
මම හිතුවටත් වඩා සෑහෙන හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. මේ වෙද්දි ‘රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටයේ දර්ශන වාර බොහෝමයක් හවුස් ෆුල්. ඒකෙන්ම ලැබෙන ප්‍රතිචාරවල තරම හිතාගන්න පුළුවන්.
ක්ලැරන්ස් වගේ දේශීය සංගීත ලෝකයේ පුරාවෘත්තයකට පණ පොවන්න ලැබීම මොන වගේ හැඟීමක්ද?
ලොකු තිගැස්මක් එක්ක තමයි මම චරිතය භාර ගත්තේ. මේකට කලින් ටෙලි ඩ්‍රාමා එකකට විතරයි මම රංගනයෙන් දායක වෙලා තිබුණේ. ඊට පස්සේ මම රංගනයෙන් පොඩ්ඩක් ඈත් වෙලා හිටියේ. ඒත් එක්කම ආපු පළමු සිනමා නිර්මාණයෙන්ම මේ වගේ ලෙජන්ඩ් කෙනෙක්ට පණ පොවන්න ලැබීම ලොකු අභියෝගයක් විධියට තමයි මම සැලකුවේ. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න අධ්‍යක්ෂතුමා, නිෂ්පාදකතුමා ඇතුළු සියල්ලම වගේ මට ලොකු සහායක් ලබා දුන්නා.
ක්ලැරන්ස් වගේ රටක් දන්න කෙනෙක් තිරයේ ජීවමාන කිරීම මොන වගේ අභියෝගයක් වුණාද?
ඇත්තටම මම පෞද්ගලිකව ක්ලැරන්ස්ගේ රසිකයෙක්. එතුමාගේ සංගීතයට අපේ නිවෙසේ හැමෝම වගේ ප්‍රිය කළා. ක්ලැරන්ස් කියන්නේ රටක් ආදරය කරන චරිතයක්. එතැනදී මට තිබුණු ලොකුම අභියෝගය තමයි ඒ ආදරය ඒ විධියටම රැකෙන ආකාරයෙන් ඔහුව ජීවමාන කිරීම. ඒක ලොකු වගකීමක්. මේ චරිතය ලැබුණම මම මුලින්ම ඔළුවට ගත්තේ මේක බොහොම පරිස්සමෙන් කරනවා කියන එක. ‘රිදම් ඔෆ් ගිටාර්’ චිත්‍රපටය ඇතුළේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතය මතු කරන්න, ඒ සංගීතය ගොඩක් ඇසුරු කරන්න තිබුණා. එතැනදී මම මුල ඉඳලම ඒ දේවල් ඔක්කොම පරිස්සමෙන් කරන්න සැලකිලිමත් වුණා.
ඒ කියන්නේ ඔබ රූගත කිරීම්වලට පෙර ක්ලැරස්න් විජේවර්ධනයන්ව අධ්‍යයනය කළාද?
ඔව්. රූගත කිරීම්වලට පෙර එතුමාව අධ්‍යයනය කරන්න මට මාස දෙකක වගේ කාලයක් ලැබුණා. එතැනදී මම තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයා යටතේ මට ලැබිලා තිබුණු කාලයත් එක්ක ඒ අධ්‍යයනයන් සාර්ථකව කළා කියලා හිතනවා. මොකද මම රැකියාවක් කරන ගමන් තමයි මේ දේවල් සිද්ධ කළේ.
තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයාත් සිහිපත් කරමු මේ වෙලාවේ?
ඇත්තටම එතුමාට මාව හඳුන්වා දුන්නේ රුවන් කොස්තා මහත්මයා. ඒ දෙපොළගේ මාර්ගයෙන් තමයි මම තුසිත විජේසිංග නිෂ්පාදකවරයාව හමු වෙන්නේ. ඒ තුන්දෙනාගෙම වෑයමින් තමයි මේ නිර්මාණය සම්පූර්ණ වෙන්නේ. තේජා ඉද්දමල්ගොඩ ගැන සිහිපත් කරද්දි, ඔහු අද ජීවතුන් අතර නැති වුණත් ඔහු පිළිබඳව බොහොම සංවේදී මතකයන් මා සතුව තිබෙනවා. ඔහු මට ගුරුහරුකම් ලබා දුන්නේ මේ නිර්මාණය සම්බන්ධයෙන් පමණක් නොවෙයි. ඔහු මට සිනමාව ඇතුළේ හැසිරෙන්නේ කොහොමද, ඒ තුළ පැවැත්ම ගොඩනඟාගන්නේ කොහොමද මේ සියල්ල කියා දුන්නා. ඔහු අද අපි අතර නැති එක විශාල දුකක්. නමුත් එතුමා මිය යන්න කලින් නිර්මාණය දැක්කා. අවසන් සංස්කරණය නොවුණත් මිය යන්නට කලින් චිත්‍රපටය බලන්න එතුමාට හැකි වුණා. එතුමා අසනීපයෙන් ඉද්දි මම එතුමාව බලන්න ගියා. දුක සැප සොයලා බැලුවා. ඒ හැම වෙලාවකම එතුමා කතා කළේ නිර්මාණය සම්බන්ධයෙන්. ඇත්තටම තේජා ඉද්දමල්ගොඩ කියන්නේ මගේ සිනමා ජීවිතයේ ගුරුවරයෙක්.
ඔබ රංගනයට එක් වෙන්නේ නිරූපණය හරහා, දැන් ඒ කටයුතුවල තත්ත්වය කොහොමද?
මම නිරූපණය ආරම්භ කළේ මීට අවුරුදු 10කට පමණ පෙර වෙළෙඳ දැන්වීමක් හරහා. ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. ඊට පස්සේ 2016දී Mr. Sri Lanka වෙලා 2017 වර්ෂයේ Man of the World තරගයේදි ලංකාව නියෝජනය කරලා අවසන් 15 අතරට තේරී පත් වුණා. නිරූපණ ජීවිතයේ මගේ ගුරුවරුන් විධියට සමීර වීරසිංහ හා බ්‍රයන් කෙර්කෝවන්ව හඳුන්වන්න පුළුවන්. මම අදටත් බ්‍රයන් කෙර්කෝවන් සමඟ නිරූපණ වැඩ කටයුතුවල නිරත වෙනවා. නිරූපණය තමයි මම මේ දේවල් පටන් ගත්ත තැන. මම කවදාවත් නිරූපණය අතහරින්නේ නැහැ.
ඉදිරියේදී දිගටම නිර්මාණයකින් ඔබව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙයිද ?
දැනට නම් මම SLT Mobitel ආයතනයේ රැකියාව කරගෙන යනවා. මේ දවස්වල රිදම් ඔෆ් ද ගිටාර් නිසා ගොඩක්ම කාර්ය බහුලයි. ඒ වගේම මගේ තවත් චිත්‍රපටයක් ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැක ගන්න අවස්ථාව ලැබෙයි. ඒකේ නම Hello from the other side. ඒක විජේන්ද්‍රන් වොට්සන් මහත්මයා නිෂ්පාදනය කළ විනෝශා කිරිවන්දෙනිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයට මේ වෙද්දී ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් කිහිපයක්ම නියෝජනය කරලා ජාත්‍යන්තර ඇගයීම් කිහිපයක්ම ලබා ගන්න හැකි වුණා. ඒක වෙනස්ම වැඩක්. ඉදිරියේදී ඒ නිර්මාණයත් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි. දැනට නම් සිනමාවේ රැඳී ඉන්න අදහසක් තිබෙනවා.
ලංකාවේ සිනමාවේ ඉදිරි ගමන කොහොම වේවිද?
ලංකාවේ දක්ෂකම් පිරි නිර්මාණකරුවන් ඉන්නවා. පහුගිය කාලයේ නිෂ්පාදකයන්ගේ අඩුවක් තිබුණත් දැන් මේ වෙද්දි ඒකත් වෙනස් වෙලා තියෙනවා. මම හිතනවා ඉදිරි වර්ෂවලදී අපේ සිනමාවට ඉතාමත් හොඳ කාලයක් උදා වෙයි කියලා. දැනටමත් මේ අවුරුද්දේ බිහි වුණු නිර්මාණ දැක්කම ඒකම අපේ සිනමා කර්මාන්තයට කොළ එළියක් කියලා කියන්න පුළුවන්.
අපේ සිනමාව තවමත් OTT වේදිකාවන් හරහා ජාත්‍යන්තරය ස්පර්ශ නොකරපු තරම් නේද?
ඇත්තටම අද වෙද්දී ජාත්‍යන්තරයට යන්න පුළුවන් ආකාරයේ නෙට්ෆ්ලික්ස්, ඇමසන් ප්‍රයිම් වගේ OTT ප්ලැට්ෆෝම් විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. මට තේරෙන විධියට තව ටිකක් ප්‍රාග්ධනය දියුණු වෙලා, ශිල්පීය ඥානය යාවත්කාලීන වුණා නම් මේ තත්ත්වය මඟ හැර ගන්න පුළුවන් වෙයි. මට පේන විධියට ගොඩක් දෙනාට මූල්‍යමය අස්ථාවරත්වය නිසා දීර්ඝකාලීනව වෘත්තීය මට්ටමෙන් සිනමාවේ රැඳී සිටිමේ අපහසුතාවක් තිබෙනවා. මමත් වෙනත් වෘත්තියක නියැළෙන ගමන් රංගනයේ යෙදෙන්නේ. නමුත් සිනමාව කර්මාන්තයක් විධියට තවත් ඉදිරියට ඇවිත් මේ තිබෙන ගැටලු මඟ හැර ගන්න පුළුවන් වුණොත් අපිට ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කර ගන්න එක පහසුවක් වේවි. දැන් තිබෙන තත්ත්වය එක්ක බැලුවම අනාගතයේදි සිනමාවේ ගැටලු බොහෝමයක් විසඳේවි කියන සුබවාදී බලාපොරොත්තුව තියෙනවා.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු?
දැනට රිදම් ඔෆ් ද ගිටාර් සහ Hello from the other side චිත්‍රපට දෙක පමණයි මගේ තියෙන්නේ. අලුත් නිර්මාණවලට ආරාධනාවන් කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව හොඳට හිතලා ලැබෙන වෙලාව අනුව හොඳ නිර්මාණයකට දායක වීමේ බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා රංගන සම්බන්ධයෙන් තවදුරටත් හැදෑරීම් සිදු කළ යුතුයි කියලා. මම ඕනෑම දෙයක් හැදෑරීමක් ඇතිව කළ යුතුයි කියලා විශ්වාස කරන කෙනෙක්. නිරූපණය හා දැනට යෙදිලා ඉන්න වෘත්තීය පිළිබඳවත් මම හැදෑරීම් කළා. ඒ අනුව ඉදිරියේදී රංගනය සම්බන්ධයෙන් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ
