කාලයක් මට මරණ තර්ජන තිබුණා… – ශ්‍රීමාල් වෙඩිසිංහ

gossiplanka image 1
ජයන්ත චන්ද්‍රසිරි නමැති දැවැන්ත නිර්මාණකරුවාගේ ‘දේවි කුසුමාසන’ සිනමා නිර්මාණයේ මාධ්‍ය දර්ශනය දවසේ කාලෙකට ඉස්සර ‘දිවයින’ පත්තරයත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු දැවැන්ත චරිතයක් එක්ක පොඩි චැට් එකක් දාන්න හම්බවුණා. ඒ වෙලාවේ තමයි කිව්වේ මගේ තව අලුත් වැඩක් එනවා ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ කියලා. අන්තිමේ අපි ඒ වැඩෙත් බැලුවා. එදත් මට, මම මුලින් කියපු ඒ චරිතය මුණගැසුණා. මෙයා ඒ කාලේ ඇත්තටම මාර චරිතයක්. ත්‍රස්තවාදී සමයේ යුද පුවත් ආවරණය කරන්න ගිහිල්ලා අනූනවයෙන් බේරුණු අවස්ථාත් තියෙනවා. ඔය අතරේ දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක්. දැන්නම් මොහු මේ හැම දෙයකින්ම ටික ටික වගේ ඈත්වෙලා. පුංචි තිරයෙනුයි රිදී තිරයෙනුයි තමයි දකින්න ලැබෙන්නේ. දැන්නම් රංගන ශිල්පියා එහෙමත් නැතිනම් නළුවා කියන වචනය තමයි මෙයාට හරියටම ගැළපෙන්නේ. මම තවම එයාගේ නම ඔයාලට කිව්වේ නැහැනේ. එයා තමයි උදයකාන්ත සිනමාවට හඳුන්වා දුන් ශ්‍රීමාල් වෙඩිසිංහ. ඉතිං මට හිතුණා ශ්‍රීමාල්ගෙ කතාව ඔයාලටත් කියවලා බලන්න ලියන්න ඕනෑ කියලා.


ශ්‍රීමාල් වෙඩිසිංහව මේ දවස්වල අපිට මුණගැසෙනවා ‘රිදම් ඔෆ්ද ගිටාර්’ චිත්‍රපටයේ ශීලාගේ පියාගේ චරිතයෙන්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටයේ මංගල දර්ශනයේදී මගේ අනෙක් පසින් හිටපු ප්‍රේක්‍ෂකයන්ට පවා ශීලාගේ පියා මියයන දර්ශනය දැකලා ඇඬුණා. මෙහි අධ්‍යක්‍ෂ තේජා ඉද්දමල්ගොඩ ලොකු අවදානමක් අරගෙන අලුතෙන්ම හඳුන්වා දෙන චරිත දෙක (ක්ලැරන්ස් සහ ශීලා). ඒ අය තේරුම් අරගෙන රඟපාන එක ඉතාමත් හොඳ දෙයක්. මේ නවක චරිත දෙක ඉතාමත් හොඳ රංගනයක යෙදෙනවා.



ඔබ ක්ලැරන්ස් සහ ශීලාගේ හොඳ මිත්‍රයෙක් කියලත් ආරංචියි?


ඇත්තම මට ලොකු දීර්ඝ සම්බන්ධතාවයක් තිබෙනවා. මම ඉස්කෝලෙ ගියේ ඉසිපතන මහා විද්‍යාලයට. ඒ 1977 වර්ෂයේ. නාවල විජයබා මාවතේ පටන් ගත්ත තැන මගේ ඉස්කෝලේ යාළුවාගේ ගෙදර තමයි ක්ලැරන්ස් සහ ශීලා විජයවර්ධන පදිංචියට ඇවිත් හිටියේ. අපි ඒ කාලේ ක්ලැරන්ස්ගේ සින්දුවලට පිස්සු වැටිල හිටපු කාලයක්. සිංහල පොප් ගීතයේ විප්ලවීය වෙනසක් ඇති කරපු චරිතයක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ.


ඉස්සර අපිට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් කාලේ ළමයින්ට වගේ සෝෂල් මීඩියා, ඉන්ස්ටර් ග්‍රෑම්, යූටියුබ් මොකුත් නැහැ. තිබුණෙත් රූපවාහිනියේ කළු සුදු තිරයේ විකාශනය වෙන ස්වාධීන රූපවාහිනිය විතරයි. ඉතිං ක්ලැරන්ස් අයියා සින්දු හදන වෙලාවට ගිහිල්ලා අපි අහගෙන ඉන්නවා. ගොඩක් සින්දුවල මුල්ම තනුව නිර්මාණය කරන කොට මම හිටියා. මම විතරක් නෙමෙයි, ඊට පසුව රොහාන් වැලිවිට සුසීමා චිත්‍රපටය නිර්මාණය කරන කොට සුසීමාහි ගීත රොහාන් වැලිවිටගේ කිරුලපනේ තිබුණ ෆයින් විෂන් කියන ආයතනයේ තමයි පටිගත කළේ. ක්ලැරන්ස්ගේ ගීතවල ඔරිජිනල් සංගීතය සහ තනුව මුසපත් වුණු ආකාරය හඬ තවමත් අපේ කන්වල රැව් පිළිරැව් දෙනවා. ඒවා අහගෙන ඉන්න කොට ශීලා අක්කා තමයි අපිට තේ හදලා ගෙනත් දෙන්නේ.


අපේ පන්තියේ හිටපු යාළුවෝ තුන් දෙනෙක් එකතුවෙලා “නිර්මාණ” කියලා ප්‍රථම එළිමහන් ප්‍රසංගය වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ පාරේ ශාලාවේ සංවිධානය කළේ අපි. ඒකේ සමරු පොතේ පිට කවරය පවා ඇන්දේ මම. මොකද මට චිත්‍ර ශිල්පියකුගේ පැත්තකුත් තියෙනවානෙ. අනික මම ලේඅවුට් ආර්ටිස් කෙනෙක්නේ. දැන් කොම්පියුටර්වලින් කරන ඒවා ඉස්සර අපි අතින් කළේ. ඒ වගේ ඉතිහාසයක් දැන් අලුත් කට්ටියට දැක බලා ගන්නවත් හම්බවෙන්නේ නෑ. ඒ කාලෙම තමයි මාලනී ෆොන්සේකා, සනත් ගුණතිලක, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වගේ අය ඇසුරු කරන්න හම්බ වුණේ. ඒ හින්දම මම ලොකු පන්නරයක් ලැබුවා. සමහර වෙලාවට ඉස්කෝලේ ඇරුණු ගමන් යන්නේ විජය මහත්තයාගේ තලකොටුව වත්තේ ගෙදරට. ඉස්සර මම සංගීත පිස්සෙක්.


ඔය අතරේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂවරයාගේ දේවි කුසුමාසන සිනමා නිර්මාණයෙනුත් ඔබව දකින්න ලැබෙනවා. ඒ ගැනත් කතා කළොත්?


මම, දේවි කුසුමාසන සිනමා නිර්මාණය හරහා පළමු වතාවට තමයි ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ. ඒ චරිතය මඳක් මා රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. මම රඟපෑවේ පෘතුගීසි කාලේ නඩුකාරයාගේ චරිතය. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට ඕනෑවෙලා තිබුණෙත් ඒ දර්ශනයට මාවම ගන්න.


ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂවරයා සමග ඔබට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා නේද?


ඔව්. ඔව්. මොකද මම කාලයක් ‘දිවයින’ පත්තරේ දැන්වීම් අංශයේ වැඩ කරද්දී එතකොට ජයන්ත චන්ද්‍රසිරි පත්තරේ වැඩ. ඔය නාරදලා, ජනක රත්නායකලා අපි ඔක්කොමලා එකට හිටියේ. නමුත් මට කවරදාකවත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඓතිහාසික කතා වස්තූන් පිළිබඳ ඉතාමත් මනාවට ඒක රූපකාව්‍යයක් විදිහට අරගෙන එන්න පුළුවන් එකම අධ්‍යක්‍ෂවරයා මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා විතරයි. ජයන්ත ළඟ තියෙනවා ඉතිහාසය පිළිබඳව වාග් දැනුමක්. ඒවා ඇත්තටම බොරුවට ආරෝප කරගත්තු දේවල් නෙමෙයි. ඔහු පුදුම විදිහට පර්යේෂණ සිදු කරන අධ්‍යක්‍ෂවරයෙක්. ජයන්තගේ ටෙලි නාට්‍යයක්, පර්යේෂණ ග්‍රන්ථයක්, දේවි කුසුමාසන කියන්නෙත් එවැනි නිර්මාණයක්. ජයන්තගේ චිත්‍රපටයක ලොකු නළුවකුට වුණත් එක සීන් එක ඇති හොඳම ස්කෝර් කරන්න.


ශ්‍රීමාල් වෙඩිසිංහ කියන්නේ දක්‍ෂ මාධ්‍යවේදියෙක්. නිවේදකයෙක්. නිෂ්පාදකවරයෙක්.


ඒ ගැනත් යමක් පැවැසුවොත්?


1982 තමයි මම ජාතික රූපවාහිනි සංස්ථාවට බැඳෙන්නේ, පුහුණුවන නිෂ්පාදකවරයෙක් හැටියට. ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ ළමා අංශයට බැඳෙන්නේ. නමුත් මට එහි වැඩි කාලයක් රැඳෙන්න හම්බවුණේ නැහැ. ඇත්තටම මගේ වැඩි කැමැත්තක් තිබුණේ ගවේෂණාත්මක මාධ්‍යකරණයට. ඒත් එක්කම තමයි මම ප්‍රවෘත්ති අංශයට බැඳුණේ. එතැනදී තමයි මගේ ජීවිතය වෙනස් වෙන්නේ.


එතකොට ගමන පටන් ගන්නේ මාධ්‍යවේදියෙක් හැටියට?


ඔව්. මාධ්‍යවේදියෙක් හැටියට. මම අදටත් කැමැති මාව නළුවෙක් විදිහට හඳුන්වනවාට වැඩිය මාව පත්තරකාරයා කියලා හඳුන්වනවාට. ඒකේ හරි බරක් තියෙනවා. මම නළුවෙක් වුණෙත් හරි අහම්බයකින්නෙ.


ඔබ කාලයක් යුද පුවත් වාර්තාකරුවෙක් විදිහටත් වැඩ කළා නේද?


පදවි සහ සිරිපුර, කෙන්ට් සහ ඩොලරි කියන ජනපද දෙක. මේ ජනපද දෙක කුරිරු ත්‍රස්තවාදීන් විසින් සමූල ඝාතනයක් සිදු කළා. මෙය ආවරණය කිරීමට මම ඇතුළු පිරිසක් ගියා. මගෙත් එක්ක ලසන්ත වික්‍රමතුංග එහෙමත් ගියා. එයා ගියේ පත්තරෙත් ආවරණය කිරීමට. මම ගියේ ජාතික රූපවාහිනියෙන්. මේක අපේ පළමු අත්දැකීම. මීට කලින් අපි මේ වගේ දෙයකට මුහුණ දුන්නේ නැහැ.


අපි ගිය හෙලිකොප්ටරයට කෙන්ට් ජනපදය උඩදී ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කරලා බිමට පතිත කළා. එතැන ඉඳලා අපිට ගුවනින් යනන් බැරි වුණා. එදා රාත්‍රියේ මහ සුළඟකුත් එක්ක වැස්සකුත් තිබුණා. රැකියාව කරන ගමන් තමයි අපි මේ සිද්ධිය ආවරණය කරන්න ගියේ.


ඉතිං මට යුද හමුදාවේ කට්ටිය අණ කළා මගේ සුදු කමිසය ගලවන්න කියලා. මොකද නැතිනම් ත්‍රස්තවාදීන්ට ඒක ඉලක්කයක් වෙන්න පුළුවන්නේ. දවස් තුනක් කෙන්ට් සහ ඩොලරි කියන ජනපදවල ෂර්ට් එකක් නැතිවයි හිටියේ. එතැනදී තමයි ත්‍රස්තවාදීන් අපිව වෙඩි වරුසාවකින් නැහැව්වේ. අන්තිමේ අපි කිලෝමීටර් 32ක් පයින් ගියා. මේ සිද්ධිය වාර්තා කරලා නිරුපද්‍රිතව ගෙදර ආවේ අනුරාධපුර කෑම්ප් එකෙන් හෙලිකොප්ටරයක නැඟලා. අපි මේක වාර්තා කළාට පස්සේ ලෝකයේම අවධානය යොමු වුණා, මේ ත්‍රස්තවාදී කණ්ඩායම ගැන. අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්නේ.


ඒ කාලේ මෙවන් සිද්ධි රැසකට මුහුණ දෙන්න ඇතිනේ?


අපොයි ඔව්. මම එවකට ලලිත් ඇතුලත්මුදලි මහත්තයාගේ ජාතික ආරක්‍ෂාව භාර අමාත්‍යාංශයේ පුවත් තමයි ආවරණය සිදු කළේ. ලලිත් ඇතුලත්මුදලි මහත්මයා සහභාගි වෙන හැම වැඩක්ම ආවරණය කරන්න ගියේ මමයි, රිචඩ් ද සොයිසයි, වරුණ කරුණාතිලකයි.


රිචඩ් ද සොයිසා ඔබේ හොඳ මිත්‍රයෙක්?


අනිවාර්යයෙන්ම. ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් පස්සේ හැම තිස්සේම අපි දෙන්නා යනවා ලයනල් වෙන්ඩ්ට් එකට. එතැන සුනිල් සිරිනායක හිටියා. වරුණ කරුණාතිලකත් හිටියා. අපි ගිහිල්ලා චැට් දදා ඉන්නවා. ඉතින් අපි සාහිත්‍ය සිනමාව ගැන තමයි කතා බහ කරන්නේ. රිචඩ් තමයි ඒකාලේ ලංකාවේ හිටපු හොඳම ඉංග්‍රීසි නිවේදකයා.


වසර කීයක් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැළුණාද?


1982 ඉඳලා තමයි ප්‍රවෘත්ති වාර්තාකරණයට යොමු වුණේ. 1990 වෙනකම්ම ප්‍රවෘත්තිකරණයේ තමයි හිටියේ. කාලයක් මට හොඳටම මරණ තර්ජන පවා තිබුණා. ගෙදරට ඇවිත් අරගෙන ගිහිල්ලා බොහොම අමාරුවෙන් බේරිලා ආපු අවස්ථා තිබුණා. තවම මට දේශපාලන පක්‍ෂයක් නැහැ. මැතිවරණයක් එනකොට ඡන්දය දවසේ උදේට තමයි මම කාටද ඡන්දය දාන්නේ කියලා තීරණය කරන්නේ. මම ඒ කාලේ කළෙත් රස්සාවක්.


පසුකාලීනව මාධ්‍ය රස්සාවෙන් ඉවත් වුණාද?


ඉවත් වුණේ නැහැ. මම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියානු සමාගමක සිනමා කියලා දමිළ වැඩසටහනක් කළා. එහේ ඉන්න අතරතුරේදී මට ආරාධනාවක් ලැබුණා, ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ ස්වර්ණවාහිනි ආයතනයේ අධ්‍යක්‍ෂ වැඩසටහන් ලෙස. ඒ ආරාධනාව මම පසුව භාරගත්තා. අන්තිමේ මම ඒ රස්සාවෙන් ඉවත් වුණා.


ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම සෑහෙන පුවත්පත්, සඟරා හැදුවා. සත් නද කියලා ජාතික ඉරිදා පුවත්පතක කතුවරයෙක් විදිහටත් හිටියා. ඒක ඒ කාලේ මුද්‍රණය කළේ ‘දිවයින’ පුවත්පතයි. මුද්‍රණ ආයතනයේ සිනෙසර කියලා සිනමා පත්තරයක් කළා.


එතකොට රඟපාන්න ආවේ?


ඔය අතරේ තමයි උදයකාන්ත කතා කළේ චිත්‍රපටයක චරිතයක් තිබෙනවා කියලා. මම ඒ වෙලාවේ හිනාවුණා. මොකද මම ජාතික රූපවාහිනියේ ඉන්න කාලේ ගොඩක් රඟපාන්න අවස්ථාව තිබුණා. මොකද මම ළඟින්ම ඇසුරු කළේ යූ. ආරියමල්, බන්දුල ගුණවර්ධන, ධම්ම ජාගොඩ මහත්තයා වගේ අයව. මට රඟපාන්න ආසාවක් තිබුණා නම් ඒ ගොල්ලන්ගෙන් චරිත ඉල්ලාගන්න තිබුණා. හැබැයි මම එහෙම කළේ නැහැ. මොකද මට රඟපෑම පිළිබඳව කැමැත්තක් තිබුණේ නැහැ.


අන්තිමේ උදයකාන්ත වර්ණකුලසූරිය කතා කරල චරිතයක් දීලා එතැනින් ආපු එක තමයි මගේ ජීවිතයට ලොකු අස්වැසිල්ලක් රුකුලක් වුණේ. මගේ පළමු චිත්‍රපටය වුණු ‘දිය යට ගින්දර’ චිත්‍රපටයේ රඟපාල ජනාධිපති සම්මානයක් පවා මට හිමිවුණා.


ඊට පස්සේ මාලනී ෆොන්සේකාගේ ටෙලි නාට්‍යවලට ලකී ඩයස්ගෙන් ආරාධනාවක් ලැබුණේ. එතැන ඉඳලා මේ දක්වාම නොනවත්වාම රඟපාගෙන යනවා. නමුත් තවමත් මට සියයට සියයක ආත්ම තෘප්තියක් ලැබිලා නැහැ. මොකද මගෙන් තවම ගොඩක් දුරට කවුරුවත් වැඩ අරගෙන නැහැ කියලයි මට හිතෙන්නේ.


චිත්‍ර ඇඳීමේ හැකියාවට මොකද වුණේ?


ඒ හැකියාව තියෙනවා. මම මොඩර්න් ආර්ට් කරනවා. සමහර වේලාවට මගේ ගෙදරත් තියෙන්නේ මම ඇඳපු මොඩර්න් ආර්ට්. දැන් ඉතිං වෙලාවක් නැහැනේ. ඔබත් එක්ක මේ කතාබහ කරන දවසට පසුවදා කැකිරාවේ යනවා දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා. අනික චිත්‍රයක් අඳින්නත් හොඳ නිදහස් මනසක් තියෙන්නත් එපායැ.


පත්තර රස්සාවෙනුත් ඈත් වුණාද?


දේශපාලන වාර්තාකරුවෙක් වෙලා ඉඳලා නොයෙකුත් ප්‍රශ්න ආවා. චින්තන ජයසේන එක්ක එකතු වෙලා ආරම්භ කරපු තොප්පිය කියන කොලම පත්තරේ කර්තෘ වෙලා හිටියා. කොහෙම හරි කලකිරිලා පත්තර රස්සාවෙනුත් ඉවත් වුණා. ඉස්සර නම් මම හරි දරදඬු මනුස්සයෙක්. කැබිනට් ඇමැතිවරුන් එක්කත් රණ්ඩු කරගෙන තියෙනවා. ඒ අනුව ජාතික රූපවාහිනියේ මුලින්ම සේවය අත්හිටුවපු සේවකයත් මම. ඉතිං ඔන්න ඕක තමයි මගේ කතාන්දරේ.


දිනේෂ් විතාන

gossiplanka image 2
Previous Post Next Post