චරිතයට කැපවෙනවා කියන්නෙ වෙනමම වැඩක් -ජනිත් වික්‍ර­මගේ

gossiplanka image 1
තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙක් වන ජනිත් වික්‍රමගේ මේ දිනවල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කරන ලද දිනේෂ් මුතුගල නිෂ්පාදනය කරන ලද සූර්යා චිත්‍රපටයේ පොඩ්ඩා ලෙසින්.


සූර්යා තිරයට ආවා, ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම වුණත් අන්තිම සැරේ ෆිල්ම් එක බැලුවේ මම එහි ප්‍රධාන නළුවා කියන කෑල්ලෙන් එළියට ඇවිත්. මම පස්වෙනි වතාවට බලද්දිත් මට ඇඬෙනවා. ඒ වගේම අපි දැක්කා මාධ්‍ය දැක්ම දවසේ පවා ඒ අයටත් මේක සංවේදීව දැනිලා තියෙනවා. එහෙම දැනුණා කියන්නෙම ඉතා හොඳ සාධකයක්. ඒකම ඇති ගැලරියටත් වැඩ කරන්න. ඉතා කැපවෙලා කරපු වැඩක් මේ විදියට ප්‍රතිචාර ලැබෙන එක ඉතාම සංතෝෂයක් ගෙන දෙන කාරණයක්.


සූර්යා අධ්‍යක්ෂවරයා වෙන්නේ මහේෂ් මුණසිංහ, ඔහුගේ පළමු සිනමා නිර්මාණයේත් ඔබ හිටියා. මේ සුසංයෝගය ගැන කතා කළොත්?


මහේෂ් අයියාගේ රෂ් චිත්‍රපටයේ මම කළේ තුන්වෙනි වගේ චරිතයක්. සුරංග ද අල්විස්ගේ ද ගේම් චිත්‍රපටය මට ලැබෙන්නේම රෂ් චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් තුළින් මට ලැබුණු ප්‍රතිචාරයත් එක්ක. සුරංග අයියට ෆිල්ම් හෝල් එකක් තිබීම තුළ ඔහු ඒ ලැබුණු ප්‍රතිචාර මැනවින් දැක්කා. ඒ හරහා තමයි ද ගේම් චිත්‍රපටයට මාව කාස්ට් වෙන්නේ. මහේෂ් අයියා මා එක්ක වැඩ කරන්නේ හොඳ අවබෝධයක් සහ තේරුම් ගැනීමක් එක්ක. මහේෂ් අයියා තේරුම් ගත් කාරණයක් තමයි නළුවා තුළ කරන වැඩේට වගවීම සහ කැපවීම නැත්නම් කොච්චර ලස්සන වුණත් උස මහත වුණත් රූපකාය තිබ්බත් වැඩක් නැහැ කියන එක. විදෙශ් නළු නිළියන් මේ විෂය එක්ක හිටියට ලංකාවේ අය තුළ ඒ වෘත්තීමයභාවය හරි අඩුයි.


සූර්යා හි ඔබත් එක්ක රඟපාන සහෝදර ශිල්පීන් ගැනත් අපි කතා කරමු


මම කාලයක් තිස්සේ රංගනය තුළ නියැළෙමින් විවිධ භූමිකාවල සිටිමින් එන ගමනක් නිසා දන්නවා මට වැදගත් වෙන්නේ මගේ සහයට ඉන්න නළුවන් බව. ඒකට හේතුව මට අත්දැකීම් තියෙනවා සහාය නළුවන්ගෙන් ලැබෙන සහයෝගය මත ප්‍රධාන නළුවට ගොඩ යන්න පුළුවන් ද බැරිද කියන එක. ඒ දේම තමයි සංගිත්ව සහ සචින්ව කාස්ට් කරද්දී අපි හිතුවේ. මාත් එක්ක ගහගන්න පුළුවන් කෙනෙක් විදියට සචින්ව තෝරා ගැනීමත්, කොමඩි තැන්වලදී මට පන්ච් එකක් දෙන්න පුළුවන් කෙනෙක් විදියට සංගිත්ව තෝරා ගන්නත් අපි අවධානය යොමු කළා.


අමතක නොවන අත්දැකීම් තියෙනවද?


අත්දැකීම් කියන්නෙම මේ නිර්මාණය වෙනුවෙන් වුණු මහන්සිවීම තමයි. සෑහෙන මහන්සිවීම් කැපවීම්වල ප්‍රතිපලයක් විදියට තමයි සූර්යා නිර්මාණය වෙන්නේ. කායිකව දරා ගන්න බැරි ප්‍රෙෂර් එකක් ඒ කාලේ තිබ්බා. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න දිනේෂ් මුතුගල සර් එකඟ වීමත් එක්ක ඉතාම කෙටි කාලයකින් රූපගත කිරීම් ආරම්භ කළා. ඒ එක්කම මට සිද්ධ වුණා ඉතා ඉක්මනින් මගේ ඇඟේ තියෙන ෆැට් එක අඩු කර ගන්න. ස්වභාවිකව ඇඟක් අඩු කරනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ හැමදේම දරා ගෙන චරිතේ තුළ ජිවත් වෙන්නත් ඕනේ. ඒ ජවය කණ්ඩායමේ හැම ශිල්පියෙක් තුළම තිබ්බා. ටී බෝයි තුළ පවා ඒ ජවය නොතිබුණා නම් මේ වැඩ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.


මේ අවුරුද්දේ තව නිර්මාණ දකින්න ලැබෙනවද?


තව නිර්මාණ දෙකක් කරන්න තියෙනවා. ඉන් එක නිර්මාණයක ටයිටල් එක මගේ අම්මාගේ උපන්දිනය වන ඔක්තෝම්බර් 18 ලෝන්ච් කරන්න ඉඩ තියෙනවා. මේ කාලයේ මම ඉන්නේ ඒ නිර්මාණ දෙක වෙනුවෙන් අවශ්‍ය කරන ආකාරයට ඇඟ හදා ගනිමින්. ඒ එක්කම ඉන්නේ මම ආයේ නිර්මාණයක් කරනවා නම් එය සූර්යාට වඩා එහා ගිය මට වැදගත් වෙන නිර්මාණයක් විය යුතුයි කියන තැන. ඉතාම හොඳ ප්‍රබල පිටපත් දෙකක් මට ලැබිලා තියෙනවා. සූර්යා එක්ක තව මාසයක් වගේ කාලයක් මට ඉන්න වෙනවා. ඉන් පසු මගේ කාලය වෙන් වෙන්නේ අලුත් නිර්මාණවලට.


දැන් ජනිත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නෙම නැද්ද?


මම අන්තිමට කළේ නීල පබළු නාට්‍යය. ඒක කරලත් අවුරුදු 4ක් 5ක් වෙනවා. ඇත්තම කියනවා නම් හරියට චිත්‍රපටයක් කරනවා නම් ටෙලි නාට්‍යය කරන්න කාලය නැති වෙනවා. චිත්‍රපටයක් හරියට කරනවා නම් පෙර නිෂ්පාදන සහ පසු නිෂ්පාදනවලට සෑහෙන කැපවීමක් කරන්න වෙනවා. එහෙම නොකළොත් අවශ්‍ය කරන කොලිටි එක ගන්න බැරි වෙනවා. ඒ හැර ටෙලි නාට්‍යයවලට අකමැති නෙවෙයි, අපි හැමෝගෙම හීනය සිනමාව නිසා වැඩි බරක් දීලා තියෙන්නේ සිනමාවට. හැබැයි මම නිවේදන කටයුතු කරනවා. ඒ එක්කම ටෙලි නාට්‍යයවලත් දවස් කිහිපයක් තුළ රූගත කිරීම් කරලා අවසන් වන චරිත ආවොත් තෝරා බේරාගෙන රඟපාන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මෙගා නාට්‍යය එක්ක දිගටම රඟපාන්න නම් හරි අමාරුයි.


සූර්යා චිත්‍රපටයේ නම් පෙම්වතියන් දෙන්නෙක්ම ඉන්නවා, සැබෑ ජීවතේ පෙම්වතිය කෝ?


ආදර සම්බන්ධතා තිබ්බා. අවසානයේ තිබ්බ ආදර කතාව අවුරුදු හතක් විතර තිබ්බා. දෙදෙනා අතර තියෙන තේරුම් ගැනීම් එක්ක තමයි හැමදේම ඉදිරියට යන්නේ. මම පෞද්ගලිකව විශ්වාස කරන දේ මගේ පෞද්ගලික ජිවිතේ සම්බන්ධතා යම් සීමාවකට එනකම් මම ඒ දේවල් ගැන කියන්න කැමති නැහැ. ඒකට ඒ හේතුව මගෙත් එක්ක ආදර කතාවක් තිබිලා මඟදී නතර වුණොත්, අද වෙද්දී සමාජ මාධ්‍ය තුළින් ඇතිවන බලපෑම විවිධ නිසා මම ඒක කොහොම හරි දරා ගත්තත් අනිත් පාර්ශ්වය එය දරා ගැනීම කොහොම වෙයිද කියන එක දන්නේ නැහැනේ. ඒ වගේම සමහරවිට ඒ කෙනාව දිගටම බ්ලැක් මාර්ක් වෙන්න පුළුවන් මෙයා අරයාගේ හිටිය කෙල්ල නේද කියලා. ඒ දේවල් ඒ අයගේ අනාගත ජිවිතවලටත් බලපාන්න පුළුවන් කාරණා නිසා මම සාමාන්‍යයෙන් දෙයක් ස්ථිර වෙනකම් නොකියන අවස්ථා තියෙනවා. ඒ හැර බඳින්නේම නැහැ කියලා තීරණයක් හෝ බඳින්න බැරි වුණොත් අප්සට් වගේ තැනක මම නැහැ. ජිවිතේ හැමදේම සාපේක්ෂයි. මිනිස්සු බැඳලාත් ඉන්නවා නොබැඳත් ඉන්නවා. සමාජයට ඕනේ විදියට ආදරේ සහ විවාහය කියන එක තීරණය කරන්න ගියොත් අපිම තමයි අමාරුවේ වැටෙන්නේ.


අවසාන වශයෙන් මේ කාලයේ ඔබව රිදී තිරයෙන් දකින්න ලැබෙන සූර්යා ගැන ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති?


මට ප්‍රේක්ෂක ආදරේ තදින්ම දැනෙනවා. මගේ පොස්ට් එකකට වුණත් බොහොම ආදරෙන් කමෙන්ට් කරද්දී මට දැනෙන දේ තමයි මෙච්චර කාලයක් අවංකව හිඳීම තුළ මට ලැබෙන දේ බව. ඒ ලැබෙන ආදරේට ගරුත්වයට මම හරිම ආදරෙයි. ද ගේම් එකෙන් පස්සේ මට කතා කරපු චිත්‍රපට 5 ක් විතර මම කළේ නැහැ. එහෙම නොකර ඉන්නේ පිස්සෙක්ම තමයි. එක ටෙලිනාට්‍යයක්වත් අත හරින්නේ නැතුව අධ්‍යක්ෂවරුන්ට කතා කරලා පස්සෙන් ගිහින් චරිත ඉල්ලන ක්ෂේත්‍රයක චිත්‍රපට 5ක්ම අතහැරලා ඉන්නවා කියන්නෙම ඔළුවේ අමාරුකාරයෙක්ම තමයි. හැබැයි මම එහෙම වැඩ කරන්නෙ හේතුවක් එක්ක. ඒ හේතුවට මම ආසයි මට අවශ්‍ය කොලිටිය එක්ක වැඩ කරන්න. ඒ වෙනුවෙන් මම අවංකව මහන්සි වුණා. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ ඇවිත් බලන්න කියලා. මෑත කාලයට ගැළපෙන පිය පුතු සම්බන්ධයක් තියෙන ලස්සන නිර්මාණයක් සූර්යා හරහා කරලා තියෙනවා. මේක දුවන තරමට සමාජයට තමයි හොඳ වෙන්නේ. මම දන්නවා සූර්යා ජනතාව අතරට අරන් යන්න අවශ්‍ය කරන වටපිටාව සොබාදහම මට නිර්මාණය කරලා දෙයි කියන විශ්වාසය මට තියෙනවා. මේ වෙනුවෙන් මම කළ කැපවීමට සහ අවංක භාවයට. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න සූර්යා බලන්න.

gossiplanka image 2
Previous Post Next Post