
ඔව්... ඒ මගේ එක හීනයක්. ඒක ප්‍රසංගයක් වුණාට සින්දුවක් ඇතුළේ තියෙන ප්‍රසංගයක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන්. කාලයක් තිස්සේ නිර්මාණ කරගෙන එද්දී අපේ ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය, ඉල්ලීම් වෙනස් වෙනවා. ඉතින් ඒ ප්‍රේක්ෂකයන්ට අදාළ නිර්මාණ කරන්නත් මම පෙළඹුණා. ඔය අතරේ අලුත් පරපුරේ වැඩි ඉල්ලීම මොකක්ද කියලා මම හොයලා බැලුවා. ඒ අතරේ තමයි මට ටිකක් වේග රිද්ම ගීතයක අවශ්‍යතාව ගැන හිතුණේ. ඉතින් අපේ කණ්ඩායම ඒ ගැන කතා වුණා. දිල්ෂාන් එල්. සිල්වා අයියා, ලසිත ජයනෙත්ති අයියා, චාරුක දුෂ්‍යන්ත අයියා එක්වෙලා තමයි මීට පෙර මම ගායනා කළ “ආලේ මල් ඔපදා” ගීතයත් නිර්මාණය කළේ. ඉතින් අපි එකතුවෙලා අලුත් ගීතයත් නිර්මාණය කළා. ඒ අනුව “රඟනා” බිහිවුණා. ඇත්තම කිව්වොත් “රඟනා” ගීතය ඇතුළේ තියන්නේ ප්‍රසංගයක්. මම කරන්න හීන මවාගෙන ඉන්න ප්‍රසංගය “රඟනා” ගීතය ඇතුළේ තියෙනවා.
“රඟනා” ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඒක මාරයි. තාම ගීතය එළිදක්වලා මාසයක්වත් නැහැ. හැබැයි ගීතය මේ වෙද්දි බොහෝ පිරිසක් නරඹලා තියෙනවා. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීතය මම ගායනා කරනවා වුණාට මේ ගීතය වෙනුවෙන් බොහෝ දෙනා මහන්සි වුණා. ගීතයේ පද රචනාවේ සිට රූප රචනාව දක්වා ආපු ගමනේදී බොහෝ දෙනා ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඇත්තටම මේ මගේ තනි සාර්ථකත්වයක් නෙවෙයි. නර්තනයට දෙසීයකට ආසන්න පිරිසක් සම්බන්ධ වුණා. ඒ හැමෝටම මම ස්තූති කරන්න ඕනෑ.
කාංචනාගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?
මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසාන වුණා විතරයි. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ අධ්‍යාපනය ලැබුවා. පෙර පාසලේ ඉඳන් විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය එකදිගට කරගෙන ගිහින් දැන් මට පොඩි විවේකයක් ලැබිලා තියෙනවා. පහුගිය කාලය පුරාවට එකම ධාවනයක්. ඒ ධාවනය කරන අතරේදී මගේ ඇතුළේ කලාකාරියක් හිටියා නම් කුමක් හෝ පිනකට එයාව අවදි කරගන්න පාසල් යන කාලයේදීම මට අවස්ථාව ලැබුණා. මේ කාලය ඇත්තටම මට ලැබුණු විවේක කාලයක් කියලයි මට අද හිතෙන්නෙ. අවුරුදු ගාණක් ජීවිත ගමනේ බාධකවල පැටලිලා සතුට සොයා ගන්නේ කොහොමද කියලා හෙමිහිට ආපු ගමනේදී මම සතුටින් ගත කරන නිදහස් කාලය දැන් කියලයි මට හිතෙන්නෙ. ඒ නිදහස් කාලය මගේ නිර්මාණයකට ලබා දෙන්න මට අවස්ථාව ලැබුණා. “රඟනා” කියන්නේ ඒ නිදහස් කාලයේදී එළිදැක්වූ පළමු නිර්මාණයයි.
මේ හැබෑ වුණේ ඔයා පුංචි කාලේ දැකපු හීනයක්ද?
ඇත්තම කිව්වොත් මේ හීනයක්මත් නෙවෙයි. මම පවුලේ බාලයා. මට අක්කා කෙනෙක් ඉන්නවා. මගේ අක්කා රසායන ඉංජිනේරුවරියක්. දැන් එයා විදෙස් ගතවෙලා ඉන්නෙ. පුංචි කාලේ මගේ හීනය වුණේ පශු වෛද්‍යවරියක් වෙන්න. මම සතුන්ට පුදුමාකාර විදිහට ආදරෙයි. අදටත් ඒ ආදරය එහෙමමයි. කාලය යද්දී, අධ්‍යාපනය ලබද්දී මට හිතෙන විදිහට දහය වසරේදී විතර මට ඉලක්කයක් ඇතිවුණා. ඇත්තම කිව්වොත් ඒක හීනයකටත් වඩා අරමුණක් වුණා. මගේ අම්මයි තාත්තයි අපිට ජීවිතේ කවදාවත් අඩුවක් කරලා නැහැ. හැබැයි දැනෙන වයසට ආවට පස්සේ එයාලා මේ හැම සැප සම්පතක්ම අපිට දෙන්නේ හරිම අමාරුවෙන් කියලා මම තේරුම් ගත්තා. ඒ නිසා ඒ අය වෙනුවෙන් මට තියෙන එකම මාර්ගය අධ්‍යාපනය කියලයි මම තේරුම් ගත්තෙ. ඒ අතරේ තමයි සංගීතය මට ළං වුණේ. මගේ අම්මා තාත්තා මුළු ජීවිත කාලයේදීම සතුටින් තියන්නේ කොහොමද කියන හීනය මට ඇතිවුණා. ඒ හීනයත් එක්ක ඇතිවුණු අරමුණ තමයි සංගීතය ඔස්සේ මගේ ගමන මම හදාගන්නවා කියන අධිෂ්ඨානය.
කාංචනා අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද?
මම පාසල් තුනක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විදුහල වගේම මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. පසුව ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලයේදී මම සමාජශීලී චරිතයක්. හැමෝම එක්ක නිතරම සතුටින් කෑගහලා හිනාවෙලා හිටපු චරිතයක්. අධ්‍යාපන කටයුතුවලට වඩා බාහිර වැඩ කටයුතු කළා. ක්‍රීඩා, බාල දක්ෂ, කලා කටයුතු හැමදේකටම මම සම්බන්ධ වුණා.
කාංචනා සංගීතය පැත්තෙන් ඉදිරියට යනවාට දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
මම සංගීතය කරනවට අම්මාගේ තාත්තාගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. අම්මා තාත්තා අපිට කිසිම දේකට බල කළේ නැහැ. අඩුම තරමින් කිසිම දවසක “පාඩම් කරන්න” කියලවත් කිව්වේ නැහැ. මගේ යාළුවන්ගේ දෙමාපියන් ඒ අයට “පාඩම් කරන්න” කියලා කියද්දි, මට ගෙදරින් ඒක නොකියද්දි මට ඒක ප්‍රශ්නයක් වුණා. මම ඒ ගැන අම්මාගෙන් අහද්දි “අපි ඔයාට පාඩම් කරන්න බල කරන්නේ නැහැ. ඔයා කරගත්තොත් ඒක ඔයාටමයි. ඔයාට ඉගෙන ගන්න ඕනෑය කියලා දැනුණොත් ඔයා ඒක කරන්න” කියලයි අම්මා කිව්වේ. ඒක ඇත්තටම මගේ ජීවිතයට ලැබුණු ගැඹුරු සහයෝගයක්. තරවටු කරලා කරනවාට වඩා අම්මා මට ලොකු පාඩමක් ඒකෙන් ඉගැන්වුවා.
“අකීකරු පෙම් කතාවක්” ඔයාගේ මුල්ම ගීතයයි. ඒ ගීතය නිර්මාණ වුණේ කොහොමද?
රාජ්‍ය සම්මාන උළෙලේදී මට ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය ලබාගන්න පුළුවන් වුණා. ශාන්ති රමණි ඩයස් ගුරුතුමියව ආදරයෙන් මතක් කරනවා. ඒක විවෘත අංශයේ තරගයක්. පාසල් මට්ටමින්, රාජ්‍ය මට්ටමින් ලැබුණු ජයග්‍රහණත් එක්ක විවිධ රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. ඒවායේ ගීත ගායනා කරද්දි මට මගේම ගීතයක් කරන්න ඕනෑ කියලා අදහසක් ආවා. ඔය අතරේදී පසන් ලියනගේ අයියා, තරිඳු ප්‍රියංකර අයියා මට “අකීකරු පෙම් කතාවක්” ගීතයට කතා කළා.
අද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මට මේ ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. හැම තැනින්ම පුදුමාකාර ගෞරවාන්විත ආදරයක් ලැබෙනවා. කලාකරුවෙක් නම් ඒ කෙනාට පණ ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබුණොත් විතරමයි. එහෙම නොවුණොත් පණ නැති හැකියාවක් තියෙන කෙනෙක් වේවි. ඒ ලැබෙන ආදරය නිසයි මම මේ විදිහට ශක්තිමත් වුණේ.
ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවාද?
මගේ ඊළඟට තියෙන බලාපොරොත්තුව තමයි මගේම කියලා ඇල්බම් එකක් එළි දක්වන්න. මගේම පද රචනාවලින් මගේ ආත්මය මේ විශ්වයට මුදා හරින්න මම බලාපොරොත්තු වෙනවා. අද ගෙවන ජීවිතය ගැන ගොඩක් සතුටුයි. මම මේ දේවල් ලැබෙන්න ගොඩක් පින් කරන්න ඇති. මට ලැබෙන මේ හැමදේම ආපිට මේ ලෝකයට දෙන්න මම උත්සාහ කරනවා.
• දිශානි ජයමාලි
