රඟපෑමත් ගෞරවනීය වෘත්තියක් -සචින්තනී කෞෂල්‍යා

gossiplanka image 1
ලංකාවේ සමාජය තුළ ඉහළින්ම පිළිගන්නා වෘත්තියක නියැළෙන ගමන් ඇය රංගනයට දායක වෙන්නේ, ඒ පිළිබඳව ඇති දැඩි කැමැත්ත හා ආදරය නිසාමයි. මීට වසර කිහිපයකට පෙර විකාශය වූ ටෙලි නාට්‍යයකින් එක රැයින් ජනප්‍රියත්වයට පත්වූ ඇය එදා සිට අද දක්වාම තම ජනප්‍රියත්වය එක සේ රැක ගන්නට සමත්ව සිටින්නේ රංගන ශිල්පිනියක් ලෙස වෘත්තීය ගරුත්වයද රැක ගනිමිනුයි. 


මේ දිනවල මා ටෙලි නාට්‍යය හේතුවෙන් වැඩි වශයෙන් කතා බහට ලක්වී සිටින ඇය නමින් සචින්තනී කෞෂල්‍යාය.


මේ දවස්වල වැඩ කටයුතු ගැන කියලම පටන් ගමු?


මේ දවස්වල මගේ ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙනවා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන මා ටෙලි නාට්‍යය සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන රාග ටෙලි නාට්‍යය. ඊට අමතරව පසුගිය කාලයේ සුපෙම් සුළඟක් චිත්‍රපටයට දායක වුණා. ඒක ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම මගේ නීතිඥ වෘත්තියේ වැඩ කටයුතු සහ උසස් පෙළ මීඩියා ක්ලාස් එකේ වැඩ කටයුතු කරගෙන යනවා.


මා ටෙලි නාට්‍යය ගැන ගොඩක් දෙනා කතා වෙනවා, කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මා කියන්නේ ඇත්තටම මම මුලින් බාර ගන්න බැහැ කියපු නිර්මාණයක්. මොකද මම මීට පෙර මවකගේ චරිත කිහිපයක් කරලා තිබුණා. සාමාන්‍යයෙන් ලංකාවේ එක වගේ භූමිකාවක් කළොත් ඒ වගේ ඒවටම කොටු වෙනවා කියලා අදහසක් තියෙන නිසා මුලින් මම ඒක භාර ගන්න මැළි වුණා. නමුත් මට මා නිර්මාණය ගැන විශාල විශ්වාසයක් තිබුණා. මොකද මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණු ”කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ රචකයා වුණු මහේෂ් රත්සර මද්දුම ආරච්චි අයියාම තමයි මා ටෙලි නාට්‍යයත් රචනා කරන්නේ. ඔහු මට කතාව කියලා ඒ ගැන පැහැදිලි කළාට පස්සේ මම ඒ නිර්මාණය භාර ගත්තා. මොකද මට ඔහුට බැහැ කියන්න බැරිකමක් තිබුණා. මුලින් අදිමදි කළත් භාර ගත්තට පස්සේ මම මගේ උපරිම දායකත්වය ලබා දුන්නා. මේ වෙද්දී එහි මගේ චරිතය ගොඩක් මිනිස්සු ආදරයෙන් වැලඳගෙන තියෙනවා. ඇත්තටම ඒක ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව ලැබෙන, ඔවුන්ව අඬවන චරිතයක්. මේ වෙද්දී ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


රාග හි ඔබ නිරූපණය කරන්නේ එයට වඩා වෙනස් චරිතයක්. ඒ ගැනත් කියමු?


ඇත්තටම මම රාග ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ අතර මැදදී, එහි මම රඟදක්වන්නේ දේශපාලනය කරන, සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්ගේ චරිතයක්. ඒකත් හරි ආසාවෙන් භාර ගත්ත චරිතයක්. මම ඇත්තටම එක දිගටම වැඩ භාර අරගෙන කරන කෙනෙක් නෙවෙයි. ඒකත් එක්ක එකිනෙකට වෙනස් චරිත කරන්න තමයි මම උනන්දු වෙන්නේ. රාග කියන්නේත් එහෙම වෙනස් චරිතයක්.


ඔබ රංගනය පමණක් නෙවෙයි, නීතිඥවරියක් හා ගුරුවරියක් ලෙසත් කටයුතු කරනවා, මේ හැමදේම සමබරව කරගෙන යන්නේ කොහොමද?


ටිකක් අමාරුයි ඇත්තටම. කාල කළමනාකරණය කරගන්න එක. ඒ වෙනුවෙන් මහන්සි වෙන එක, වැඩ කරන එක ටිකක් අමාරුයි. වෘත්තීන් කිහිපයක නියැළෙන නිසා විවේකය අඩුයි. නමුත් මේ හැමදේම සමබරව කරගන්න මගේ ගෙදර අයගේ සහාය, මගේ ළඟ ඉන්න අයගේ සහාය ලැබෙනවා. ඒත් එක්කම ඒ හැමදේම කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා.


ඔබට සමාජයෙන් නීතිඥවරියක් ඇයි රඟපාන්නේ කියන ගැටලුව එල්ල වුණේ නැද්ද?


විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ ඉඳලම මට ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා. ඇයි රඟපාන්නේ, මේ තරම් හොඳ වෘත්තීයකට යන්න ඉන්න කෙනෙක් මොකටද රඟපෑම වගේ දෙයක් කරන්නේ කියන ප්‍රශ්නය මගෙන් ගොඩක් අය ඇහුවා. නමුත් රංගනය කියන්නෙත් හොඳ වෘත්තියක්. කිහිප දෙනෙක් කරන දේවල් නිසා සමස්ත වෘත්තියක්ම නරකයි කියන්න බැහැ. රංගනයේ පමණයක් නෙවෙයි අනිත් වෘත්තීන්වලත් හොඳ වගේම නරක මිනිස්සු ඉන්නවා.  ඒත් රංගන ශිල්පීන් ජනප්‍රිය නිසා ඔවුන්ගේ දේවල් ගොඩක් දෙනා අතර ප්‍රචාරය වෙනවා. රඟපානවා කියන්නේත් ගෞරවනීය වෘත්තියක්. අපි දැනගන්න ඕනෑ එහි ගරුත්වය රැක ගන්න. රංගනය තුළත් බොහොම දැන උගත් පිරිසක් ඉන්නවා. ගැටලුව තියෙන්නේ වෘත්තියේ නෙවෙයි. සමාජය ඒ දිහා බලන කෝණයේ.


ඔබේ වෘත්තීය තුළ ඔබට මා තුළ ඔබ රඟ දක්වන චරිතය වැනි සිදුවීම්වලට මුහුණ දුන්, විවාහයක් ඇතුළේ පීඩනයට ලක්වෙන ඕනෑ තරම් කාන්තාවන් හමුවෙලා ඇති?


විවාහයක් තුළ කාන්තාවක් පීඩාවට පත් වෙද්දී සමහර අය ඇයි ඔහොම ඉන්නේ අපි නම් ඉන්නේ නෑ වගේ දේවල් කියද්දී තව පිරිසක් දරුවෝ නිසා එහෙමත් නැත්තම් ආදරය නිසා, අසරණකම නිසා ඉන්නවා වගේ විවිධ අදහස් දක්වනවා. දික්කසාද නීතිය හා සම්බන්ධ නඩුවලදී, නඩත්තු නඩුවලදී, දරුවන්ගේ භාරකාරිත්වය සම්බන්ධ නඩුවලදී මට එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් හමු වෙලා තියෙනවා. නමුත් ඉස්සර පවුල් සංස්ථාව රැකගෙන කොහොමහරි ඉන්න උත්සාහ කළත් මේ වෙද්දී එහෙම නොඉඳ වෙන් වෙන අවස්ථා බහුලයි. ලංකාවේ දික්කසාද නඩු ප්‍රමාණය වැඩි වෙන්න හේතුව ඒක. නමුත් ඉතින් දික්කසාදයට යන අය වගේම, එහෙම නොයා දුක් විඳගෙන ඉන්න පිරිසත් තවම ඉන්නවා. නීතිඥවරියක් විධියට මම කියන දේ තමයි තමන්ට ලැබිලා තියෙන ජීවිතය කවුරු නිසාවත් පීඩාවෙන් ගෙවන්න එපා, වෙන අයව නෙවෙයි තමන්ව සතුටු කරන්න ජීවත් වෙන්න කියන දේ. තමන් රැඳිලා ඉන්නේ සුදුසු නැති, නොගැළපෙන තැනක නම් එතැනින් අයින් වෙලා තමන්ට ලැබිලා තියෙන ජීවිතය විඳින්න කියලා තමයි එවැනි අයට කියන්න තියෙන්නේ.


මෑතක ඉඳලා දේශීය ටෙලි නාට්‍යවලට ප්‍රේක්ෂකයන්ගේ විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා, ඒ ගැන කතා කළොත්?


කාලයක් තිබුණා විදෙස් නිර්මාණවලට විශාල ආකර්ෂණයක් තිබුණා. එතැනින් එහාට ගිහින් ලංකාවේ ඇතුළේ සීමිත කොටස් ගණනකින් සහිත නිර්මාණ හා මෙගා නිර්මාණ දෙකම සාපේක්ෂව බිහිවීම මත ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය මත ඔවුන්ට කැමැති නිර්මාණ තෝරගන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ව ග්‍රහණය කරගන්න හැකිවුණු ප්‍රබලම හේතුව. ඇත්තටම අද වෙද්දී විදෙස් නිර්මාණ බලන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා ඒ නිර්මාණයම මෙහෙට අරගෙන ඇවිත් මෙහේ රූපවාහිනිවල පෙන්නන එක අද වෙද්දී තේරුමක් නැහැ. දිගින් දිගටම ලංකාවේ ඇතුළේ හොඳ නිර්මාණ බිහි වුණොත් අපිට මේ ප්‍රේක්ෂකාගාරය දිගටම රඳවා ගන්න පුළුවන් වේවි.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැන කතා කරමු?


ඉදිරියේදී මූලික වශයෙන් එන්න තියෙන්නේ සුපෙම් සුළඟක් චිත්‍රපටය. ඊට අමතරව තව චිත්‍රපටයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් තියෙනවා. ඒ වගේම කරපු ටෙලි නාට්‍යය දෙකක් එන්න තියෙනවා. ඒ දෙකත් ඉක්මනට විකාශය වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

gossiplanka image 2
Previous Post Next Post