වසර හතක් තිස්සේ දිල්හානිට දිල්හානිව හමුවෙලා නැහැ - දිල්හානි ඒකනායක

gossiplanka image 1
මේ දිනවල අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් තිරගත වන මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ, දිනේෂ් මුතුගල නිෂ්පාදනය කළ “සූර්යා” චිත්‍රපටය මම විතරක් නෙවෙයි නිෂ්පාදන කණ්ඩායමම එකාවන්ව ‍ගොඩාක් මහන්සි වුණු චිත්‍රපටයක්. මහේෂ් මුණසිංහ කියන්නේ මම බෙහෙවින්ම කැමැති අධ්‍යක්ෂවරයෙක්. චිත්‍රපටය නිෂ්පාදනය කළ දිනේෂ් මුතුගලත් අපි කවුරුත් දන්න ජනප්‍රිය කෙනෙක්නේ. ඔහුත් චිත්‍රපටයේ නිර්මාණ කාර්යයට හෝ ශිල්පීන්ට කිසිම බලපෑමක් කළේ නැහැ. සම්පූර්ණ නිදහස ඔහුගෙන් මේ නිර්මාණයට ලැබුණා. නිෂ්පාදකවරයෙක් එහෙම වීම නිර්මාණයේ නිර්මාණාත්මක බව ආරක්ෂා වීමට හේතු වෙනවා. හැමෝම පුදුම කැපවීමකින් රූගත කිරීම්වලට සම්බන්ධ වුණා.


මහනුවර දින කිහිපයක් නතර වෙලා තමයි සූර්යා චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් කළේ. රූගත කිරීම් කළ සෑම දවසකම අවසානයේ අපි හැමෝම දැඩි ලෙස වෙහෙසට පත් වුණා. සමහර දවස්වල අපි හැමෝම එකම ඇඳක වැතිරිලා ගිමන් හැරියා. ඇවිදගෙන ගිහින් තමන්ට වෙන් වුණු කාමරයට යන්න තරම්වත් ශක්තියක් අපි කාටවත් දවස අවසානයේ ඉතිරි වෙලා තිබු‍ණේ නැහැ. ඒ තරම් මහන්සියක් අපි හැමෝට ම දැනුණා. ඇත්තට ම මටත් වඩා මහන්සියක් ජනිත් වික්‍රමගේ ඇතුළු පිරිසක් දැරුවා. එක දර්ශනයක් තිබුණා මම ජනිත්ගේ අම්මා හැටියට එයාගේ කම්මුලට ටිකක් තදින් පහරක් ගහනවා. පුළුවන් තරම් තාත්ත්විකව එන විදිහට ගමු කියලා අධ්‍යක්ෂවරයා ‘ඇක්ෂන්’ කිව්වා. මම අත දිගෑරලා ජනිත්ගේ කම්මුලට ගැහුවා. ෂොට් එක නියමෙටම ආවා කිව්වා. ජනිත්ගේ තොල පැළිලා ලේ ගලන්න පටන් ගත්තා. දවස් දෙකකට ශූටින් නතර කරන්න සිද්ධ වුණා. චරිතෙන් මිදුණට පස්සේ ඒ වෙච්ච සිද්ධියට මට පුදුමාකාර දුකක් දැනුණා. අනේ මට තාමත් මතක් වෙද්දී දුක හිතෙනවා. ‘සූර්යා’ නිෂ්පාදන කණ්ඩායම, කැමරා ශිල්පියා, ආලෝකකරණ ශිල්පීන් ඇතුළු හැමෝම ගොඩාක් මහන්සියෙන් වැඩ කළා. මම චිත්‍රපට එකසිය පනහකට විතර මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙනවා. මට රඟපෑම අතින් ගත්තාම දර්ශනතලයට ගියාම, කැමරාව ඉස්සරහදී හැම චිත්‍රපටයක්ම එකයි. වෙනසක් කියලා දෙයක් නැහැ. මම කරන්නේ රඟපෑම. නමුත් ‘සූර්යා’ චිත්‍රපටය ගත්තත්, මේ දවස්වල ආව චිත්‍රපට බහුතරයක් ගැන බැලුවාම ඒවා ගොඩාක් මහන්සි වෙලා, තාක්ෂණය ඉහළින්ම පාවිච්චි කරලා, මුදල් හොඳට වියදම් කරලා බරසාරෙට කළ නිර්මාණ. අද කාලේ බාල, බොළඳ දේවල් කරලා ප්‍රේක්ෂකයින්ව රවට්ටන්න බැහැ. අද ඉන්නේ ලෝකයම ඇඟිලි තුඩින් දකින බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් නිසා ඔවුන් ඉදිරියේ විශිෂ්ට නිර්මාණයක් මිස බාල දේවලට වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ‘සූර්යා’ නිෂ්පාදන කණ්ඩායමත් හැම අතින්ම උපරිම සාධාරණයක් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිර්මාණය සඳහා සිදු කළා. ඒ මහන්සියේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම තියෙනවා. දැනට ලැබෙන ප්‍රතිචාර ඇහුවාම වෙච්ච මහන්සිය ගැන දුක් වෙන්න දෙයක් නැහැ කියලා දැනෙනවා. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව සිනමා ශාලාවලින් දැනගන්න ලැබෙනවා. පසුගිය දිනවල ආව චිත්‍රපට බොහෝමයකටම හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. අපේ සිනමා කර්මාන්තය පැත්තෙන් ගත්තාම කර්මාන්තයේ දියුණුවට ඒක ඉතාම හොඳ තත්ත්වයක් වගේම ශිල්පීන්ටත් එයින් යහපතක් සිදු වෙනවා. ඒ ගැන සතුටුයි. ඒ වගේම පසුගිය කාලයේ පසුබෑමට ලක්ව සිටි සිනමාකරුවන් පවා මේ වනවිට අලුත් චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා යම් පිබිදීමක් ඇති කරගෙන තියෙන බව දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අතර මගේ අතටත් අලුත්ම තිර පිටපත් තුනක් ලැබුණා. මම මේ දවස්වල ඒවා කියවමින්, රූගත කිරීම් කිහිපයකටත් සම්බන්ධ වෙමින්, ප්‍රියංකරගේ අසනීප තත්ත්වය නිසා එයා ගැනත් සම්පූර්ණයෙන්ම බලමින් ඉතාම අවිවේකී කාලයක් ගත කරමින් ඉන්නවා.”


ඇය ප්‍රතිභාපූර්ණ රංග ශිල්පී දිල්හානි අශෝකමාලා ඒකනායකයි. සියල්ල සංකීර්ණ වූ ලෝකයක හැල්මේ හඹා යන සමාජයක වර්තමාන කලා කෘති බිහිවන්නේ ද ඊට සරිලන අයුරිනි. එකවර නිර්මාණ කිහිපයකට ගිවිසුම්ගත වෙමින් ප්‍රතිලාභ හා කාල කළමනාකරණය කිරීම මිස ඒ තුළ නිදහස්, නිරවුල්, විචිත්‍රවත් නිමැවුමක් දැකීම අසීරු ය. වර්තමාන ටෙලි කලාව තුළ මෙකී යථාර්ථය විනිවිද දකින ප්‍රේක්ෂකයා රසවින්දනය එසේ නැතහොත් කලා කෘතියකින් ආනන්දයෙන් ප්‍රඥාව ළඟා කර ගැනීම පසෙකලා සැඳෑ හුදෙකලාව ගෙවා දමන මාධ්‍යයක් පමණක් බවට පුංචි තිරය පත්කරගෙන ඇති බව අරුමයක් නොවේ. එවැනි පසුබිමක දිල්හානි වැනි විශිෂ්ට රූපණවේදිනියක් ටෙලි නාට්‍ය රංගනයෙන් දුරස්වීම විස්මයසහගත නොවේ.


“ඇත්තටම ඉඳ හිට එකක් දෙකක් හැරුණාම අද තියෙන ටෙලි නාට්‍ය බහුතරයක සිදු වන්නේ ඇඳුමෙන් ඇඳුම මාරු කර කර මොනවා හරි කියවන එක විතරයිනේ. රඟපාන්න දෙයක් නැහැ. චරිත නැහැ. බාහිරින් පෙනෙන, බාහිරින් ඉන්න කෙනාමයි ටෙලි නාට්‍යයේත් ඉන්නේ. ඇඳුම් සහ දෙබස් විතරයි වෙනස් වෙන්නේ. මේක හරිම ඛේදනීය තත්ත්වයක්නේ. එහෙම තත්ත්වයක රඟපාන්න ඉඩක් ලැබෙනවා කියන දේම ලොකු දෙයක් කියලයි මම නම් සලකන්නේ. ඒ නිසා ටෙලි නාට්‍යවලට වඩා මම හැම විටම කැමැත්ත දෙන්නේ චිත්‍රපටයක් සඳහායි.”


පාර දිගේ ඇවිද ගිය තරුණියකට කතා කර ‘බයිස්කෝප් එකක රඟපාන්න’ එන්න කියා යසපාලිත නානායක්කාර අතීතයේ දවසක කළ ඇරයුමින් හිරිමල් යොවුන් වියේදීම “දේදුන්නෙන් සමනලියක්” චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි දිල්හානි අශෝකමාලා ඒකනායක එම රංගනයෙන්ම නැඟී එන හොඳම නිළිය වූවාය. එදා මෙදාතුර ඇය නොලැබූ සම්මානයක් නැත. රංගවේදිනියකට හිමි කරගත හැකි සියලු වර්ගයේ සම්මාන මේ වනවිට ඇය දිනා සිටින්නීය. ඒ සියලු සම්මාන දිනූ චරිත අතර නූතන චරිත ද බොහෝය. එහෙත් ඇය අදටත් වැඩි ආදරයක් දක්වන්නේ අතීත චරිතවලට පණ දුන් චිත්‍රපට නිර්මාණ කාර්යයටයි.


“ඔව්. අද කාලයේ චිත්‍රපටයක් කරන්න පහසුකම් ඕනෑතරම් තියෙනවා. තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගත හැකියි. ශිල්පීන් වුණත් ඕනෑතරම් ඉන්නවා. ඕනෑම දර්ශනතලයකට පහසුවෙන් ළඟාවිය හැකියි. නමුත් කණ්ඩායමක් විදිහට රූගත කිරීමකට සම්බන්ධ වුණාම එකිනෙකා අතර මොකක්දෝ ලොකු දුරස් බවක් දැනෙනවා. ඉස්සර නිර්මාණයක රූගත කිරීමකට ගියාම ඒ තැන සියලු රූගත කිරීම් අවසන් කරලා තමයි කවුරුත් එතැනින් ඉවත් වුණේ. ලොකුම දේ ඒ කාලයේ දුරකතන තිබුණේ නැහැ. ඒ නිසා දුර සම්බන්ධතා ඔක්කොම නතර කරලා තමයි රූගත කිරීමකට සම්බන්ධ වෙන්නේ. දවස් කිහිපයක් එක දිගට දිවා රාත්‍රී එකම කණ්ඩායමක් එක්ක එක පවුලක් වගේ අපි රැඳුණා. වැඩක් නැති දවසක් තිබුණත් අනෙක් අයගේ දර්ශන රූගත කරලා අවසන් වනතුරු අනෙක් අය රැඳී සිටියා. ඔන්න මගේ වැඩ කොටස ඉවරයි. මං යනවා කියලා ගෙදර ආවේ නැහැ. ඒ වැඩේ අපි හැමෝගේම වැඩක් වුණා. පුදුම මානසික විවේකයකින් චරිත රංගනයේ යෙදෙන්න පුළුවන් වටපිටාවක් ඒ තුළ ගොඩනැගුණා. හැමෝම එකට එකතු වෙලා සිංදු කියනවා, නටනවා, විනෝද වෙනවා. ඒ අතර වැඩෙත් උපරිම කැපවෙලා සතුටින් කළා. අද එහෙම නැහැ. රූගත කිරීමකට ගියත් ගෙදර ගැන හිතනවා. කතා කර කර කෑවා ද බෙහෙත් බිව්වා ද ඉස්කෝලේ වැඩ කළා ද පන්ති ගියා ද කිය කියා හැමදේම හොයනවා. විමසනවා. නිර්මාණය වෙනුවෙන් කැපවෙන්න තියෙන මානසික නිදහස හීන වෙලා තියෙනවා. අද කාලයේ වෘත්තීය ශිල්පීන් වැඩි දෙනෙක් එක සැරේ වැඩ දෙක තුනක් භාර ගන්නවා. ඒකෙන් මේකට, මේකෙන් අරකට, චරිතෙන් චරිතෙට එහාට මෙහාට ක්ෂණිකව මාරු වෙනවා. වැඩි දෙනෙක් අතිශය කාර්ය බහුලයි. නිර්මාණයකට අත්‍යවශ්‍ය කායික හා මානසික නිදහස මොන තාක්ෂණය, මොන පහසුකම තිබුණත් අද කලාකරුවන්ට නැහැ. මම ජීවිතය විඳින්න කැමැති කෙනෙක් හැටියට අද කාලයේ රූගත කිරීමකට වඩා අතීතයේ රූගත කිරීමකට කැමැතියි. නමුත් එහෙමයි කියලා අලුත් දේවල් අලුත් විදිහ ප්‍රතිකේෂ්ප කරන්න අපට බැහැ. මගේ පුතාගේ වයසේ අය හිතන පතන ක්‍රියාකරන ආකාරයට නෙවෙයි මම හිතන්නේ, පතන්නේ, ක්‍රියා කරන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට ජීවන රටාව වෙනස් වෙනවා. ඒ යථාර්ථය මම අවබෝධ කරගෙන සෑම තරාතිරමකම අයත් එක්ක ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට කටයුතු යනවා. එහෙම වුණාම ජීවිතය හරි ලේසියි. ගැටුම් අඩුයි. හිතටත් නිදහසක් දැනෙනවා. ඒ අතරේ මගේ පරම්පරාවේ අයත් එක්ක එකට වැඩ කරන්න ලැබුණොත් මම වඩාත් සතුටට පත් වෙනවා. අලුත් අයත් එක්කත් හොඳින් වැඩ කරනවා.”


අලුත් පරපුරේ මොන දක්ෂයින් සිටියත් දිල්හානි අශෝකමාලා ඒකානායක නම් වූ ප්‍රතිභාපූර්ණ රූපණවේදිනිය සඳහා මෙතෙක් ආදේශක හමු නොවන නිසාදෝ ඇය මේ වනවිට ඕනෑවටත් වඩා කාර්යබහුල වී සිටින්නීය.


“ඇත්තටම මේ කාලයේ මම අතිශයින්ම කාර්යබහුලයි. ප්‍රධාන වශයෙන්ම මගේ සැමියා ප්‍රියංකර පෙරේරා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා එයාගේ වැඩකටයුතු සියල්ල මම බලනවා. ඒ වගේම ගේ දොර සියලු වැඩ මගේ අතින් සිදු වෙනවා. ‘ලපයි සිපයි‘, ‘ධර්ම යුද්ධය 2‘ රූගත කිරීම් කෙරෙනවා. අලුත් නිර්මාණ කිහිපයක පිටපත් ලැබිලා තියෙනවා. මගේ වයසට මේ වැඩ ප්‍රමාණය මට වැඩියි. නමුත් හිතේ හයියයි, ගතේ හයියයි අරන් මේ සියලු වගකීම් මම ඉටු කරනවා. මේ අසීමිත කාර්යබහුල බව නිසා මේ වයසට මා තුළ තිබිය යුතු මානසික සුවය, මානසික නිදහස මට නැහැ කියලා සමහර වෙලාවට හිතෙනවා. මට මං ගැන හිතන්න, මං ගැන බලන්න, ආගමික කටයුත්තකට මානසික නිදහසක් ලබන්න, පොතක් පතක් කියවන්න කාල වේලාවක් නැහැ. ඉස්සර මම දවස ගානේ පොතක් කියෙව්වා. වසර පහකින් විතර මම පොතක් හරියට කියවලා නැහැ. වසර හතක් තිස්සේ දිල්හානිට දිල්හානි හමුවෙලා නැහැ. ආයෙමත් වෙන විදිහකට කල්පනා කරද්දි මට හිතෙනවා රංගන ශිල්පිනියකට රූපයත් එක්ක යන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලය අවසන් වුණාම එතැනින් එහාට යන්න වෙන්නේ රූපය නැතුව. රූපය නැතුව තව දුරක් යන්න නම් රංග කුසලතාව දියුණු කරලා තියෙන්න ඕනේ. ඒ කුසලතාවයේ හිඩැස පුරවන්න වෙන කෙනෙක් නැති වුණාම රූපය නැතත් කුසලතාව මත තව කාලයක් රංගන ක්ෂේත්‍රයේ බැබළෙන්න පුළුවන් වෙනවා. රූපයත්, කුසලතාවත් දෙකම නැති වුණාම ගමන නතර කරන්න වෙනවා. ඇත්ත ඒකයි. තවදුරටත් මට ඉල්ලුමක් තියෙනවා කියන්නේ මම යම් කුසලතාවක් දියුණු කරලා තියෙනවා කියන එකයි. මම ඉල්ලන ගෙවීම් මට දීලා, සියලු භෞතික පහසුකම් දීලා මාව නිර්මාණවලට දායක කර ගන්නවා කියන්නේ ආදේශක නැහැ කියන එකනේ. මම මගේ උපරිම පහසුකම් ගැන හිතලා, ඒවා නිසි විදිහට ලැබෙනවා නම් විතරයි වැඩකට යන්නේ. නිකං දුක් විඳින්න එළියට යන්නේ නැහැ. දැන් එහෙම කරන්නත් බැහැ. ගෙදරට වෙලා මගේ වැඩක් කරගෙන නිදහසේ ඉන්න එක ඊට වඩා හොඳයි. අනේ මට මේ වගේ චරිතයක් රඟපාන්න බැරිවුණානේ, මේ සම්මානය මට නෑනේ කියලා දුක් වෙන්න පසුතැවෙන්න දෙයක් නැහැ. බයිස්කෝප් එකේ ඉඳලා සම්භාව්‍ය සිනමාව දක්වා සියලු ආකාරයේ නිර්මාණවලට මම විවිධ චරිත ඔස්සේ සම්බන්ධ වෙලා තියෙනවා. රංගන ශිල්පිනියක් හැටියට මම සෑම අතින්ම තෘප්තිමත්. ඒ වගේම මම රංගනය පැත්තෙන් මාව හරි විදිහට හදාගෙන දියුණු කරගෙන තියෙනවා කියන ආඩම්බරයකුත් මට තියෙනවා. තව ටික කාලයක් මේ ඉල්ලුම තියේවි. ඊට පස්සේ මම විශ්‍රාම ගන්නවා. එදාට දිල්හානි නැවතුණු තැනින් ආයෙමත් පටන් ගනීවි. මට අවශ්‍ය වන්නේ මේ සියල්ල කිසි දුකක් නැතුව අතහරින්න පුළුවන් මඟ සලසා ගන්න. මට නිදහසක් ඕනෑ ඒකටයි. ඒ නිදහස මම ඉක්මනින් ළඟා කර ගන්නවා.”

gossiplanka image 2
Previous Post Next Post