනිම පෝය ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. පෝය ටෙලි නාට්‍ය, හිරු ටෙලි සිනමා සිත්තම් වගේ නිර්මාණ ගොඩකට මම සම්බන්ධ වුණා. ලොකු වැඩක් විදිහට මම මුලින්ම රඟපාන්න සම්බන්ධ වුණේ හිරු නාළිකාවෙම විකාශය වුණු ‘අකුරු මැකී නෑ‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වුණු අභී ගේ චරිතයට. ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා වගේම අදටත් මඟ තොටේ හමුවෙන අයියලා, අක්කලා, නැන්දලා, මාමලා මට හොඳ ඇගයීම් ලබා දෙනවා. වෙළඳ දැන්වීම් රැසකත් මම රඟපාලා තියෙනවා. දැනටත් මම වෙළෙඳ දැන්විම්වලට සම්බන්ධ වෙනවා.
සුමති සම්මාන උලෙළේදී හොඳම ඩිජිටල් අලෙවිකරණ අංශයෙන් SOS ළමා ගම්මානය විසින් නිර්මාණය කරපු, ළමා අපචාර වළකමු තේමාව යටතේ සමාජ සත්කාර දැන්වීමට දෙවන ස්ථානය ලැබුණා. ඒකේ රඟපාපු එකම රංගන ශිල්පියා මම. ‘කම්බිලි‘ කියන චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා.
රඟපෑම වෙනුවෙන් ලැබිලා තියෙන ඇගයීම් මොනවද ?
2022 වසරේ ‘Love Is Forever‘ කියලා කෙටි චිත්‍රපටයක් කළා. International Silver Screen Film Festival එකේ හොඳම ළමා රංගන ශිල්පියාට හිමි සම්මානය මට ලැබුණා. පාසලේ කලා උලෙළේ හැමදාම මම හොඳම නළුවා, හොඳම කථිකයා, හොඳම නිවේදකයා කියන සම්මාන තුනම වේල්ස් කුමර විද්‍යාලයේදි හිමි කර ගත්තා.
ඔයා හොඳ හඬ කැවීම් ශිල්පියෙක් කියලත් ආරංචියි.
ඔව්, මුලින්ම මම හඬ කැවීම් කළේ හිරු නාළිකාවේ ‘ස්පීඩ් රේසර්‘ කියන චිත්‍රපටයට ‘රිචඩ්ගේ වික්‍රමය, ආගන්තුකයෝ‘ වගේ ගොඩක් චිත්‍රපටිවලට මම හඬ කවලා තියෙනවා. ගොඩක් වෙළඳ දැන්වීම්වලටත් මම හඬ කවනවා. මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන ‘භූත බංගලාවේ‘ රොකී චරිතයට හඬ කවනවා.
මේ හැමදේම එක්ක ඉස්කෝලේ වැඩ අතපසු වෙන්නේ නැද්ද ?
මට ඉස්කෝලේ ටීචර්ලා වගේම යාළුවන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. පන්ති භාර ගුරුතුමිය වන සන්ධ්‍යා මැඩම් මට ඉස්කෝලේ යන්න බැරිවෙන දවස්වලට එදා දවසේ ඉස්කෝලේ වැඩ ටික, සටහන් හැමදේම මට ලැබෙන්න සලස්වනවා. මගෙ යාළුවොත් මට උදව් කරනවා.
ඔයාගේ විනෝදාංශ මොනවද?
මම පොත් කියවන්න වගේම විදේශීය කාසි එකතු කරන්න හරිම ආසයි. මං ළඟ සීයකට ආසන්න විදෙස් කාසි එකතුවක් දැනට තියෙනවා. මේ දවස්වල මම කියවන්නේ මැයි මාර ප්‍රසංගය පොත.
‘හපන් පැදුර‘ වැඩසටහන මෙහෙයවන නිවේදකයෙක් විදිහට ඒ වැඩසටහනේ ඉදිරිපත් කරන කරුණුවලින් දමිතුට ලෝකය ගැන ලොකු අවබෝධයක් තියෙන වග පැහැදිලියි. කොහොමද ඒ දැනුම හොයා ගන්නේ ?
මම පොත් කියවන්න ආසයි. රංගන කටයුතු වලදී අපි ලංකාවේ විවිධ ප්‍රදේශවලට යනවා. ඒ තැන්වලදි මුණ ගැහෙන නැන්දලා මාමලා, ආච්චිලා, සීයලාගෙන් විවිධ තොරතුරු දැන ගන්න ලැබෙනවා. අන්තර්ජාලය හරහාත් තොරතුරු ගවේෂණය කරනවා. නිවේදන කටයුතුවලදි ඒ ලබා ගන්න දැනුම බෙදා ගන්න මට අවස්ථාව ලැබෙනවා.
රූ ගත කිරීම්වලදි සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවද ?
‘අකුරු මැකී නෑ‘ නාට්‍යයේ සීන් එකක් තිබුණා මම ගිහින්ගඟකින් මාළුවෙක් අල්ලන් කටේ තියා ගෙන දුවගෙන ඇවිත් ගෙදර තියෙන මාළු ටැංකියට දාන්න ඕන. මට ඒක කරන්න පුළුවන්ද ඇහුවම මම හා කීවා. හැබැයි මට මාළුවා ගිලෙයිද දන්නෑ කීවම ආර්ට් එකේ පොඩි මංගල මාමා කීවා ප්‍රශ්නයක් නෑ සීන් එක හොඳට කළොත් ෆලූඩා එකක් දෙනවා කියලා. වැඩේ හරියට කෙරුණා වගේම මට ෆලූඩා එකත් ලැබුණා. පණ පිටින් මාළුවෙක් කට ඇතුළේ තියා ගන්නවා කියන එක හරි අමුතු අත්දැකීමක්. එතකොට මම තුන වසරේ. තව සිද්ධියක් තමයි ගෙම්බෙක් අතේ තියාගෙන මට කතා කරන්න තිබුණා. ඒකත් හරි විශේෂයි. කුරුල්ලො එක්ක කතා කරන්න තිබුණා. එතැනදි සිද්ධ වුණු දුක්මුසු දේ තමයි ඒ කුරුල්ලා පහුවදා මැරුණා. එයාව වළ දාලා ගහකුත් හිටෙව්වා. මේ දවස්වල විකාශය වෙන ‘ඉර හැංගිලා‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙන්නේ ගල්ගමුව ප්‍රදේශයේ. එහේ අලි නිසාම ප්‍රසිද්ධයිනේ. අපිට එහෙදි අලි නිසා පොඩි අකරතැබ්බත් සිද්ධ වෙලා තියෙනවා. එහෙ නැන්දලා මාමලා අපිට හරි ආදරෙයි. දිලිනි නැන්දටයි මටයි රතු පේර, බඩ ඉරිඟු වගේ එක එක ජාතියේ කෑම ලැබුණා. මම ගල්ගමු යන්නේ කෝච්චියේ. ගොඩක් යාළුවො මට කෝච්චි ගමනෙදි මුණු ගැහෙනවා. එයාලත් මට කෑම ජාති තෑගි කළා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් දැනගන්න කැමැතියි.
‘නොකවුට්, සඳ සිත්තම්,‘ කියන ටෙලි නාට්‍ය දෙක ඉදිරියට එන්න තියෙනවා.
අනාගත බලාපොරොත්තුව ?
ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහටත් නීතිඥවරයෙක් විදිහටත් කටයුතු කරන අතරම නිවේදනය, රංගනය හා හඬකැවීම් කටයුතු දිගටම කරගෙන යන්න ආසයි.
