පිටරට ජීවත්වෙන කොල්ලන්ගේ ඇත්ත රටට පෙන්වන - චාමර ජනරාජ්

gossiplanka image 2
ඔහු ටෙලිනාට්‍ය කලාව රසවිඳිනා ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීම් රාශියක් එක් කළ අධ්‍යක්ෂවරයෙකි. ගුප්ත මෙන්ම කුතුහලය දනවනසුලු හැඟීම් ජනිත කරමින් ටෙලිනාට්‍ය කලාවේ රාමුව සොඳුරු අයුරින් බිඳ දැමූ මේ නිර්මාණකරුවා සම්මානිත ටෙලිනාට්‍ය රාශියක හිමිකරුවාය. සරල කතාන්දරයක් තුළ වුව නොපෙනෙන මානයන් රාශියක් මැවීමට ඔහුට ඇති ශක්‍යතාව සිතා ගන්නටවත් නොහැකිය. අයාල්, වීදුරු මල් වැනි ටෙලිසිත්තම් එහි රූපමය සාක්ෂියයි. ඔහුගේ නවතම ටෙලිනාට්‍ය වන අමුතු දීගේ මේ දිනවල විකාශය වේ. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්.


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මම බොහෝ කාලයක් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිටි කෙනෙක්. මම වසර 12කට කලින් ලේක් හවුස් එකේ වැඩ කළා. නමුත් නව ආණ්ඩුව පත්වීමත් සමඟ මම නැවතත් ලේක් හවුස් එකේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පත් වුණා. ඉතින් ඒ වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා.


අමුතු දීගේ ගැන කතා කරමු?


මගේ උතුරු සුළඟ සිනමාපටය ඕස්ට්‍රේලියාවේ තිරගත වන මොහොතේ තමයි ප්‍රසිලා ගොඩහේවා මහත්මියව මුණගැසුණේ. එතුමිය මට ආරාධනා කළා මගේ අමුතු දීගේ කියලා පොතක් තිබෙනවා. ඒ පොත ටෙලිනාට්‍යයක් ලෙස නිර්මාණය කරමු කියලා. එතුමිය මට අමුතු දීගේ පොත ලබා දුන්නා. ඉන් පසුව අපි එය කියෙව්වා. ඊට පසුව තමයි මේ ටෙලිනාට්‍ය නිර්මාණය කිරීම ආරම්භ වුණේ. ඇය මෙහි නිෂ්පාදකවරිය ලෙසත් කටයුතු කරනවා.


නවකතාවකින් ටෙලිනාට්‍යයක් කිරීම කවර ගණයේ අභියෝගයක්ද?


මට නවකතාවකින් ටෙලිනාට්‍යයක් කරනවා කියන දෙය ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. මමම ලියා ගන්න පිටපත්වලින් තමයි මම නාට්‍ය නිර්මාණය කළේ. පොතට සාධාරණයක් කරන එක ඇත්තටම මට අභියෝගයක් වුණා.


මෙහි තිරපිටපත රචනා වුණු අයුරු ගැන කියනවා නම්?


මම ප්‍රවීණ තිරපිටපත් රචක සහ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනව මේ සඳහා සම්බන්ධ කර ගත්තා. මේ නවකතාවේ තිබෙන්නේ  මුල ඉඳන් අගට වුණාට අරුණ ජයවර්ධන රටාවක් නිර්මාණය කරලා දුන්නා මැදින් ආරම්භ කරලා අගට යන ගමන් මුල ඉඳන් ගමන් කරන ලෙස. ඒ නිසා  තමයි ප්‍රේක්ෂකයා තුළ මේ පිළිබඳව කතාබහක් ඇති වී තිබෙන්නේ. මුද්‍රිත මාධ්‍ය සහ දෘෂ්‍ය මාධ්‍ය කියන්නේ දෙකක්. ලංකාවේ දෘෂ්‍ය මාධ්‍ය තුළ පුදන කොටම කාපි යකා වගේ මවලා දෙන්න ඕන. කෙසේ හෝ මේ තිරපිටපත රචනා කරන්න ප්‍රමෝද්‍යා වික්‍රමසිංහ සහ තිළිණි කියන පිටපත් රචිකාවියන් දෙදෙනාත් දායක වුණා.


මෙතරම් කාලයකට මිනිසුන්ට දකින්න නොලැබුණු පැතිකඩක් මේ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයාට දකින්න ලැබුණා. ඒ නිසා තමයි මෙය මෙතරම් ජනප්‍රිය වුණේ.


මේ නව වෙනස හමුවේ ප්‍රසිලා ගොඩහේවා මහත්මියගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැනත් කියමු?


ප්‍රසිලා මහත්මියත් මගෙත් අතර හිතවත්කම තිබුණත් ඇයට මෙය විකාශය වන විට විශාල ගැටලු රාශියක් පැනනැඟුණා. ඇය අපි කතාව ආරම්භ කළ ආකාරයට පටන් ගන්නවාට කිසිම අයුරකින් කැමැති වුණේ නැහැ. එතුමියට අවශ්‍ය වුණේ ඇගේ නවකතාවේ මේ කතාව ගලායන අයුරින්ම ටෙලිනාට්‍යයත් ගලා යනවා දකින්න. ටෙලිනාට්‍යයක් ඒ අයුරින් නිර්මාණය කරන්න බැහැ. අප එය ඇයට තේරුම් කළා. ඉතින් ඇය මේ ගැන දැඩි ලෙස කනස්සල්ලෙන් පසු වුණා. අපි ඇතැම් විට වෙනත් චරිත පවා ගෙන ආවා. මේ ගැනත් ඇයට එතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඇයට අපි මෙහෙම කළේ ඇයි කියන දෙය ගැන අදහසක් ඇති කියා මම සිතනවා.


මේ කතාව දීග ගැන අමුතු කතාවක්. කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටක දිවි ගෙවන ලංකාවේ ළමයෙක් එහේ ගත කරන ජීවිතය මොන වගේද කියලා අපි කවුරුත් දන්නෙ නැහැනේ. ඒ ළමයි ඒ රටවල ගත කරන්නේ වෙනම ජීවිතයක්. නමුත් ලංකාවේ අම්මලා තාත්තලා එහේ ඉන්න ලංකාවේ දරුවෙක්ට ලංකාවේ ජීවත් වෙන තමන්ගේ දරුවව දෙන්න කැමැතියි. මේ කතාව තුළ එහේ දිවි ගෙවන අපේ අයගේ නොපෙනෙන මානයක් දකින්න පුළුවන්. මේ නිසාම මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. හොඳ ප්‍රතිචාර වගේම දැන් මට බැණුම් අහන්නත් වෙලා. තමුන්ගේ වැඩ නිසා අපේ පුතාට කසාදයක්වත් කරගන්න බැරිවෙයි කියලා එක පුද්ගලයෙක් බැන්නා. වැඩේ ඒ තරමටම වාත වෙලා. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන අම්මලා තාත්තලා මේ දේවල් පෙන්වලා දුන්නට බොහෝම ස්තූතියි කියලා කියනවා. කොහොම හරි මට රට යන්නත් නැති වෙයි වගේ.


සිනමාපටයක් නිර්මාණය කළ බොහෝ අධ්‍යක්ෂවරු නැවත ටෙලිනාට්‍ය කලාවට පැමිණෙන්නේ බොහෝ කලකට පසුව. ඔබට ඇයි ඉක්මනින්ම නැවතත් ටෙලිනාට්‍ය වෙත එන්න සිතුණේ?


එහෙම දෙයක් නැහැ. අපි චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක්, ගීතයකට රූප රචනාවක් කළත් මේ සෑම දෙයක්ම දෘෂ්‍ය මාධ්‍ය. මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විතරයි, මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි ඒක බොරු කතාවක්. ඒක නිකන් ජනප්‍රිය සම්භාව්‍ය බෙදීම වගේ. මේවා බොරුවට හදාගත්ත දේවල් විතරයි. වර්තමානයේදී කිසිම අධ්‍යක්ෂවරයෙක්ට එක එක දේවල් බෙදාගෙන පවතින්න අමාරුයි. මම රූප මාධ්‍යයට ඉතා ආසයි. එතැනදී දැන්වීමක්ද, ටෙලිනාට්‍යයක්ද, කියලා මම බලන්නේ නැහැ. මම හොලිවුඩ් ගිහින් ආවත් මට පෝය නාට්‍යයක් හදන්න කිව්වොත් මම ඒක හදනවා.


උතුරු සුළඟෙන් පසුව පැමිණෙන ඔබේ නවතම චිත්‍රපටය නිර්මාණය වෙන්නේ කවදාද?


මම එහෙම සිනමාපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරගෙන සිටිනවා. මට බොහොම ළඟදීම දවස් 15ක 20ක නිවාඩුවක් ලැබෙයි කියා මම සිතනවා. ඒ නිවාඩුව ලැබුණ ගමන් මම ඒ සිනමාපටය නිර්මාණය කරනවා. ලබන වසරේදී හෝ ඊළඟ වසරේදී ආදරණීය ප්‍රේක්ෂකයාට එය දැක ගන්න ලැබේවි. මම පිටසක්වල ජීවීන්ට කැමැති මනුස්සයෙක්නේ. නමුත් මේ කතාවේ පිටසක්වල ජීවීන් නැහැ. ඒක හරියට නිකන් මනී ඩ්‍රොප් එකේ හත් වැනි ප්‍රශ්නයට වාක්‍යයක් කියනවා ඒක අදාළ කර ගන්න එපා කියනවා වගේ දෙයක්. ඒක ලංකාවේ හැම දෙයක්ම මුසු වුණු අමුතු ආකාරයේ සිනමාපටයක්.


ගිහාන් සචින්ත

gossiplanka image 1
Previous Post Next Post