
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දිනවල මම රංගනයෙන් දායක වන ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය තිරගත වෙනවා. ඉතින් ඒත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. ඒ වගේම ඉදිරියේදී මම රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට පහක් තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒවාගේ වැඩකටයුතුත් කරගෙන යනවා. ඊයේ දින ඉඳන් සූර්යා චිත්‍රපටයත් තිරගත වෙනවා. ඒ චිත්‍රපටයත් දැන් හැමෝටම නරඹන්න පුළුවන්.
ඔබේ මුල්ම සිනමාපටය ක්ලැරන්ස්- Rhythm of the Guitarට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
මට ඒ නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ ගැන මට හරිම සතුටුයි. ඇත්තටම මේ චිත්‍රපටය ගොඩක් ප්‍රේක්ෂකයන් වැලඳ ගනීවි කියලා මම හිතුවා. හැමෝම ඒ චිත්‍රපටය ගොඩක් ආදරයෙන් වැලඳ ගන්නවා වගේම එහි ගීතවලටත් ගොඩක් ආදරය කරනවා.
ඔබ සිනමාවට නවක මුහුණක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ ඉතාම කෙටි කලෙකින් එක් වෙනවා නේද?
ඇත්තටම ක්ෂේත්‍රයට නම් පිවිසෙන්න මම පොඩි කාලයේ ඉඳලා හරිම ආශාවෙන් හිටියේ. ඒක මට ටික කාලයක් කියන්නත් බැහැ. මොකද මම ක්ෂේත්‍රයට එන්න කාලයක් ගත වුණා. පාසල් කාලයේ ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝවලට මම දායක වුණත් රංගන කටයුතුවලට දායක වුණේ නැහැ. මොකද මම පැසිපන්දු ක්‍රීඩිකාවක්. ඉතින් මට පාසල් කාලයෙන් පසුව තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. මම මුලින්ම රංගනයෙන්
දායක වුණේ මියුසික් වීඩියෝ එකකට. ඊට පසුව වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා. ඒ වගේම මම ඊට පස්සේ හිරු නාළිකාවේ අසිරිමත් දළදාගමනය කියන ටෙලි නිර්මාණයේ හේමමාලාගේ චරිතයට දායක වුණා. ඉන් පසුව තමයි මට ක්ලැරන්ස් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ. මේ ලස්සන නිර්මාණයට මට ආරාධනා කිරීම සම්බන්ධව තේජා ඉද්දමල්ගොඩ සර් සහ තුසිත සර් ආදරයෙන් මතක් කරන්න ඕනෑ.
ශීලා විජේවර්ධන වැනි ජීවමාන චරිතයක් නිරූපණයේ අභියෝගය මොනවගේද?
ඒක මට ලොකු අභියෝගයක්. මොකද ඇය අපි අතර ඉන්න චරිතයක්. ඉතින් ඒක තේජා ඉද්දමල්ගොඩ සර්ගේ සහයෝගයත් සමඟ මට පහසු වුණා. මේ චරිතය ගොඩනැඟීමේදී තේජා සර් මට ගොඩක් උදවු කළා. ඒ වගේම ශීලා මහත්මියත් මට ගොඩක් උදවු කළා. ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඇය හරිම ආදරණීය චරිතයක්. ඉතින් ඒ ආදරණීය චරිතය මට ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න වුවමනා වුණා. තේජා ඉද්දමල්ගොඩ සර් සහ මේ හැමෝම නිසා තමයි මට මේ කැරැක්ටර් එක ලස්සනට ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න පුළුවන් වුණේ.
සූර්යා චිත්‍රපටයේ නේහාගේ චරිතය වෙනුවෙන් ඔබ කළ කැපකිරීම මොනවගේද?
ඇත්තටම ලොකු කැපකිරීමක් කළා. නේහා කියන නම මට අලුත් නැහැ. මොකද මගේ යහළුවෝ ආදරයට මට කතා කරන්නේ නේහා කියලා. ඒ නම මට අලුත් නැති වුණත් ඒ චරිතය මට ගොඩක් අලුත්. ඉතින් මහේෂ් මුණසිංහ සර් සහ දිනේෂ් මුතුගල සර් මට මේ චරිතය ගැන ගොඩක් කියලා දුන්නා. ඒත් එක්ක මට මේ කැරැක්ටර් එක ගොඩනඟන්න පහසු වුණා. මේ කැරැක්ටර් එකට යම් යම් අභියෝග ටිකක් තිබුණා. ස්කූටි පදින්න පුළුවන් වුණාට ගියර් බයික් පදින්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. මේක නිසා මම ඒ දේ පුරුදු වුණා. ඒකත් මම සාර්ථකව කළා කියලා හිතනවා. ඉතින් අභියෝග බොහෝමයකට මුහුණදුන්නා.
අද අප අතර නොහිටියත් ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ තේජා ඉද්දමල්ගොඩ පිළිබඳවත් මතක් කරමු?
තේජා සර් නැත්නම් මට මේ අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. ඔහුව මම මුලින්ම මතක් කරන්න ඕනෑ. තේජා සර් මාව වෙළෙඳ දැන්වීමකින් දැකලා තමයි මට කිව්වේ අපරාදේ ඔයාව මුලින් දැක්කේ නැහැනේ චිත්‍රපටයකට සම්බන්ධ කරගන්නට කියලා. ඊට පස්සේ ඒක මතකයේ තබාගෙන අවුරුදු ගණනකට පස්සේ මට මේ චරිතයට ආරාධනා කිරීම ගැන ඇත්තටම සතුටුයි. තේජා සර් අප අතර නොසිටීම ගැන මට ගොඩක් දුකයි. ඔහු හිටියා නම් තව ලස්සන නිර්මාණ සිනමාවට බිහිවෙන්න තිබුණා. ඔහු අප අතරෙන් වෙන්වීම සිනමාවට ලොකු අඩුවක්. තේජා සර් නැත්නම් අද මමත් සිනමාවේ නොසිටින්න තිබුණා. මොකද මාව කවුරුත් එක්කර ගනීද කියලා දන්නේ නැහැ නේ.
ඔබ ක්‍රීඩිකාවක්, වෘත්තීමය රංගන ශිල්පිනියක් වගේම ව්‍යාපාරිකාවක් විධියටත් කාල කළමනාකරණය කරගන්නේ කොහොමද?
ඒක මට ලොකු අභියෝගයක්. ක්‍රීඩාවෙනුත් මම ඉහළම තැනක ඉන්නවා කියලා හිතනවා. මොකද මම පැසිපන්දුවලින් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. ඒ පුහුණුවීම් එක්ක මට රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යන්න ගොඩක් අමාරු වුණා. නමුත් ඒ දේවල් සමබරව කරගන්න පුළුවන් වුණේ මගේ පුහුණුකරුවන් නිසා තමයි. ශිව ශක්ති සෙල්වරාජ් සර් සහ අජිත් සර් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ක්‍රීඩාව සහ රංගන ක්ෂේත්‍රය කියන්නේ අපි කාලේ ගොඩක් වැය කරන්න ඕනෑ ක්ෂේත්‍ර දෙකක්. දැනට මම ඒ දේවල් බැලන්ස් කරගෙන යනවා.
ඔබ පුංචි තිරයට වෙන් කරන ඉඩකඩ අඩුද?
ඇත්තටම පැසිපන්දු ක්‍රීඩාවත් එක්ක මට පුංචි තිරයට ඉඩ වෙන් කරන්න ගොඩක් අමාරුයි. පුංචි තිරයට අපි ගොඩක් කාලය දෙන්න ඕනෑ. සිනමාවේදී චිත්‍රපටයකට ෂූටින්වලට යම් කාලයක් තිබෙනවා. ඒ කාලයේ විතරයි අපි ඒක ෂූට් කරන්නේ. ඉතින් ඉතුරු කාලය මගේ පැසිපන්දු ක්‍රීඩාවට වෙන් කරන්න පුළුවන් නිසා තමයි මම සිනමාව තෝරා ගත්තේ. එහෙම නැතුව පුංචි තිරයට අකැමැති නැහැ.
මේ වෙද්දී ඔබට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා?
ඒ ගැන ගොඩක් සතුටුයි. මේ වගේ ලස්සන ලස්සන කමෙන්ට්ස් මට ලැබෙයි කියලා හිතුවේ නෑ. ප්‍රේක්ෂකයන් මාව දකින විධියට ඇත්තටම මම හරිම කැමැතියි. මගේ රඟපෑම මෙහෙම අගය කිරීමම මට භාග්‍යයක්.
ආදරය හා විවාහය ඔබ දකින්නේ කෙසේද?
ආදරය ගැන කියන්න ඇත්තටම අමාරුයි. මොකද අනෙක් අය ආදරය ගැන හිතන විධියයි මම ආදරය ගැන හිතන විධියයි වෙනස්. ආදරය ගැන කියන්න ගත්තොත් මට වචන නැහැ. එතරම් බැරෑරුම් වචනයක් තමයි ආදරය කියන්නේ කිව්වොත් මම නිවැරැදියි.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
ක්ලැරන්ස් Rhythm of the Guitar, සූර්යා චිත්‍රපට මේ වෙද්දී තිරගත වෙනවා. ඉදිරියට මගේ නිර්මාණ කිහිපයක් තිරගත වීමට තිබෙනවා. ප්‍රියන්ත කොළඹගේගෙ චිත්‍රපට දෙකක් තිරගත වීමට තිබෙනවා. කපිල සූරියආරච්චිගේ අග්නික චිත්‍රපටය තිරගත වීමට තිබෙනවා. ඒ වගේ ලස්සන ලස්සන වැඩ ටිකක් ඉදිරියට එන්න තිබෙනවා.
