
අනේ... ගොඩක් ස්තූතියි. අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව මට ‘ඒ’ සාමාර්ථ අටකුයි ‘බී’ සාමාර්ථ එකකුයි තියෙනවා.
ඉතින් උසස් පෙළ හදාරන්නෙ මොන අංශයෙන්ද?
මම උසස් පෙළට කලා අංශය තෝරා ගත්තා. කලා අංශයෙන් මම නාට්‍ය හා රංග කලාව, ප්‍රංශ භාෂාව, ආර්ථික විද්‍යාව විෂයන් හදාරනවා. මම නාට්‍ය හා රංග කලාවට ගොඩාක් කැමතියි. ඒ නිසා උසස් පෙළට මම කලා අංශය තෝරා ගත්තා.
කලා අංශය ගොඩක් හොඳයි. නමුත් ගණිත අංශයෙන් හෝ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න හොඳ ප්‍රතිඵල තිබුණත් ඔයා තෝරාගත්තෙ කලා අංශයයි. මේ තේරීම ගැන දෙමව්පියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මගේ අම්මාගෙන් තාත්තාගෙන් කිසිම දේකට බල කිරීමක් නැහැ. මම අපොස සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳන්ම මොන ප්‍රතිඵලය ගත්තත් මම කලා අංශයෙන් උසස් පෙළ හදාරන බව ඒ අය දැනගෙන හිටියා. ඒ නිසා ඒකට මගේ අම්මාගේ තාත්තාගේ කිසිම විරුද්ධත්වයක්, බල කිරීමක් තිබුණෙ නැහැ. ප්‍රතිඵල ආවට පස්සෙවත් ඒකෙ වෙනසක් වුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද බාලිකා විදුහලෙන්.
ඉගෙන ගන්න අතරතුරේදී සහේලි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. අධ්‍යාපනයයි කලා කටයුතුයි සමබරව කරගෙන ගියේ කොහොමද?
පාසලේදී මම බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට සම්බන්ධ වුණා. ඒ අතරේ චිත්‍රපට, ටෙලිනාට්‍යවලට දායකත්වය ලබා දෙද්දී සමහර අධ්‍යාපන කටයුතු අතපසු වුණු තැන් තිබුණා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගය ළංවෙන කාලයේදී මම වැඩි කාලයක් අධ්‍යාපන කටයුතුවලට යෙදෙව්වා. පාසලේදී අධ්‍යාපන කටයුතුවලටත් වඩා මම බාහිර ක්‍රියාකාරකම් කළා. පාසලේ නාට්‍ය කළා. මම නොහිටපු නාට්‍යයක් නැති තරම්. හැබැයි විභාගයටත් සූදානම් වෙන්න ඕනෑ නිසා විභාගය ළං වෙද්දී මම පාඩම් වැඩ හොඳටම කළා. ඒ වෙන් කරපු පොඩි කාලසීමාව නිසාම මේ ප්‍රතිඵල ගන්න මට පුළුවන් වුණා.
සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන කාලයේදී සහේලි නිර්මාණ බාරගත්තද?
නැහැ. සාමාන්‍ය පෙළ විභාගය ළං වෙද්දිනම් කිසිම නිර්මාණයක් බාරගත්තෙ නැහැ. මන්දාරා චිත්‍රපටය කරද්දී මම හත වසරේ හිටියේ. එතකොටනම් ලොකුවට පාඩම් අතපසුවීමක් වුණේ නැහැ. කොහොමත් මට ලැබෙන පිටපත්වල මගේ චරිතය ගැන මුලින්ම හොයලා බලන්නේ මගේ අම්මයි තාත්තායි. ඒ දෙන්නාගේ කැමැත්ත හා තෝරාගැනීමත් එක්ක තමයි මම නිර්මාණවලට සම්බන්ධ වුණේ. තවමත් මම පාසල් යන දරුවෙක්. පාසල් අධ්‍යාපනය ලබන කෙනෙක්. ඒ නිසා මට ගැලපෙන දේවල් තෝරලා දෙන්නේ මගේ දෙමව්පියෝ. ඒ අතරේ මට, මගේ වයසට මට නොගැලපෙන චරිත කිහිපයකට ආරාධනා ලැබුණා. පිටපත සහ ඒ චරිතය ගැන හිතලා මගේ දෙමව්පියෝ ඒ නිර්මාණවලට දායක වෙන්න ඉඩ දුන්නේ නැහැ.
ලැබුණු ප්‍රතිඵල ගැන ගුරුවරු මොකද කිව්වේ?
ඒ හැමෝටම ගොඩාක් සතුටුයි. නිර්මාණවලට දායක වෙමින්, පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන අතරතුරේ මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගැනීම ගැන පාසල් ගුරුවරුන් ගොඩක් සතුටු වුණා. ඒ අතරින් ගංගා කුමුදුනී මැඩම් ආදරෙන් මතක් කරනවා. පාසල් වැඩ අතපසු වෙද්දී මගේ පාසල් ගුරුවරුන්, මගේ යාළුවන් මට ගොඩක් උදව් කළා. ඒ අතර මම අමතර පන්තිවලටත් සහභාගි වුණා. ඒ හැම ගුරුවරයකුටම මම ස්තූති කරනවා.
පුංචි කාලේ ඉඳන් ඔයාගේ ආසාව වුණේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මගේ යාළුවන්ගෙන් එයාලා කවුරු වෙන්නද ආසා කියලා අහද්දී ඒ අය දොස්තරවරු, ගුරුවරු, නීතිඥයෝ වගේ එක එක චරිත වෙන්න ආසා කළා. හැබැයි මට එහෙම එක චරිතයක් වෙන්න ආසාවක් තිබුණේ නැහැ. මට “හොඳ කෙනෙක්” වෙන්න ඕනෑ වුණා.
සහේලිගේ ආදරණීය පුංචිඅම්මා වෙන ධනංජි තාරුකා සහේලිගේ ප්‍රතිඵලය ගැන මොනවද කිව්වේ?
පුංචි අපිට හරි ආදරෙයි. මගේ විභාග ප්‍රතිඵල අහලා පුංචි ගොඩාක් සතුටු වුණා. මම කලාවට ආවට පස්සේ රංගනය ගැන පුංචි ගොඩාක් දේවල් කියලා දෙනවා. මගේ රංගනය ගැන වගේම ඉගෙනීමේ වැඩ කටයුතු ගැනත් පුංචිට හරි සතුටුයි.
විභාග ප්‍රතිඵල නිකුත් වෙන්න සති දෙකකට පමණ පෙර සහේලිට සම්මානයකුත් ලැබුණා?
ඔව්... මීට සති දෙකකට පමණ පෙර පැවති සරසවි සම්මාන උළෙලේදී ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ මන්දාරා චිත්‍රපටය වෙනුවෙන් මට ජූරියේ කුසලතා සම්මානයක් ලැබුණා. ඒ ගැනත් මට ගොඩාක් සතුටුයි.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන ඔයා දැනගත්තේ කොහොමද?
එදා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මහ රෑ අන්තර්ජාලයට නිකුත් කරලා තිබුණා. ඉතින් මාත් අන්තර්ජාලයෙන් බැලුවා. මටත් ප්‍රතිඵල ගැන හිතාගන්න බැරි වුණා. මගේ ප්‍රතිඵල දැකලා මම ගොඩාක් සතුටු වුණා. ඉතින් මම ඉක්මනින් මගේ අම්මටයි තාත්තටයි ප්‍රතිඵල ගැන කිව්වා. ඒ අයටත් ගොඩාක් සතුටුයි. මගේ අධ්‍යාපනයට වගේම කලා කටයුතුවලට මගේ දෙමව්පියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
සහේලි... ඉදිරියේදී නැවතත් රංගනයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවද?
ඔව්... හොඳ නිර්මාණයක්, මට ගැලපෙන, මගේ වයසට ගැලපෙන චරිතයක් ලැබුණොත් මම ඒවාට රංගනයෙන් දායක වේවි.
• දිශානි ජයමාලි
