
වසර තුනක් තිස්සේ හිරු නාළිකාවේ විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයේ ‘මිහිරි ටීචර්’ගේ භූමිකාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත් ඔෂිනි ශනායා මේ දිනවල සසංකාරා ටෙලි නිර්මාණයේ ලීලාවතීගේ භූමිකාවෙන් විශිෂ්ට රංගන කෞෂල්‍යයක් පෙන්වන්නීය. සින්ධූ ඇය දායක වන තවත් ටෙලි නිර්මාණයකි. සහජයෙන් උරුමවූ රංගන හැකියාව අධ්‍යයනයෙන් හා අත්දැකීමෙන් ඔපමට්ටම් කරගත් ඇය මේ වනවිට ටෙලි නිර්මාණ ගණනාවක් ඔස්සේ පුංචි තිරයේ දස්කම් දක්වා ඇත. මනෝ විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය නිම කළ ඇය ඉදිරියේදී මනෝ උපදේශකවරියක් ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය.
අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයේ මිහිරි ටීචර් ලෙසින් කුඩා දරුවන්ගේ ආදරණීයම චරිතය බවට පත්වී සිටින ඇය ළමා මනෝ වෛද්‍ය උපදේශකවරියක් ලෙස ඉදිරියේ කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.
“ප්‍රේක්ෂකයින් මාව හොඳින්ම හඳුනගත්තේ අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයේ මිහිරි ටීචර් නිසා. ඒකට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ. කැම්පස් එකේ ළමයි ගොඩක්ම බලනවා. මම වෘත්තියෙන් ගුරුවරියක් විදිහට ප්‍රාථමික අංශයේ දරුවන්ට උගන්වනවා. උගන්වන ගමන් තමයි මම රඟපාන්නේ. මනෝ උපදේශකවරියක් වීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනික පසුබිම මේ වනවිටත් මං නිමකර අවසන්. ඉදිරියේදී කවුන්සිල් සෙන්ටර් එකක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
මං පාසල් ගියේ වත්තල ශාන්ත මරියා මහා විද්‍යාලයට. මට ඉන්නෙ අම්මයි මල්ලිල දෙන්නයි විතරයි. පුංචි කාලෙ ඉඳන්ම මට මනස ගැන මානසික රෝග ගැන හොයන්න ලොකු උනන්දුවක් තිබුණා. මං ඒ ගැන හොයන්න වෙහෙසුණා. පොඩි කාලෙ ඉඳන්ම විශේෂ අවශ්‍යතා සහිත ළමයි දකිද්දී මං ගොඩක් සංවේදී වෙනවා. ඒ කාලෙ මං නොතේරෙන වයසක හිටියත් දවසක මං මේ ළමයි වෙනුවෙන් මොනවහරි කරනවා කියන හැඟීම මට ඇති වුණා. ඒ නිසා මං මනෝ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අධ්‍යාපනය හදාරන්න පෙලඹුණා. මේ වෙද්දි අධ්‍යාපනයේ ඉලක්ක බොහෝමයක් සපුරාගන්න ලැබීම ලොකු සතුටක්. “
ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සසංකාරා ටෙලි නිර්මාණයේ ලීලාවතීගේ චරිතය ඇයට අභියෝගයක් වූවාට සැකයක් නැත. එහි ඇය දරුවකු සිටින මවකි. තවමත් සුන්දර යුවතියක වන ඔෂිනි ගැබිනි කාන්තාවක්, මවක් ලෙස දක්වන රංගන කෞෂල්‍ය සැබැවින්ම අගය කළ යුතුය.
“සසංකාරා කියන්නේ මගේ රංගන ජීවිතේ ලොකුම අභියෝගය කිවුවත් හරි. ලීලාවතී කියන්නේ මවක්. සසංකාරා පළමුවැනි එපිසෝඩ් එක පටන් ගන්නෙම ලීලාවතීට දරුවා ලැබෙන අවස්ථාවෙන්. තරුණියක් විදිහට මං එහෙම අත්දැකීමක් ලබලා තිබුණෙ නැහැ. දරුවෙක් ලැබෙන මොහොතේ දැනෙන වේදනාව, ඒක දරාගන්න විදිහ තාත්විකව පෙන්නන්න මට ඕනෑ වුණා. විශේෂම කරුණ තමයි ඒක අද කාලෙ දරු උපතක් නෙවෙයි. ඉස්සර දරුවෙක් බිහිකරද්දි අද වගේ වෛද්‍යවරු හෙදියන් වටවෙලා ඉන්නෙ නෑ. ඒ අත්දැකීම අද දකින්නත් නැහැ. මම ගොඩක් ඒ ගැන තොරතුරු හොයාගෙන හොඳින් අධ්‍යයනය කරලා තමයි චරිතයට අනුගත වුණේ. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකුම අත්දැකීමක්.“
මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ ත්‍රිත්වයකටම රංගන දායකත්වය ලබාදෙන ඔෂිනී කලාවට පිවිස තිබුණේ ලේ උරුමයෙන් ලද සහජ හැකියාවත් දෝත දරාගෙනය.
“පොඩි කාලෙ ඉඳන්ම මට ලිවීමේ හැකියාව තිබුණා. මං සිනමාකරණය පිළිබඳ හදාරන්න පටන් ගත්තෙත් ඒ නිසා. පාසල් වේදිකාව මට හුරුයි. අපේ පවුල් පසුබිමේම කලාව තිබුණා. මගේ සීයා වේදිකා නාට්‍ය රංගන ශිල්පී ඇලෝසියස් පෙරේරා. මගේ මහප්පත් ගායකයෙක්. ඒ දවස්වල සීයා පුහුණුවීම්වලට යද්දි මාවත් එක්ක යනවා. ඒ ආභාසයෙන් තමයි මට රංගන හැකියාව ලැබෙන්න ඇත්තෙ.
අහම්බෙන් වගේ තමයි මට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ අඛිල අබේරත්න සර් නිසා. ඒක මගේ පළමු රංගන අත්දැකීම. ඊට පස්සෙ සකූගේ ලෝකය, අකුරු මැකී නෑ, දිවිතුරා යන ටෙලි නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දි අකුරට යන වෙලාවේ, සින්ධූ, සසංකාරා විකාශය වෙනවා. ඔය අතරේ සිනමාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. තවත් ටෙලි නිර්මාණ තුනකට ආරාධනා ලැබිල තියෙනවා. ඒවා තාම රූගත කෙරෙමින් යනවා. සසංකාරා නිර්මාණය කළ ප්‍රියන්ත ප්‍රනාන්දුගේම තවත් ටෙලි නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම මගේ වාසනාවක්.“
රංගනයට පමණක් සීමා නොවුණු ඔෂිනි හැකියාවන් රැසක් දායාද කරගත් තරුණියකි. ඇය ගුරුවරියකි. මනෝ විද්‍යා උපදේශකවරියකි. ලේඛිකාවකි. ඒ හැරුණු කොට ගී පද රචිකාවියකි. ගී පද රචනයේ දස්කම් පාන ඇය මේ වනවිට ගීත කිහිපයක්ම රචනා කර ඇත. තශ්මිල සේනාදීර ගයන ඇගේ අලුත්ම ගීතය නුදුරේදීම එළිදැක්වීමට නියමිතය. එහි රූප රචනාව සඳහා පෙනී සිටින්නේද ඇයම වීම විශේෂත්වයකි. හැකියාවන් රැසකින් සමන්විත ඔෂිනි ළමා මනෝ විද්‍යාව පිළිබඳ රචනා කළ ග්‍රන්ථය ඉදිරි සාහිත්‍ය මාසයේදී එළිදැක්වීමේ බලාපොරොත්තුවෙන් දෑස් දල්වා සිටින්නීය.
නාමලී ගමගේ
