මම සමාජ මාධ්‍යවලින්අපහාස ලබලා නෑ-චතු රාජපක්ෂ

gossiplanka image 1
මෑත කාලීනව ලංකාවේ බිහි වුණු අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය රංගනයෙන් ඔබ්බට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හා ප්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන්ද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් තැනැත්තියකි. දශකයකටත් වඩා කෙටි කාලයක් තුළ දායක වූ සෑම නිර්මාණයක් හරහාම නොමැකෙන මතක සටහන් තබන්නට සමත් වූ ඇය පිළිබඳව මේ දිනවල කතා බහට ලක් වන්නේ The Lake ටෙලි නිර්මාණය නිසායි. නමින් චතු රාජපක්ෂ වූ ඒ සුන්දර රංගන ශිල්පිනිය සමඟින් හදගැස්ම කළ කතාබහයි මේ.


The Lake ටෙලි නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම අපි කතාව පටන් ගමු?


ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ටෙලි නාට්‍යය පටන් ගෙන තවමත් වැඩි දවසක් නොගියත් මේ වෙද්දිත් ප්‍රේක්ෂකයන් ඒ ගැන කතා කරන්න පටන් ගෙන තිබෙනවා. ඒ ටෙලි නිර්මාණයට අපේ රටේ ඉන්න සීනියර් ආර්ටිස්ලා කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම මේ ටෙලි නාට්‍යයට තිබෙන අවධානය තවත් වැඩි වෙලා තිබෙනවා.


ලංකාවේ සයිකොලොජිකල් ත්‍රිලර් ශානරයේ ටෙලි නිර්මාණ නිර්මාණය වෙන්නේ අඩුවෙන්, ඒත් එක්කම ප්‍රේක්ෂකයන් මේ වෙනස කොහොම වැලඳ ගනීද?


මම හිතනවා ඒ වෙනස ඔවුන් හොඳින් වැලඳගෙන තිබෙනවා කියලා. ප්‍රේක්ෂකයන් කොහොමත් කැමැතියි කුතුහලය තිබෙන ත්‍රාසජනක නිර්මාණ බලන්න. ඒත් එක්කම මේ දවස්වල විකාශය වෙන ටෙලි නාට්‍ය එක්ක බැලුවම මේක ඒවාට වඩා වෙනස් නාට්‍යයක් වීමත් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර වැඩි වීමට හේතුවක් වෙලා තියබනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් දාලා තිබෙන කමෙන්ට්, මේ ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් දැක්කම ඔවුන් ඊළඟට මේ නාට්‍යයේ මොනවා වෙයිද කියන කුතුහලයෙන් සිටින බව පේනවා. ඒත් එක්කම ඔවුන් මේ වෙනස හොඳින් වැලඳගෙන සිටින බව පෙනෙනවා.


එහි ඔබේ චරිතය ගැනත් කතා කරමු?


ඔව්. ඒක ඇත්තටම වෙනස් විධියක චරිතයක්. ඒ ටෙලි නාට්‍යයේ නිරූපණය වෙන බහුතරයක් චරිතවලට එකිනෙකට වෙනස් මානසික ගැටලු තිබෙනවා. නමුත් මෙතැනදි මගේ චරිතය සාමාන්‍ය චරිතයක්. යම් කිසි මෙහෙයුමකට යන තමන්ගේ අක්කාගේ සහායට යන නංගි කෙනෙක්ගේ චරිතයක් තමයි මගේ චරිතය. ඇත්තටම මේ නාට්‍යයේ අවසානය වෙනකම්ම වෙන්නේ මොකක්ද, මේ චරිතවල ස්වභාවය මොකක්ද කියන එක හරියටම කියන්න බැහැ.


පාරාදීසේ ටෙලි නාට්‍යයේ ශලනිටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?


ඔව්. ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට හිතෙන විධියට ප්‍රේක්ෂකයන් මාව ලස්සනටම දැකපු චරිතයක් තමයි ශලනි කියන්නේ. විශේෂයෙන්ම දිනක්ෂිත් එක්ක රඟපාන නිසා සහ කොස්තා කියන චරිතය හරහා මගේ චරිතය ගොඩාක් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ චරිතයේදී ප්‍රේක්ෂකයන්ගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


දශකයකට ආසන්න කාලයක් තුළ මෙරට අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වීමට ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ හැඟීම මොන වගේද?


මම ආපු ගමන ගැන මට ගොඩාක් සතුටුයි. මොකද මේ ගමන ඉතාමත් සෙමෙන් හරිම නිස්කලංකව, පාඩුවේ, කිසිම සද්දයක් බද්දයක් නැතුව යන ගමනක් තමයි මගේ රංගන ජීවිතය. ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර මාව දන්න විශාල පිරිසක් සිටිනවා වගේම ඒ හා සමානව මාව නොදන්න පිරිසකුත් සිටිනවා. මොකද හැමෝම ටෙලි නාට්‍ය බලන්නේ නැති නිසා. ඇත්තටම එළියට ගියාම රසිකයන්ගෙන් ලැබෙන පිළිගැනීමත් එක්ක, රංගන ශිල්පිනියක්, ප්‍රවෘත්ති නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විධියට මම ඉතාමත් තෘප්තිමත්. මොකද මම සමාජ මාධ්‍ය හරහා කිසිම විධියකින් අපහාස ලබපු නැති කෙනෙක්. ඒ කාරණයත් එක්ක මට මගේ රංගන ජීවිතය ගැන විශාල සතුටක් තිබෙනවා.


කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය සමාජයට වැඩි වශයෙන් නිරාවරණය වෙනවා. මෙතැනදි ප්‍රතිරූපය මේන්ටේන් කිරීම මොනතරම් වැදගත්ද?


ඒ දේ ගොඩක් වැදගත්. අපි දන්නවා සමාන්‍ය කෙනෙක් යම් කිසි විධියකින් හොඳ හෝ නරක දෙයක් කළොත් ඒක සමාජ ගත වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ වගේම ඒ වගේ දේවල්වලට ලැබෙන අවධානයත් ඉතාමත් අඩුයි. නමුත් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වේවා, ඔවුන්ගේ වෘත්තීය හෝ පෞද්ගලික දෙයක් සමාජ ගතවීමත් එක්ක ඒකෙන් එල්ල වෙන්න පුළුවන් බලපෑම ඉතාම ඉහළයි. මොකද සමාජය තුළ අපිට කැමැති අය වගේම අකැමැති අයත් ඉන්න නිසා. ඒක සමහරවිට ක්ෂේත්‍රය ඇතුළේ අයම හෝ අපි කරපු චරිතවලට අකැමැති අය වෙන්නත් පුළුවන්. විශේෂයෙන් සාමාජ මාධ්‍ය ඇතුළේ හොඳ දකින අය වගේම නරකම විතරක් උලුප්පන පිරිසකුත් සිටින නිසා මේ ගමන හරිම ආමාරුවෙන් පරිස්සමින් යන්න ඕනෑ ගමනක්. එතැනදි අපි හරි දේ කරනවා නම් සමාජ මාධ්‍ය හෝ වෙන කවුරු මොනවා කිව්වත් ඒ දේවල් ගණන් නොගෙන අපේ ගමන යන එක තමයි හොඳම විධිය.


ඒත් එක්කම සිනමාවේ වැඩ කටයුතු ගැනත් කතා කරමු?


අලුතෙන්ම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒත් එක්කම අපිට පේනවා මේ දවස්වල එක දිගට චිත්‍රපට නිකුත් වෙනවා. ඒ කාරණය නිසා නිෂ්පාදකවරයා මේ චිත්‍රපටයේ වැඩ කටයුතු පොඩ්ඩක් ප්‍රමාද කරමු කියලා තීරණය කරලා තිබෙනවා.


කාලයක් තිබුණු විදෙස් ටෙලි රැල්ල දැන් දේශීය ටෙලි නිර්මාණ දෙසට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වාගන්න පුළුවන් වෙයිද?


ඇත්තටම ඒක ගොඩක් හොඳ තත්ත්වයක්. අපේ ප්‍රේක්ෂකාගාරය කාලයක් තිස්සේ විදෙස් රටවල ටෙලි නිර්මාණ, චිත්‍රපටවලට නැඹුරු වෙලා සිටියා. මේ වෙද්දි ලංකාවේ ඉන්න දක්ෂ තිර රචකයන්, දක්ෂ අධ්‍යක්ෂවරු දැන් ඉතාමත් හොඳ තිර පිටපත්, ඉතාමත් හොඳ නිර්මාණ කරන ආකාරයක් දකින්න තිබෙනවා. මෑතකදී ඒ වගේ ඉතාමත් හොඳ නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහි වුණා. ඒත් එක්කම අපේ ප්‍රේක්ෂකාගාරය නැවතත් දේශීය නිර්මාණ රස විඳින්න යොමු වෙලා තිබෙනවා. ඒ වගේම අද වෙද්දි ඉස්සරට වඩා සමාජ මාධ්‍ය හරි ප්‍රබලයි. ඒකත් එක්ක සමාජ මාධ්‍ය හරහා නිර්මාණ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රචාරණයත් ප්‍රේක්ෂකයන් ඒ නිර්මාණ කරා වැඩි වශයෙන් ඇදලා ගන්න බලපාන ප්‍රබල හේතුවක් වෙලා තිබෙනවා.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැනත් මතක් කරමු?


මම හැමදාමත් කැමැත්තෙන් සිටියා රෙද්දයි හැට්ටයයි ඇඳලා පරණ කාලය නිරූපණය වෙන ආකාරයට නිර්මාණය වුණු සීමිත කොටස් ගාණක් තිබෙන නිර්මාණයකට දායක වෙන්න. දැන් මට ඒකට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය ලේඛකයෙක්ගේ අලුත්ම නවකාතාවක් ඇසුරෙන් නිර්මාණය වන ටෙලි නාට්‍යයකටත් මම දායක වෙන්න නියමිතයි. ඒකත් එක්ක මම හිතනවා ප්‍රේක්ෂකයන් ඒ චරිතයත් ඉතාමත් ආදරයෙන් වැලඳ ගනී කියලා. ඒ නිර්මාණය එළියට ආවට පස්සේ අපි ඒ ගැන කතා කරමු.

gossiplanka image 2
Previous Post Next Post