මම කාගෙවත්හිත රිදෙන තීන්දුඅරගෙන නෑ-ගාමිණී ජයලත්

gossiplanka image 1
 ජීවිතය දිනන්නට යන ගමනෙදි තමන් වෙත හමුවෙන අභියෝග දුක් වේදනාවන් දරා ගැනීම අනිවාර්යයි. ඒ අයුරින් තමාට හමු වූ අසීරුතා සියල්ලක්ම පසුකරමින් රංගන දිවිය තුළදී මෙන්ම මාධ්‍ය දිවිය තුළදීත් තමන්ට ලැබෙන පුංචිම පුංචි අවස්ථාවලදී පවා එය අභියෝගයක් කොට සලකා ඒ සඳහා උපරිම සාධාරණයක් ඉටු කරමින් රංගන සහ මාධ්‍ය දිවියේ ප්‍රවීණත්වයට පත් ඔහු නමින් ගාමිණී ජයලත් ගමගේය. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “ඉර හැංගිලා” ටෙලි සිතුවම තුළින් අප හමුවන ඔහු ගැන “හදගැස්ම” අපි සිදුකළ කතාබහකි මේ. කොහොමද මේ දවස්වල ජීවිතය?


මේ දිනවල වැඩිපුර කාලය ගතවෙන්නෙ ජාතික රූපවාහිනියේ විකාශය වන “ඉර හැංගිලා” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වෙනුවෙනුයි. එහි රූපගත කිරීම් තියෙන්නේ ගල්ගමුව ප්‍රදේශයේයි. ඉතිං ඒ සඳහා යනවා එනවා. එහෙම කාලය ගත වෙන අතර කපිල ගාමිණී ජයසිංහගේ “අපි ඔක්කොම අළුපාටයි” වේදිකා නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව මම පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ ‘නිල් අහසයි වහල අපේ” වේදිකා නාට්‍ය පාසල් මට්ටමින් වේදිකාගත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඒ හැර ලොකු කාර්යබහුලකමක් නැහැ. විශ්‍රාම සුවය විඳිමින් ඉන්නවා.


ඉර හැංගිලා හි චරිතය ගැන කතා කරමු?


ඉර හැංගිලා කාලයකට පසුව ලැබුණු ලස්සන ටෙලි නාට්‍යයක්. රංගන ශිල්පියෙක් ලෙස වැඩ කරද්දි වාචික, ආංගික, සාත්වික, අභාර්ය කියන සතර අභිනයන් අවශ්‍යයි. මේ චරිතයේ මට වාචික අභිනය තහනම්. ඒ කියන්නේ දෙබස් නැහැ. ලැබුණු චරිතයේ නම කළුවා. ඔහු ගොළු පුද්ගලයෙක්. වචන භාවිත නොකරන නිසා අංග චලනයෙන් සහ ඇඳුම්වලින් තමයි චරිතය ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්වීම කරන්නේ. මෙය රංගන ජීවිතයට ලැබුණු ලොකු අභියෝගයක්. ඒ නිසා විශාල ප්‍රමාණයේ ප්‍රතිචාරයක් මේ චරිතයට ලැබෙනවා. මේ ගොළු චරිතය නාට්‍ය පුරාම දැක ගන්න පුළුවන්. අසාධාරණයට විරුද්ධව ක්‍රියාත්මක වන දයාව, කරුණාව, ආදරය පිරුණු චරිතයක් ලෙස කළුවා හඳුන්වා දෙන්න පුළුවන්.


චාරුක දිල්හාර අරනායක අධ්‍යක්ෂවරයා ගැන කතා කළොත්?


චාරුක දිල්හාර අරනායකගෙ කුලුඳුල් ටෙලි නාට්‍ය නිර්මාණය තමයි ඉර හැංගිලා කියන්නේ. මේ ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වුණාට ඔහු සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලිනාට්‍ය පනහක – හැටක විතර වැඩ කරලා තිබෙනවා. එහිදී ඔහු විසින් ලබාගත් සියලුම දැනුම සහ අත්දැකීම් මේ නාට්‍ය වෙනුවෙන් භාවිත කරනු ලැබ තිබෙනවා. එසේම මේ නාට්‍යයේ දෙබස් හරි අමුතුයි. මෙහි තිර පිටපත් රචකයා “යායක කතාවක්” වාක්‍ය කිහිපයකින් කියනවා. ඒකත් මේ නාට්‍යයේ රසය වැඩි වෙන්න හේතු වෙනවා. චාරුකගේ සහ සුනෙත්ගේ මේ අපූරු සුසංයෝගය තමයි මේතරම් මෙම නිර්මාණය සාර්ථක වෙන්න බලපෑම් කළේ. මෙහිදී ජාතික රූපවාහිනියටත් ගෞරවය හිමිවෙන්න ඕනෑ. මේ වගේ ආධුනික අධ්‍යක්ෂවරයකුට අවස්ථාව ලබාදීම වෙනුවෙන්.


“නිල් අහසයි වහල අපේ” වේදිකා නාට්‍ය ගැනත් කතා නොකරම බැහැ නේද?


මේ මගේ වේදිකා නාට්‍යය. මේ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂණය මගේ වගේම තිර රචනය, නිෂ්පාදනයත් මගේමයි. මෙහි නාට්‍ය පිටපත ලිව්වේ බොහෝ කාලයකට පෙර මම මාධ්‍යවේදියෙක් ලෙස ලබපු අත්දැකීම් පාදක කරගෙනයි.


නැවත යුද්ධයක් අපට එපා යන්න තමයි මෙහි තේමා පාඨය. මොකද යුද්ධයක් ඇතිවුණු පළමු තප්පරයේදීම මැරෙන්නේ සත්‍යය. ඊට පසුව තමයි මිනිස්සු මැරෙන්නේ. එයිනුත් වැඩිපුර මැරෙන්නේ පොඩි දරුවන්. නාට්‍යයට අරිසෙන් අහුබුදු සූරීන් තමයි නම තියන්නෙ. මේ නාට්‍යය කාලයත් එක්ක යටපත්වෙලා අමතකවෙලා තිබිලා මම විශ්‍රාම ගියාට පසුව හිතුණා වැඩක යෙදෙන්න ඕනෑ කියලා. මේක එහෙම හිතලා පටන් ගත්තු වැඩක්. මෙය පාසල් දරුවන් අතර මේ වන විට ඉතාමත් ජනප්‍රියයි. දර්ශන වාර 20ක් පමණ පෙන්නලා තිබෙනවා. පාසල් දරුවන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මේ සඳහා ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි.


පාසල් තුළ වේදිකා නාට්‍ය රගදැක්වීමෙන් තාක්ෂණයට නැඹුරුවුණු දරුවා සංස්කෘතික දරුවෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන්ද?


වර්තමාන සමාජයේ සිටින බොහෝ දරුවන් තාක්ෂණය සමඟින් කටයුතු කරන දරුවො…ඔවුන් තාක්ෂණය සමඟින් කටයුතු කරන්න ඕනෑ. ඒ සමඟම ඒ දරුවාට සංස්කෘතියට ගරු කළ යුතු ආකාරය කියාදීමත් වැදගත්. එහෙම නොවුණොත් ජාතියක්, ආගමක්, රටක් ගැන කිසිම හැඟීමක් නැති දරුවන් පිරිසක් අනාගතයේදී අපට දක්නට ලැබේවි. දරුවා සංස්කෘතිකාංගවලට නැඹුරු කිරීමට නම් රසාස්වාදය අත්‍යවශ්‍යයි. ඒ සඳහා ගීත, නාට්‍ය, චිත්‍රපට වැනි දේ දරුවන්ට පෙන්වීම අවශ්‍යයි.


ඔබ වැඩිපුර කැමැති ඔබ තුළ ඉන්න රංගන ශිල්පියාටද මාධ්‍යවේදියාටද?


මම වෘත්තීන් දෙකටම එකම විධියට ආදරෙයි. මේ වෘත්තීන් දෙකම මට කවුරුවත් බන්දේසියක තියලා පරිත්‍යාග කළේ නැහැ. කඳුහෙල්, ගිරිදුර්ග පසුකරමින් සාර්ථකත්වය කරා ආව මේ ගමනට මගේ ඇස් දෙකට වගේම ආදරෙයි. අපි යමක් කරද්දි ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෑ. එසේම ඒ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්නත් අවශ්‍යයි. ඒ නිසාම තමයි මගෙන් ගුරුහරුකම් ලබන්නට පැමිණි දරුවන්ට මම නිතරම කිව්වේ ඔබේ සුන්දරත්වය රැක ගන්නවා වගේම ගමන්මඟ දැනගෙන යන්න කියලා. එහෙම ගියාම අපිට වරදින්නෙත් නැහැ. ගැලවෙන්නෙත් නැහැ.


පුවත්පත් කර්තෘවරයෙක් ලෙස අසුන් ගත් ඔබට බොහොමයක් අභියෝග හමුවෙන්න ඇති. එම පුටුවෙ ඉඳගෙන ගත් තීන්දු තීරණ ගැන තෘප්තිමත්ද?


මම කර්තෘවරයකු ලෙස පත්වෙන්නේ එදා අතීතයේ දවසක බණ්ඩාරගම වාර්තාකරු ලෙස මාධ්‍යයට පැමිණිලා පිටපත් කියවන්නෙක් බවට පත්වෙලා. මාධ්‍යවේදියෙක්, සහාය කර්තෘවරයෙක්, සම කර්තෘවරයෙක් ලෙස පියවරෙන් පියවර දැඩි කැපවීමෙන් උත්සාහයෙන් ආව ගමනක ප්‍රතිඵලයක් ලෙසටයි. මාධ්‍යකරණය කියන්නෙ හරිම වැදගත් රැකියාවක්. මම කවදාවත් මගේ රැකියා ජීවිතේ වැරැදි තීන්දු තීරණ සහ කාගෙවත් හිත රිදෙන තීන්දු අරගෙන නැහැ. මම ගත්ත හැම තීරණයක්ම මගේ හෘද සාක්ෂියට එකඟයි. ඒ නිසාම තමයි අද මම මාධ්‍යයෙන් සමුගෙන ඉන්න අවස්ථාවකදීත් අඩුවක් නැති පිළිගැනීම් ලැබෙන්නේ.


තාත්තා කියන භූමිකාවේ සිට මේ ක්ෂේත්‍ර දෙකටම පැමිණෙන නවකයන් වෙත අවවාදයක් දෙන්න කිව්වොත්?


තමන් කරන වැඩේට අවංක වෙන්න. හදවතට එකඟ වෙන්න. ගත්ත තීරණයක් නිසා පසුකාලීනව හිතට පසුතැවීමක් එක්වෙන්න දෙන්න එපා. නිතරම තමන්ට ආවේණික දෙයක් කරන්න. ලියන්න. එහෙම වුණොත් කවදාවත් තමන්ගේ පැවැත්මට හානියක් වෙන්නේ නැහැ.


දැනට දායකවෙලා ඉන්න නිර්මාණවලට අමතරව අනාගතයේදී ප්‍රේක්ෂකයන්ට ඔබ දක්නට ලැබෙන නිර්මාණ ගැන සඳහන් කළොත්?


ජයන්ත චන්ද්‍රසිරිගේ “සැඟවුණු නගරය” සිනමා පටයෙත්, ඉන්දික ධර්මතිලකගේ “සමන්මලිය” ටෙලි නාට්‍යයෙත්, ජගත් බෙනරගමගේ “මා සහ ඔබ” සහ රනිල් කුලසිංහගේ “හිද්දලයෝ” යන ටෙලි නාට්‍යය තුළින් ඉදිරියේදී ඔබ හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 2
Previous Post Next Post