
අනුෂ සංජිව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ ක්‍රිෂාන්ති කුලසූරිය ලියූ ‘මදර් ලංකා’ චිත්‍රපටය අගෝස්තු 14 සිට දිවයින පුරා තිරගත වීමට සූදානම්. ගැරහිලි, පීඩන හා දැඩි දරිද්රතාවයින් මැද කටුක මාවතක ජීවිතය දියකළ දිරිය මවකගේ කතාවක් තමයි මදර් ලංකා තුළින් රිදී තිරයේ දිගහැරෙන්නේ. එහි ප්‍රධාන භූමිකාවන් ත්‍රිත්වය වන්නේ ශාලු, එමී සහ සත්‍යා. ශාලු ලෙසින් තරින්දි ප්‍රනාන්දු, සත්‍යා ලෙසින් ධනංජය සිරිවර්ධන රඟපාන අතර එමී ලෙසින් රිදී තිරයට හඳුන්වා දෙන්නේ ශෙනුකි දිශල්‍යා. ශෙනුකි කියන්නේ ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාව රනින් සරසපු දක්ෂ ක්‍රීඩිකාවක්. රසඳුන මේ කතාබහ ශෙනුකි දිශල්‍යා සමඟ ‘මදර් ලංකා’ චිත්‍රපටය ගැන
ශෙනුකි මදර් ලංකාහි එමී වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒක අද බලනකොට විශාල භාග්‍යයක් කියලා හිතෙනවා. මට මීට ප්‍රථම සිනමාවට ඇරයුම් ලැබුණා. ඒත් මට හරියනම චරිතයකින් මතුවෙන්න ඕනෙකම තිබුණා. ක්‍රීඩිකාවක් වීම ශරීර යෝග්‍යතාව, නම්‍යශීලීකම වගේම අභියෝගාත්මක මුහුණදීම් එමීගේ චරිතය පුරා තිබුණා. ඒක තමයි ලොකුම සුදුසුකම. දැන් දැන් ලැබෙන ප්‍රතිචාර අනුව මේ චරිතයට මම උපරිම සාධාරණත්වයක් දීලා කියලා අහන්න ලැබෙනවා. ඒ නිසා මේ දවස්වල මම ඉන්නේ සතුටින්.
එමි කියන්නේ බැට්මින්ටන් ක්‍රීඩාව ජිවිතේ කරගත්ත කෙනෙක්. ශෙනුකි කියන්නෙත් ක්‍රීඩාව ජිවිතේ කරගත්ත කෙනෙක් නිසා මේ චරිතේ කරන්න පහසු වුණා ද?
මම හරි නිහඬ, සාමකාමී සංවේදී චරිතයක්. ඒත් ක්‍රීඩාව තුළ මම එහෙම නැහැ. එතැනදී මම ගොඩක් ආක්‍රමණශීලී වගේම ක්රියාශීලීයි. පැරදෙන්න ආස නැහැ. ගෝල්ඩ් මෙඩ්ල් එක ගෙදර අරන් යන එක තමයි මගේ සටන. ඒක අවුරුදු 4 ඉඳලා ජීවිතයම වෙලා තිබුණේ. පාසැල් ක්‍රීඩාංගණය මිසක් අනෙක් ළමයින්ට වගේ සෙල්ලම් ගෙවල් බෝනික්කන් මට තිබුණේ නැහැ. අදටත් ගෙදර ලොකු පෙට්ටිවල තියෙන්නේ මෙඩ්ල් තමයි. මම ක්‍රීඩිකාවක් වීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒක නිසා ලැබෙන සමාජ ගෞරවයට මම ආසයි.
ක්‍රීඩාව ද රංගනය ද පහසු?
දෙකම අමාරුයි. හරියටම කරනවා නම් ඕනෙම දෙයක් පූර්ණකාලීන කැපවීමක් අවශ්‍යයි. මම වෘත්තීමය බව ගැන ගොඩක් හිතනවා. රංගනය ලේසි නැහැ. ඒ හැඟීම් ප්රකාශනයන් සරල නැහැ. කැමරාව ඉස්සරහදී මුලින් නම් ලොකු අපහසුතාවක් දැනුනා. මුලු ටීම් එකෙන්ම මට පුදුම සහයෝගයක් සහ ආශීර්වාදයක් ලැබුණා. මේ චිත්‍රපටය තුළ මම සාර්ථක වුණා නම් ඒක පිටිපස්සේ හුඟක් අය හිටියා. ඒ හැමෝමට හුඟක් ආදරෙයි.
මේ පිටපත ලියැවෙන්නේ ශෙනුකිගේම අම්මා අතින්, අම්මා මොන වගේ උපදෙස් ටිකක් ද දුන්නේ?
මගෙ අම්මා මේක ලියන්න ඇත්තේ මාව ඔළුවේ තියාගෙන වෙන්න ඇති. ඒත් මම මේකේ රඟපාවිදැයි මම දැනගෙන හිටියේ නැහැ. එවකට ගුවන් සමාගමක් එක්ක ගිවිසුමක් තිබුණා. නිවාඩු අනුමත වෙයිදැයි ගැටලුවක් තිබුණා. ඒ නිසා චරිතෙට ඔඩිෂන් තිබුණා. මේ වනවිට හුඟක් වෙෙළඳ දැන්වීම්වල නිරූපණය කරලා තිබුණා. ඒනිසා මගේ කැමැත්තක් තිබ්බා චරිතය හරි නම් මට නේද දෙන්න ඕනේ කියලා. අවසානේ මගේ තීරණය වුණේ එමීගේ චරිතය භාරගන්න. මේ හුඟක් සිදුවිම් එක්ක මගේ ක්‍රීඩා ජීවිතය වගේම අම්මගේ කැපවීමේ සෙවණැල්ලත් ගළපුණා.
ඒ එක්කම ලොකේෂන් එකට ගියාම අධ්යක්ෂවරයා වෙන්නේ ඔබේම පියා, කොහොමද ලැබුණු සහයෝගය?
මගේ පියා අධ්යක්ෂ වීම තුළ තවත් අසීරු වුණා වැඩේ. මගේ වැඩ දන්න නිසාම හයියෙන් කෑගහලා තමයි සමහර දේවල් ඇක්ට් කළේ. තාත්තාගෙන් නම් කිසිම බුරුලක් ලැබුණේ නැහැ.
එමි විදියට ඔයාව රිදී තිරයේ මුලින්ම දකිද්දී දැනුණු හැඟීම මොනවගේද?
ඇත්තමයි…පුළුල් සිනමා තිරයේ මාව දකිද්දී ඒක පුදුමාකාර සතුටක්. මට මාවත් ලොකුවට දැනුණා. සිනමාව කියන්නේ දැවැන්ත කර්මාන්තයක් කියලා තාත්තා නිතරම කියනවා. තරුවක් වෙන්න ඕනේ කොහොමද කියලා නිතරම අහලා තියෙනවා. ඒ සිනමාව තුළ සිනමා තරුවක් වෙන්න ලැබුණ එක කොයිතරම් වටිනවද. ඇත්තටම ක්‍රීඩාවයි, සිනමාවයි දැන් මගේ ආසම විෂයවෙලා.
තරින්දී සහ ධනංජය තමයි වැඩිපුරම ෆ්‍රේම් එකේ මුණගැහිලා තිබ්බේ. ඒ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
අම්මලා දෙන්නෙක් එක්ක හැදෙන වැඩෙන දියණිය මම. ඒ දෙන්නගෙම සෙවණ මට ලැබුණා. තරින්දි අක්කා frame එකට එන්නේ චරිතයට ආවේශ වෙලා. ඒක මහ පුදුමාකාරයි. තත්පරෙන් තත්පරය ඒ මුහුණ හුඟක් චලනයන් පෙන්වනවා. එයා ළඟින් ඉඳලා ඒවා ග්‍රහණය කිරීම ඇකඩමියකට ගියා වගේ.
ධනංජය අයියා frame එකට ආවම විතරක් නෙමෙයි මුළු දර්ශන තලයෙම හිටියේ දිග නියපොතු දාලා, සියලු රෝම කූප ඉවත් කරලා, කාන්තා යට ඇඳුම් ඇඳලා, එකම ඉරියව්වකින්වත් පිරිමියෙක් බව නොපෙන්වා. ඇත්තටම විදේශ චිත්රපටයකවත් මම එහෙම දැකලා නැහැ. මට ඔහු එක්ක රඟපෑම හරිම ලේසි වුණා. මට දැනුණේ අම්මා කෙනෙක් ළඟ ඉන්නවා වගේමයි. හරිම තාත්විකයි. බිමල් අයියත් හේෂානි අක්කත් සනත් අන්කල් වගේම මගේ දුෂ්ටයා නවිදිවත් ආදරෙන් සිහිකරනවා.
අමතක නොවන මතකයන් ඇති?
අමතක නොවන්නේ මම කවදාවත් ක්‍රීඩා නොකරපු බැඩ්මින්ටන් ක්‍රීඩාව කරලා නැහැ. මාස තුනක් පුහුණු වුණත් දර්ශන තලය පුරා ඉතාමත් වෙහෙසට පත්වුණා. ක්ලාන්තය ආවා. මම ක්‍රීඩිකාවක් වීම තුළ ඔරොත්තු දුන්නා මිසක මට ඒ දේ කරන්න බැරිවෙයි.
මම රඟපෑමට කැමති සිනමාව තුළ. දීර්ඝ නාට්‍යවල රඟපෑමට ලොකු ආසාවක් නැහැ. වෙන දෙයක් නිසා නෙමේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. මගේ විෂය ක්‍රීඩා මනෝවිද්‍යාව. ලංකාවේ ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩක් කරන්න සූදානමින් ඉන්නවා. ලස්සන නිර්මාණයකට නැවත එක්වෙන්න සුදානමින් ඉන්නවා.
දැන් ක්‍රීඩාවට සමුදීලා ද?
ක්‍රීඩාවට සමුදෙන්න බැරිවෙයි. නමුත් ටික කාලයක විවේකයක් අවශ්‍යයි.
මදර් ලංකා බලන්න ප්‍රේක්ෂකයන්ට මොන වගේ ඇරයුමක් ද කරන්නේ?
මදර් ලංකා කියන්නේ මට මගේ අම්මට දෙන්න පුළුවන් තවත් සමාන පදයක්. මම දුවෙක් විදියට අම්මාගේ සෙවණැල්ල තාම හොයනවා.
මේ චිත්‍රපටය ඇතුළේ මගේ අම්මා ඉන්නවා වගේම ඔයාලගේ අම්මත් අනිවාර්යයෙන් ඉන්නවා. මේක හැමෝගෙම අම්මට දෙන්න පුළුවන් තිළිණයක්. පවුලම ඇවිත් නරඹන්න. මදර් ලංකා චිත්‍රපටය බැලුවාම වෙනදටත් වඩා අම්මා ගැන ආදරේ හිතෙයි.a
