මෝඩ වැඩ කරන්න එපා කියල සමහරු බණිනව – රුවී ලක්මාලි

gossiplanka image 2
‘ක්ලැරන්ස්’ සිනමා නිර්මාණයේ සිස්ටර්ගේ චරිතය නිරූපණය කරන ඇය, නමින් රුවී ලක්මාලි. ඒ වගේම ‘විසේකාරී’ ටෙලි නාට්‍යයේ වාසුකී ලෙසත් මේ දිනවල රුවී බොහොම ජනප්‍රියයි.


රුවී මේ දවස්වල ‘ක්ලැරන්ස්’ සිනමා නිර්මාණයෙන් දකින්න ලැබෙනව. කොහොමද ප්‍රතිචාර?


ඔව්, ක්ලැරන්ස් සිනමා නිර්මාණයේ මට ලැබුණෙ සිස්ටර් කෙනකුගෙ චරිතයක්. මම ඇත්තටම බොහොම ආසාවෙන් ඒකට සම්බන්ධ වුණේ. මොකද සිස්ටර් කෙනකුගෙ චරිතයක් කියන්නෙ මගේ හීනයක්. ඉතිං තේජා අයියා මාව විශ්වාස කරල ඒ චරිතය මට ලබා දුන්නා. නමුත් මේ ලැබෙන සතුට විඳදරා ගන්න තේජා අයිය අද අපිත් එක්ක නැහැ. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිටුපස මට දැනෙන ලොකුම දුක ඒක.



ෂූටිං කාලය මොන වගේද?


ගොඩක් වෙලාවට රූගතකිරීම් තිබුණෙ නුවර සහ හපුතලේ. අපිට ෂූටිං කරන්න වුණේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල. ඒ කාලෙ නම් හරිම සීතලයි වගේම හරිම ලස්සනයි.


චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ තේජා ගැන කතා නොකරම බැහැ?


ඔව්, තේජා අයිය කියන්නෙ හරිම සොඳුරු මනුස්සයෙක්. අපිට තාත්ත කෙනෙක් වගේ. නිතරම අපි ගැන හොයල බැලුව. අපේ චරිත ගොඩනගා ගන්න ඔහුගෙන් ලැබුණ සහයෝගය මේ වෙලාවෙ මතක් නොකරම බැහැ. ඒ වගේම කියන්න ඕන, අද මම මේ ඉන්න තැනට එන්න උදව් කරපු අය අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි තේජා අයිය කියන්නෙ.



‘ක්ලැරන්ස්’ සඳහා ආරාධනය ලැබෙන්නෙ කොහොමද?


මම තේජා අයියත් එක්ක ‘ආශාවරී’ චිත්‍රපටයේ රඟපෑවා. එහි මම චරිත නිරූපණය කළේ සාරංග අයියගෙ බිරිඳ විදිහට. එහිදී ඔහු මගේ හැකියාවන් දැක්කා වගේම මුල් කාලයේ ඉඳන්ම තේජා අයියා මං ගැන දැනගෙන හිටපු නිසා ඔහුට හිතෙන්න ඇති මම මේ චරිතය සඳහා සුදුසුයි කියල.


ඔහුගේ වියෝව ඔබට දැනුණෙ මොන විදිහටද?


ඒක මට කියාගන්න වචන නැහැ. තේජා අයිය අසනීප වුණ දවසෙ ඉඳන්ම අපි ඔහුව බලන්න ගියා. පුළුවන් හැම වෙලාවෙම අපි ඔහුව සතුටින් තියන්න උත්සාහ කළා. අවසානයේ ඔහු අපි හැමෝවම දාල යන්න ගියා. ඇත්තටම තේජා අයිය කියන්නෙ කලා ක්‍ෂේත්‍රයේ හිටපු ආදරණීය පියෙක්.


තේජා සහ රුවී හොඳ හිතවතුන්. හොහොමද මේ හිතවත්කම ඇතිවෙන්නෙ?


තේජා අයියා මුලින්ම මාව දැකල තියෙන්නෙ අහම්බයකින්. ඒ මොහොතෙ ඉඳන් ඔහු හිතාගෙන ඉඳල තියෙනව ඔහුගේ නිර්මාණයකට මාව සම්බන්ධකරගන්න. ඉන්පස්සෙ තමයි අපි දැනහඳුනාගන්නෙ. ඒ දැනහැඳුනුම්කම පසුකාලීනව ලොකු හිතවත්කමක් බවට පත්වෙනව. ඒ අනුව මට ඔහු නිර්මාණය කළ වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට දායක වෙන්න අවස්ථා ලැබෙනව.


ඔබ ක්ලැරන්ස් විජේවර්ධනගෙ රසිකාවියක්?


ඔව්, මම ක්ලැරන්ස් මහත්මයාගෙ ගීත රසවිඳිනව. ඒ අතරින් වඩාත්ම කැමති මංගෝ කළු නැන්දේ ගීතයට. චිත්‍රපටයේ ඒ ගීතයේ දර්ශනය ෆර්නි අක්ක හරි ලස්සනට ඉදිරිපත් කරල තිබුණා.


සිස්ටර්ගෙ චරිතය වෙනුවෙන් මස් මාංශවලින් තොර වුණා?


කතෝලික ආගමේ මේ තත්ත්වය කොහොමද කියල මම දන්නෙ නැහැ. නමුත් බෞද්ධයෙක් හැටියට මට හිතුණා ඒ වගේ පිරිසිදු ඇඳුමක් අඳිනකොට පේ වෙලා මේ චරිතය කරන්න ඕන කියල. මොකද මම ඒ චරිතයට ඒ තරමටම ආදරය කළා.


මේ දවස්වල ‘වාසුකී’ ගැන මොන වගේ කතාද ඇහෙන්න?


ඉඳහිට නම් සමහරු බණිනව මේ වගේ මෝඩ වැඩ කරන්න එපා, ඒ මනුස්සයට ටිකක් සැරෙන් ඉන්න කියල. පොදුවේ ගත්තොත් වාසුකීට ලොකු ආදරයක් ලැබෙනව. මොකද මගතොටදි දැක්කත් සමහර අය කතාකරන්නෙ වාසු කියල.


වාසුකී ජනප්‍රිය වෙයි කියන බලාපොරොත්තුවක් තිබුණද?


ඇත්තටම මම හීනෙකින්වත් හිතුවෙ නැහැ වාසුකී මේ තරම් ජනප්‍රිය වෙයි කියල. මොකද අපිට සම්පූර්ණ කතාවෙ පිටපත ලැබෙන්නෙත් නැහැනෙ. දවසේ හෝ සතියේ කොටස විතරයි ලැබෙන්නෙ. ඒ නිසා කොහොමවත් මට චරිතය ගැන එහෙම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වුණේ නැහැ.


සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබුණා?


ඔව්, සිනමා නිර්මාණයකට මට ආරාධනයක් ලැබුණා. නමුත් ඒ වෙනුවෙන් දින ලබාදෙන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ. ෂූටිං තිබුණෙ යාපනය පැත්තෙ. නමුත් මට ඒක මිස් වුණා. දුකයි ඉතිං ඒ ගැන.


රුවී සැබෑ ජීවිතයේදීත් වාසු වගේද?


අනේ නැහැ. මම ඒ වගේ කටගහන්නෙ නැහැ. හරි අහිංසක චරිතයක්. මම පාරෙ යන්නෙත් මම නිළියක් නොවෙයි කියල හිතාගෙන. ඒ සරලකම මට ගොඩක් වටිනව.


රඟපාන්න කැමති චරිතයකුත් තියෙනවලු?


ඔව්, මම හරි ආසාවෙන් ඉන්නව පොලිස් නිලධාරිනියකගේ චරිතයක් රඟපාන්න. නමුත් ඒක මට දෙන්නෙ නැහැ මම අහිංසක වැඩියි කියල.


විලාසිතාවලට තියෙන නැඹුරුව මොන වගේද?


මම හරි ආසයි විලාසිතා කරන්න. මොකද ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න ඕන, පිළිවෙළට අඳින්න ඕන. නමුත් මේ දේවල් අපිට ගැළපෙන්නත් ඕන. මම පොඩියට ටැටූ එකකුත් කරල තියෙන්නෙ.


රුවී සෝෂල් මීඩියාවලින් ඈත් වෙලාද?


අද කාලෙත් එක්ක බලනකොට සෝෂල් මීඩියා පාවිච්චි නොකරන එක මගේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. තමන්ගෙ ජනප්‍රියත්වය වෙනුවෙන් සහ තමන් මොනවද කරන්නෙ කියන දේ පෙන්නන්න සමාජ මාධ්‍ය භාවිත කරන්න ඕන. දැන් ඒක හැමෝම කරනවනෙ. නමුත් අද කාලෙ නිළියක් හැටියට මම ඒ පැත්තෙන් සයිලන්ට්. මමවත් දන්නෙ නැහැ ඒ ඇයි කියල.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post