විවිධ චරිත කරන්න පෙරේතයිලෝභයි-නිම්මි මනෝහාරි

gossiplanka image 1
රංගනයට අවතීර්ණ වී ඉතාමත් කෙටි කාලයක්  තුළ මෙරට සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වීමට තරම් වාසනාවන්ත වූ ඇය, ඒ හා සමානවම ඉතාමත් හොඳ නිර්මාණවලට දායක වී තම හැකියාවන් දිනෙන් දින ඔප් නංවා ගැනීමටද සමත් වූවාය. මෙවර සුමති සම්මාන උළෙලේදී 2024 වර්ෂයේ හොඳම ටෙලි නාට්‍ය නැඟී එන නිළිය ලෙස ඇය සම්මානිත වූයේද එබැවිනුයි. ඇය අන් කිසිවකුත් නොව මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ තුනකින්ම ඔබ හමුවට එන නිම්මි මනෝහාරි ය. 2024 වර්ෂය වෙනුවෙන් හොඳ ටෙලිනාට්‍ය නැඟී එන නිළිය වශයෙන් සම්මානිත වුණා, ඒ ගැන කියලම පටන් ගමු?


ඔව්, සුමති සම්මාන උළෙලේ 2024 වර්ෂය වෙනුවෙන් හොඳම  ටෙලි නාට්‍ය නැඟී එන නිළියට හිමි සම්මානය මට හිමිවුණා. ඒක මට විශාල සතුටක්. ඒ පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම ඒ සම්මානය මට ලොකු වගකීමක්. ඒකට හේතුව තමයි ඉදිරියට මම කරන නිර්මාණ 2024දී කළාට වඩා හොඳට කරන්න ඕනෑ. එවිට තමයි මට ලැබුණු සම්මානයට මම වටිනාකමක් දුන්නා වෙන්නේ.


බලාපොරොත්තුවක් තිබුණද නයෝමි වෙනුවෙන් සම්මානයක් හිමි වෙයි කියලා?


වියළි ටෙලි නාට්‍යයේ නයෝමි වෙනුවෙන් මම ගොඩක් කැපවුණා, මහන්සි වුණා. මම ඒ චරිතය පිළිබඳව අධ්‍යයනය කළා. පිටපත කිහිප වතාවක් කියෙව්වා වගේම ඊට අදාළ නවකතාවත් කියෙව්වා. ඒ වගේම  මම අධ්‍යක්ෂතුමා සහ තිරපිටපත් රචකයා සහ කැමරා ශිල්පීන් සමඟ වගේම මාත් එක්ක රඟපාපු ප්‍රවීණ නළු නිළියන් සමඟ මේ පිටපත සම්බන්ධයෙන් දර්ශන තලයේදී පවා සාකච්ඡා කළා. ඒ වගේම මම පමණක් නෙවෙයි මේ ටෙලි නාට්‍යයේ හැමෝම එක වගේ මහන්සි වුණා. කැප වුණා. වියළි සාර්ථක නිර්මාණයක් බවට පත් වුණේ ඒ නිසා. ඇත්තටම මගේ චරිතය ගැන ගත්තම මම සම්මානයක් ගන්න බලාගෙනම වැඩ කළේ නැහැ. නවකයෙක් විධියට මම හිතුවේ නැහැ සම්මානයක් ගන්න පුළුවන් තරමට මම නිර්දේශ වෙයි කියලා. නමුත් වාසනාවකට මාව නිර්දේශ වුණා. ඒ නිර්දේශ වීමත් මට ප්‍රමාණවත් කියන ආකල්පයේ තමයි මම හිටියේ.


නයෝමිගේ චරිතය ගොඩනැඟීම ඔබට මොන වගේ අභියෝගයක් වුණාද?


වියළි ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබුණේ මගේ පළමු ටෙලි නාට්‍ය වුණු නාඩගම්කාරයෝ විකාශය වෙලා මාස තුනක් වගේ ගත වෙලා තිබුණු වෙලාවක. නාඩගම්කාරයෝහි මම යෙදුණේ ඉතාමත් සැහැල්ලු දඟකාර තරුණියකගේ චරිතයක්. ඒකත් එක්කම වියළි අධ්‍යක්ෂවරයා වුණු චන්දන ඉරුගල්බණ්ඩාර අයියා මට කතා කළාම වැඩේ භාරගන්න කලින් මම නවකතාව කියවලා, මුල් කොටස් 15ට අදාළ පිටපතත් කියෙව්වා. ඒ වෙලාවේ මට තේරුණා නයෝමි කියන්නේ බර චරිතයක්, ඒ තුළ රංගනයේ යෙදෙන්න ලොකු පරාසයක් තියනවා කියන දේ. ඒකත් එක්කම මම රූගත කිරීම්වලට සහභාගි වුණාම මට තේරුණු දෙයක් තමයි ඒ නාට්‍යය තුළ සිටි බහුතරයක් ශිල්පීන් වේදිකාවෙන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට පැමිණි අය. එතැනදි මට දැනුණා ඔවුන් සමඟ සංසන්දනය කිරීමේදී මගේ රංගන පරාසය මදි කියන දේ. ඒත් එක්කම පළමුවැනි කොටස් 15 රූගත කිරීමෙන් පස්සේ මම රංගනය පිළිබඳව හදාරන්න පටන් ගත්තා. එහිදී මම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ ඉම්පාස් ආයතනයටත්, පසුව මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ ඇකඩමියටත් සම්බන්ධ වෙලා රංගනය පිළිබඳව ඉගෙන ගත්තා.


ඒ කියන්නේ වියළිහි දෙවැනි ශෙඩූල් එක රූගත කරද්දී ඔබ රංගනය ගැන පෙරට වඩා අවබෝධයක් ඇති කෙනෙක්?


ඔව්, පළමුවැනි කොටස් පහළොව රූගත කරලා අවුරුදු 3කට පස්සේ තමයි චැනල් එක නාට්‍යය ගත්තම අපි ඉතුරු කොටස් ටික රූගත කරන්න පටන් ගත්තේ. ඒ වෙද්දි ඇත්තටම මම මුල් කොටස් 15 හිටපු නයෝමිට වඩා සෑහෙන්න දෙයක් ඉගෙනගෙන, ඉම්පෲ කරගෙන හිටියේ. මම එදා පළමුවැනියටම ගිහින් කරපු දර්ශනයේදී මට අද වගේ මතකයි අධ්‍යක්ෂතුමා පුටුවෙන් නැඟිටලා අත්පුඩියක් ගහලා කිව්වා, “ෂා නංගි මේක මරු, මම ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔයා ගොඩක් ඉම්පෲ වෙලා” කියලා. ඒත් එක්කම මට ලොකු සතුටක් හා ජවයක් ආවා ඉදිරි රූගත කිරීම් කරගෙන යන්න. ඒත් එක්කම මම හිතනවා මම නයෝමිගේ චරිතයට යම්කිසි සාධාරණයක් කරන්න ඇති කියලා.


මේ දවස්වල ඔබ දායක වෙන  පිරිමි ළමයි සහ ඉර හැංගිලා නිර්මාණ ගැනත් කතා කරමු?


පිරිමි ළමයිහි මගේ චරිතය ටිකක් වයසින් වැඩි චරිතයක් වුණත් මම ඒක භාර ගත්තේ රංගන ශිල්පිනියක් වුණාම සීමා මායිම්වලින් තොරව ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තිබිය යුතු නිසා. ඒ වගේම මම හරිම ආසාවෙන් තමයි ජයප්‍රකාශ් ශිවගුරු නාදන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්වරුන්ගේ නිර්මාණවලට දායක වෙන්නේ. ඒ වගේම ඉර හැංගිලා ගැන කතා කළොත් ඒක මගේ තුන්වැනි නාට්‍යය. හැබැයි ඒක විකාශය ආරම්භ වෙන්නේ වසර කිහිපයක් ගත වීමෙන් අනතුරුව. එහි මුතූගේ චරිතය ගත්තම බොහොම විප්ලවකාරී, අමුතු විධියට හිතන ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. ඇත්තටම මේ නිර්මාණයටත් මේ වෙද්දි ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා.


වියළිහි ඔබව ඩැහැගන්නට මාන බැලූ පුද්ගලයා රට පවුලෙහි ඔබේ පියා වෙලා ඒ අත්දැකීම මොන වගේද?


ඇත්තටම රට පවුල කියන්නේ වෙනස්ම තේමාවක් සහිත නිර්මාණයක්. ඒක මම මෙතෙක් කරපුම නැති චරිතයක්. මම ඉතාමත් ආසාවෙන් කරන චරිතයක්. ප්‍රේක්ෂකයන්ගෙන් නම් ඒ චරිතයට පොඩ්ඩක් බැනුම් අහන්න වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඒ තුළත් තියෙන්නේ ඔවුන්ගේ ආදරය. විශේෂයෙන්ම වියළි ටෙලි නාට්‍යයේ මාව අතවරයට ලක් කරන්න උත්සාහ කරන සනත් විමලවීර මහත්මයා තමයි මෙහි මගේ තාත්තා. මට ඒක වෙනස්ම අත්දැකීමක්. ඇත්තටම මෙතැනදි කියන්න ඕනෑ ඔහුගේ රංගන පරාසය මට හිතාගන්න බැහැ. වියළිහි හිටපු ඒ නරක චරිතය රට පවුලක් තුළට එද්දී ඉතාමත් ආදරණීය පියෙක් වෙලා තියෙනවා. ඔහු ඇත්තටම අති දැවැන්ත රංග පෞරුෂයක් සහිත ශිල්පියෙක්.


චරිතාංග නිළියක් වීමේ සිහිනය හඹාගෙන යද්දී, එකිනෙකට වෙනස් තිර පිටපත් තෝරා ගැනීම මොන තරම් වැදගත්ද?


මම හරිම ආසයි චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න, විවිධ ආකාරයේ චරිත කරන්න. ඇත්තටම මම ඒකට ලෝභයි, පෙරේතයි, ආසයි. විශේෂයෙන් කියන්න ඕනෑ ඒ වගේ විවිධ චරිත කරන්න නම් හොඳ පිටපත් තිබෙන්න ඕනෑ. ලංකාවේ ඕනෑ තරම් නිර්මාණකරුවන් ඉන්නවා ඉතාමත් හොඳ වෙනස් පිටපත් රචනය කරන. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ එම පිටපත් නිර්මාණ බවට පත් කරන්න අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දෙන නිෂ්පාදකවරු ප්‍රමාණය අඩුයි. වාසනාවකට වගේ මේ වන තුරු මට ලැබිලා තිබෙන සෑම පිටපතක්ම ඉතාමත් හොඳ, සම්පූර්ණ, පිටපත්. එතැනදී මම තෝරා බේරා ගැනීමක් සිද්ධ කරලා නැහැ. මෙතරම් කාලයකට මම කළේ මට ලැබෙන චරිතය වඩාත් හොඳට කරන්න උත්සාහ දැරීම. මොකද තවමත් මට තෝරා බේරා ගන්න තරම් නිර්මාණ සංඛ්‍යාවක් ලැබිලා නැහැ. නමුත් මෙතෙක් හම්බුණු හැම නිර්මාණයකම මට යමක් කරන්න තිබුණා. ඉදිරියේදීත් මට එවැනි නිර්මාණ ලැබෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.


අවසන් වශයෙන් රංගන ජීවිතයේ මේ තරම් දුර එන්න උදවු වුණු පිරිසකුත් ඇති එයාලවත් මතක් කරමු?


නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට මාව යෝජනා කරන්නේ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ඩී. සිල්වා. පසුව ජයප්‍රකාශ් ශිවගුරු නාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර, චාමර සමරවික්‍රම මහත්වරුන්ගේ එකඟත්වයෙන් මම එයට සම්බන්ධ වෙනවා. මම මුලින්ම ඔවුන්ට ස්තුති කරන්න කැමැතියි. ඔවුන් නිසා තමයි මම රංගන ශිල්පිනියක් වුණේ. ඒ වගේම චන්දන ඉරුගල්බණ්ඩාර, සමන්ත කුමාර, චන්දන ජයසිංහ සහ ‘අ‘ යන්න යට නිෂ්පාදක කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා වියළි වගේ නිර්මාණයක් කළාට. ඒ වගේම මාව මෙතෙක් නිර්මාණවලට ගත්ත සෑම නිර්මාණකරුවෙක්ටම සහ මගේ පවුලේ සියලු දෙනාටත්, මගේ රසිකයන්ටත් බොහොම ස්තූතියි.

gossiplanka image 2
Previous Post Next Post