
කොහොමද මේ දවස්වල ජීවිතය කාර්යබහුලයිද?
මේ දවස්වල ලොකු කාර්යබහුලකමක් නැහැ. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයේ යෙදිලා ඉන්නවා. මේ අවුරුද්දේ “මේක අපේ ආණ්ඩුවක්” වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව ‘රාජ කපුරු, අබුද්දස්ස කෝළම, ආඬි හතයි – කැඳ හැළියයි’ වේදිකා නාට්‍යයන් මේ දිනවල වේදිකාවෙ රඟ දක්වනවා. එම නාට්‍යයන් සමඟින් විවිධ ප්‍රදේශවලට යනවා. ඒ නිසා සතියේ දවස්වල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම්වල යෙදෙනවා. මම කවදාවත් කරන්න බැරි වැඩ කොටසක් භාර ගන්න කෙනෙක් නොවෙයි. රංගනය පටන් ගන්ත මුල් කාලයේදී වගේම අදත් කාලසටහනකට තමයි වැඩ කරන්නෙ. ගොඩක් වෙලාවට මම රඟපෑමේ යෙදෙන්නේ සීමා සහිතවයි. එහෙම නැතිව ජීවිතයට වදයක් වෙන්න තරම් කාර්යබහුල නැහැ.
මේ දිනවල ඔබ රංගනයෙන් දායක වෙලා ඉන්න අලුත් නිර්මාණය පිළිබඳ කතා කරමුද?
මම රංගනයෙන් දායක වුණ ‘හිරු කුමරු ආදරය අරන් ඇවිල්ලා’ ටෙලි නාට්‍ය හිරු ටීවී එකේ විකාශය වෙනවා. එහි මම නිරූපණය කරන්නේ තාත්තගෙ චරිතය. තාත්තගේ චරිතය නිරූපණය කරන නාට්‍යවල අවසන් කාලය තමයි මේ ගෙවෙන්නේ. තාත්තාගේ රංගනයත් තව නොබෝ දිනකින් අවසන් වෙනවා.
එයට හේතුව…….?
මම මුලින්ම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය නිරූපණය කරමින් රංගනයට එක් වෙන්නේ අසූව දශකයේ අග භාගයේ. එහෙම නැතිනම් අනූව දශකයේ මුල් කාලයේදී. රඟපාන්න ආව මුල් කාලයේදී මට පෙම්වතාගෙ චරිතය ලැබුණා. කාලය ගත වෙද්දි වයසට යද්දි පෙම්වතා චරිතය මගෙන් ගිලිහිලා ගියා. ඉන්පසුව පෙම්වතාගේ යාළුවා අයියා වගේ චරිත කළා. වයස ගතවෙද්දි තාත්තගේ චරිතවලට මාව තෝරා ගත්තා. මට ලැබුණේ නපුරු තාත්තගෙ චරිත නොවෙයි. හොඳ තාත්තගෙ චරිත. දැන් මගේ වයස අවුරුදු 67ක්. මේ වයසෙදි රඟපාන්න පුළුවන් චරිත ප්‍රමාණය සීමිතයි. මම හිතනවා දැන් මට වඩාත් ගැළපෙන්නේ සීයගේ චරිතය කියලා.
රඟපාන ඕනෑම චරිතයකින් ප්‍රබල විධියට ප්‍රේක්ෂකයාගේ සිතෙහි විශ්වාසය තහවුරු කරන්නෙ කොහොමද?
ඕනෑම රංගන ශිල්පියකුට තමන්ගේ විශ්වවිද්‍යාලය වෙන්නෙ වේදිකාව. වේදිකාවෙන් පන්නරය ලැබූ ශිල්පියකුට අනෙක් ඕනෑම රංගන ක්ෂේත්‍රයක් ජය ගැනීමේ හැකියාව තිබෙනවා. මම නොවෙයි උදාහරණයක් හැටියට මාලිනී ෆොන්සේකා ගන්න. සිනමාවේ අග රැජන ඇයයි. ඇය සිනමාවට පිවිසෙන්නට පෙර වේදිකා නාට්‍ය රංගනයේ යෙදෙනවා. ඇය රංගනයේ යෙදුණු වේදිකා නාට්‍යයක් බලපු ජෝ අබේවික්‍රම මහත්මයා මාලිනී සිනමාවට ගේනවා. නිළි රැජන දක්වා ගිය ගමනට අත්තිවාරම වුණේ වේදිකාව. වේදිකාවේ හතරකොණ ජය ගත්තු රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකට සිනමාව සහ පුංචි තිරය ජය ගන්න එක එතරම් අසීරු නැහැ. මම රඟපාන චරිතයකින් ප්‍රේක්ෂක විශ්වාසය තහවුරු කරන්න මට පුළුවන් නම් ඒකේ රහස තමයි මම වේදිකාව ජයගත් රංගන ශිල්පියකු වීම.
රංගන ශිල්පියෙක් සම්මානනීය වීම හරහා ලැබෙන්නෙ මොන වගේ උත්තේජනයක්ද?
මට සම්මාන ලැබුණට සම්මාන නොලැබුණු දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියෝ බොහොමයක් ඉන්නවා. මට නම් හිතෙන්නේ සම්මාන ලැබෙන්නේ එක කොටසකට විතරයි. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. අවුරුද්දකට වතාවයිනේ සම්මාන උළෙලක් පවත්වන්නේ. තුන් දෙනෙක් නිර්දේශ වෙනවා. ඒ වුණාට එක් අයකු විතරයි සම්මාන ලබන්නේ. ඊට පසු වසරෙදිත් මේ සිදුවීම වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී වසර දෙකේදීම සම්මාන ලබන්නේ එකම රංගන ශිල්පියා හරි ශිල්පිනිය වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා මම නම් හිතන්නෙ සම්මාන ලැබීමට වඩා නිර්දේශ වීම සම්මානනීයයි. සම්මාන කියන්නේ ඇගයීමක් විතරයි. ඒ නිසා ලොකු වටිනාකමක් රඟපෑමට එකතු වෙන්නෙ නැහැ. කවදාවත් ඒ මත යැපෙන්නෙ නැතිව ලැබුණොත් භාර ගන්න එක තමයි හොඳ. එහෙම නැතිව එය වෘත්තීය ජීවිතයට උත්තේජනයක් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් එතැනදි වෘත්තීය ලෙස අඩපණ වීමක් වෙන්න පුළුවන්.
ඔබ කලාවට පැමිණි මුල් කාලය සහ වර්තමානය ගැන කතා කළොත්……?
අපි කලාවට පැමිණීමට පෙර සිටම යාළුවො එක්ක එකතු වෙලා චිත්‍රපට බලන්න, වේදිකා නාට්‍ය බලන්න යනවා. අපේ කාලයේ පාසල් ප්‍රජාව අතර චිත්‍රපට සහ වේදිකා නාට්‍ය බලන්න තිබුණේ මනා නැඹුරුතාවක්. ඒ කාලේ දෙකයි තිහ, හයයි තිහ දර්ශන වාර දෙකක් තිබුණා. ඉන් 2.30 දර්ශන වාරය නම් කරලා තිබුණේ පාසල් දර්ශනය ලෙසයි. කාලය ගතවීමත් සමඟ මේ ක්‍රියාදාමය වෙනස් වෙලා දරුවන් තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කරන්න පුරුදු වුණා. දැන් දරුවන්ට චිත්‍රපට, නාට්‍ය මේ සියලු දේ ෆෝන් එකෙන් බලන්න හැකියාව තිබෙනවා. වර්තමානයේ මේ ක්‍ෂේත්‍රයට එන දරුවන් තුළ එදා වගේ කැපවීම අඩුයි. ඒකට හේතුව දරුවා සංස්කෘතියෙන් ඉවත් වෙලා තාක්ෂණයට අනුගත වීම. ඒ නිසා දැන් ඉන්න දරුවන්ට කිසිම රසවින්දනයක් නැහැ. ජීවත්වීමේ අවශ්‍යතාව විතරයි තිබෙන්නෙ. එහිදී ඔවුන් උත්සාහ කරන්නෙ ජනප්‍රිය වෙන්න. එහෙම නැතිව ඒ වෙනුවෙන් කැපවෙලා තමන්ගේ හැකියාව වැඩිදියුණු කරගෙන පැවැත්ම තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවක් වර්තමාන පරපුරට ඇත්තේම නැහැ.
අතීතයට වඩා වර්තමානයේ බිහි වෙන නිර්මාණවල ගුණාත්මක බව අඩුයි. මේ ගැන ඔබේ අදහස……
ඒකට හේතුවක් තිබෙනවා. වර්තමාන නිර්මාණ සඳහා අධික වියදමක් දරන්න ඕනෑ. නිර්මාණකරුවා ගිහින් නාළිකා එක්ක කතා කළාම එයාල කියනවා අපිට දරන්න පුළුවන් මේ තරම් වියදමක් විතරයි. ඒ නිසා මේ වියදමට සරිලන ආකාරයට ඔයාලගෙ වියදම් කළමනාකරණය කරගන්න කියලා. එහිදී නිර්මාණකරුවා නිර්මාණය කිරීමේ වේගය වැඩි කරනවා. විවේකය අඩුයි. මෙහිදී වෙන්නෙ නිර්මාණයේ ගුණාත්මක බව අඩුවීමයි.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියලා කතාබහ අවසන් කරමු….?
මම මුලින්ම රංගනයට පිවිසෙන්නෙ පාසල් වේදිකාවෙන්. ඒ, මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලෙදි. මගේ ගුරුවරයකු වුණු ආරියරත්න පතිරාජ සර්ගේ ‘කතාවක් අතර හදියක්’ තමයි ඒ වේදිකා නාට්‍යයේ නම. මගේත් බලාපොරොත්තුවක් තිබෙනවා පාසල් දරුවන් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න. බොහෝ දුරට එම කටයුතු මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී සිදුවෙයි. ඊට අමතරව මගේ අලුත් වේදිකා නාට්‍යයත් සමඟ කාලය ගත කිරීම තමයි ඉදිරියේ දීත් සිදු වෙන්නේ.
