
ජාතික රූපවාහිනියේ විකාශය වන සේනාන් විමලවීරගේ මාරක සර්කස් ටෙලි නිර්මාණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ එය වෙනස්ම තේමාවකින් නිර්මාණය වූවක් නිසා විය හැකිය. එහි ආවර්ජනා ලෙසින් ඔබ හමුවට එන්නේ සුලක්ඛනා හේරත්ය. පුංචි තිරයට පිවිසීමටත් පෙර සිටම සමාජ මාධ්‍ය තුළ ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටි ඇය යූටියුබ් නාළිකාව ඔස්සේ හාස්‍යජනක නිර්මාණවලින් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළාය. ඒ ඔස්සේ ලද පන්නරය ඇය තම රංගන දිවියට ආලෝකයක් කරගත්තාය. මාරක සර්කස් ඇයගේ අවසන් රංගන අත්දැකීම විය හැකි බවට ඉඟි පළකළ සුලක්ඛනා ඒ පිළිබඳව කතා කරන්නට අප හා එක්වූවාය.
මාරක සර්කස් ටෙලි නිර්මාණයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
මාරක සර්කස් ටෙලි නිර්මාණයේ ප්‍රඩක්ෂන් මැනේජර් විදිහට කටයුතු කරන වින්සිත්ගෙන් තමයි ආරාධනාව ලැබුණේ. ඔහු මට හමුවන්නේ මගේ පළමුවැනි ප්‍රඩක්ෂන් එකේදි. මගේ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් මං රවිඳු ජයරත්නගේ සින්දුවක් කළා ‘මායම්‘ කියලා. එකේ ප්‍රඩක්ෂන් මැනේජර් විදිහට තමයි වින්සිත් මට මුලින්ම හමුවෙන්නේ. ඒ හඳුනාගැනීම තමයි මාරක සර්කස් ටෙලි නිර්මාණයට අවස්ථාව ලබාදෙන්නේ.
ආවර්ජනාත් බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වූ භූමිකාවක්?
ආවර්ජනා කියන්නේ ගුරුවරුන් දෙපලකගේ එකම දරුවා විදිහට ඔවුන්ගේ සාම්ප්‍රදායික ගතිපැවතුම්වලට යටත්ව හැදෙන තරුණියක්. ඇයත් ඔවුන්ගේ පාසලේ ශිෂ්‍යයෙක් කියලයි ඔවුන් හිතන්නේ. වයසින්, අත්දැකීම්වලින් මුහුකුරා ගියත් ඔවුන් කවදාවත් ඒ සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණේ නැහැ. ඒ රාමුවේ තමයි ආවර්ජනාට හැදෙන්න වුණේ. ඇය හැදුණෙත් ජීවිතය ගැන ලොකුවට හිතන්නෙ නැති ජීවිතය ගැන වැඩි බරක් පතලක් නැති තරුණියක් විදිහට. මට බොහෝ දුරට ලැබුණෙම හාස්‍යජනක චරිත. මේකත් ටිකක් ඒ පැත්තට බරයි. ආවර්ජනා නිසා අමතක නොවන තැනුත් තියෙනවා. ආවර්ජනා බැංකුව වැඩ කරන තරුණියක්. ඇය එක තැනක කියනවා “අපි නම් බැංකුව 3ට වහලා 5ට ගෙදර යනවා“ කියලා. පහුගිය දවසක මං වැඩකට බැංකුවට ගියා. ඒකෙ වැඩ කරන තරුණියක් මං දැකලා කිව්වා “අපිට නම් ඉතින් 3ට වහලා 5ට ගෙදර යන්න වෙන්නෙ නෑ. අපිව නම් 7 වෙනකල් තියාගන්නවා“ කියලා. ඒ වගේ වයිරල් වුණු තැන් තියෙනවා.
ඔබ යූටියුබර් කෙනෙක් විදිහට ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක්?
ඔව්. කොවිඩ් සමයේ හැමෝම එක එක අත්හදාබැලීම් කළානේ. කංචුක මගේ යාළුවෙක්. ඔහු ඒ වෙද්දිත් යුටියුබ් චැනල් එකක් කළා. ඔහු මටත් කිව්වා ඔයත් යූටියුබ් එකක් කරන්න කියලා. මුලින්ම අපි පොඩි පොඩි වීඩියෝ කරලා දැම්මා. ඒ 2020 වගේ. දවස් 4ක් ඇතුළත සබ්ස්ක්‍රයිබර්ස්ලා විසිදාහක් හැදුණා. මේ වෙද්දි ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ කාලේ හැටියට මිනිසුන්ව රිලැක්ස් කරන්න කොමඩි ඒවා තමයි දැම්මේ. ගොඩක් දෙනා මාව හැඳිනගත්තේ කොමඩි චරිතයක් විදිහට. ඒ ආභාසය නිසාමද මන්දා ටෙලි නිර්මාණවලටත් මට ආරාධනා ලැබෙන්නෙම ඒ වගේ චරිතවලටමයි. මාරක සර්කස් එකේදි වුණත් සේනානුයි කවීෂයි කිව්වේ සුලක්ඛනා නම් මේක නියමෙට කරයි කියලා.
මාරක සර්කස් ඔබේ අවසාන ටෙලි නිර්මාණය කියල කියන්නෙ ඇයි?
මට ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණු නිසා පහුගිය කාලෙ පුරාම මට ඒක අතපසුවුණා. ප්‍රඩක්ෂන් පැත්ත වගේම මගේම දෙයක් ඩිරෙක්ට් කරන්නත් පොඩි අදහසක් ඔළුවෙ තියෙනවා. කෙටි චිත්‍රපටයක් වගේ. ටෙලි ඩ්‍රාමා , ටිවී ප්‍රසන්ටින්වලට සම්බන්ධ වුණු නිසා මගේ යූටියුබ් චැනල් එකේ වැඩ සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙන්නේ. මගේම මහන්සියෙන් ගොඩනඟාගත්ත දේ අමාරුම කොටස ඉවර වුණාටත් පස්සේ අතහැර දාන එක අපරාධයක් කියල හිතුණා. අනික මට හැමදාම ලැබුණෙ කොමඩි පැත්තට බර චරිත. මටත් ඕන ඒකෙන් මිදෙන්න. නමුත් මං ඒවා හොඳට කරන නිසා ද මන්දා මට ආරාධනා ලැබෙන්නෙම ඒ පැත්තට නැඹුරු චරිතවලට. ඒකාකාරී රංගනයක යෙදෙන්නත් මං කැමැති නැහැ. ඒ නිසා හොඳ වෙනස් නිර්මාණයක් ලැබුණොත් විතරක් ඒ ගැන හිතල බලනවා. ආවර්ජනා තුළ වුණත් කොමඩි පැත්තත් ටච් කරනවා.
ඔබේ ක්ෂේත්‍රය පිවිසීම ගැනත් සඳහන් කරමු?
මායි, කංචුකයි ටයිම් මැෂින් එකක් ගැන වීඩියෝ එකක් කළා. කංචුක ඒක චාමර පීරිස් අයියට යවලා තිබුණා. ඒක දැකලා ඔහු කියලා තිබුණා එයාගෙ ඇක්ටින් හොඳයි එයාව හඳුන්වලා දෙන්න කියලා. ඒ විදිහට තමයි මං චාමර පීරිස්ගේ වීඅයිපී ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. ඒක තමයි මගේ පළමු ටෙලි අත්දැකීම. ඊට පස්සේ ඔහුගේම බටහිර අහස ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. ඒ අතරේ තිළිණ බොරලැස්ස අයියගේ ත්‍රිමාණ ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වුණා. මෑතකදී ඔහුගේ සිකුරු ඇවිත් ටෙලියටත් සම්බන්ධ වෙන්න ලැබුණා. චාමර අයියගේ රාහු ටෙලි නාට්‍යයෙන් පස්සේ පොඩි විවේකයක් අරගෙන ඊට පස්සේ ඔහුගේම උතුරු සුළඟ සිනමාපටයටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වගේම මගේත් පළමු සිනමා රංගනය. ඒ විදිහට මගේ මේ ගමනේ පෙරගමන්කරුවා වුණේ චාමර පීරිස් කිව්වත් හරි. අදටත් මං මොකක් හරි නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න කලින් ඔහුගෙන් අහනවා.
ආදරය ගැනත් සුලක්ඛනාට අත්දැකීම් ඇති?
හරිම කෙනා හමුවුණොත් ආදරය සුන්දරයි. නමුත් වැරදි කෙනෙක් හමුවුණොත් අපට ජීවිතයම එපාවෙන තැනකට පත්වෙන්න පුළුවන්. අපි මොනවා කළත් අපේ ජීවිතය ඉස්සරහට යන්නෙ ආදරයත් එක්ක. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. ආරාධනා නම් ලැබෙනවා. මේ දවස්වල හිත හිතා ඉන්නේ වළට වැටෙනවා ද නැද්ද කියලා.
