
මේ දවස් ගෙවෙන්නෙ කෙසේද?
මේ දවස්වල මගේ නවතම ගීතය වන මායාවී ගීතය නිකුත් වුණා. ඉතින් මායාවී සමඟ මේ දිනවල කාලය ගත වෙනවා.
ඔබේ නවතම ගීතය මායාවී ගැන කතා කරමු?
මායාවී ගීතය මම නිර්මාණය කළේ අපේ රටේ සිටින නවක පරපුර වෙනුවෙන්. මගේ ගීත හැමෝම ආදරයෙන් වැලඳ ගත්තා. නමුත් අපි හැමදාම ඒකාකාරී ගීත නිර්මාණය කරලා හරි යන්නේ නැහැ. අලුත් පරපුරේ තරුණ තරුණියන්ගේ රහට ගීත අපි අතින් නිර්මාණය නොවුණොත් ඔවුන් අපිව හඳුනන්නේ නැහැ. ජෙන් එසෙඩ් එක වෙනුවෙන්ම තමයි මායාවී නිර්මාණය වුණේ.
මායාවී රූප රචනාව ඉතා වෙනස් ආකාරයේ එකක්. ඒ ගැන කතා කරමු?
අලුත් පරපුර මියුසික් වීඩියෝස් ගැන මාරම අප්ඩේටඩ්. ඔවුන් ඒවායේ තිබෙන කලර් ප්ලේට් එක පවා දන්නවා. අපි නිර්මාණයක් කරන විට මේ සෑම දෙය ගැනම සිතන්න ඕන. ඉතින් මේ අලුත් පරපුරට රසවිඳින්න පුළුවන් ආකාරයේ මියුසික් වීඩියෝවක් තමයි මම මායාවී ගීතය වෙනුවෙන් නිර්මාණය කළේ.
ඇෆ්රෝ කියන මියුසික් ශානරය ගැන කතා කරමු?
ඇෆ්රෝ මියුසික් තමයි මේ ගීතයේ සංගීත ශානරය වෙන්නේ. ඒ සංගීත ශානරය ලංකාවට අලුත් ශානරයක්. නිදසුනක් ලෙස ආස කූඩ ගීතය ගන්නකෝ. ඒ ගීතය ලෝක මට්ටමෙන් හිට් වුණේ ඒ ගීතයට ඇෆ්රෝ කියන ශානරය යොදා ගත් නිසා. ඒ ශානරය තුළ තිබෙන්නේ වෙනත් රසයක්. ඒ වගේම වෙනත් පැහැයක්. මේ තුළ යොදා ගත්ත ටෝන්ස් පවා වෙනස්. මම මේ ගීතයට ඇෆ්රෝ මියුසික් වගේම ශාස්ත්‍රීය සංගීතයත් මුසු කළා. මේ වගේ අලුත් ශානරයන් අපේ රටට ගේන්න ඕන. ලෝකය ඉදිරියට ගලාගෙන යන විධියට අපිත් යන්න ඕන.
ඔබගේ නිර්මාණ ටික් ටොක් සඳහා යොදා ගැනීම ගැන ඔබේ අදහස
මම නිර්මාණය කළ හදවතේ, සංසාරිකා වැනි ගීත දැන් ටික් ටොක්වල යනවා. මම සිතන්නේ ඔවුන් අපේ ගීතවලට කැමැතියි. අපිත් පැරැණි ගායකයන්ගේ ගීත ගායනා කරන්න කැමැතියි වගේ ඔවුනුත් අපේ ගීතවලට කැමැතියි. ඔවුන් අපේ පැරැණි ගීතවලට ආදරය කරනවා වගේම ඔවුන් සඳහා අපි නිර්මාණය කළ ගීතවලටත් ආදරය කරනවා නම් අපි කැමැතියි.
අලුත් කලාව ගැන කියමු?
මේ කන්සෙප්ට් එක ලංකාවේ ලොකු වෙනසක් කරනවා. ලංකාවේ අපේ පරපුරේ ගීත ඇහෙන්නෙ නැති ලොකු අඩුවක් තිබුණා. අපේ පරපුරේ සෑම ගීතයක්ම වගේ ගායනා කරන කොන්සට්ටුව තමයි අලුත් කලාවක් කියන්නේ. මේක ලොකු වෙනසක්. මේක සාර්ථක වෙයි කියලා මම සිතනවා.
අපි රොමේෂ් සුගතපාලව දන්නේ ගායකයෙක් වශයෙන්. නමුත් ඔබ ඉතා විශිෂ්ට සංගීතඥයෙක්. මේ ගැන කතා කරමු?
මේ කතාව උඩට ආවේ එක්තරා කතාබහකදී. මම රෝස පෙති අතුරාලා ගීතය නිර්මාණය කළා කියන එක සමහර අය දන්නෙත් නැහැ. ළං වෙලා හිම සීතේ, ගිම්හාන කාලේ, දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගායකයන්ගේ ගීත වගේ ගොඩක් ගීත නිර්මාණය කළේ මම. ඒ වගේම මම වෙළෙඳ දැන්වීම්වලටත් ගොඩක් ගීත නිර්මාණය කළා. මම මේ දේවල් හැදුවේ සංගීතඥයෙක් වෙන්න තිබෙන ආසාවට. නමුත් මම ගායකයෙක් වුණා. ඉතින් මොනවා කරන්නද?
ලාංකේය සංගීත ක්ෂේත්රය උඩුයටිකුරු කළ පරපුරක පුරුකක්. අලුත් පරපුර ගැන මොකද සිතෙන්නේ
අලුත් පරපුර ඇත්තටම හොඳයි. ඔවුන් ඉදිරියට යන්න ඕන. අලුත් පරපුර අපිත් එක්ක හැප්පෙන එක ඇත්තටම මරු. ඔවුන් සමඟ එකට හිට ගන්න මම ඉතා කැමැතියි. ඔවුන් ගැන මට ගොඩක් සතුටුයි. ලංකාවේ අලුත් පරපුර ඉතා සාර්ථක පරපුරක් කියලා මම සිතනවා.
මල් සින්දු කලාව ඔබේ දිගු දෑස ගීතයෙන් ආරම්භ වුණු බව වරෙක මනුරංග කියනවා. මේ ගැන ඔබේ අදහස?
දිගු දෑසට මල් සින්දු කලාව කියන එක නම් සම්පූර්ණයෙන්ම වැරැදියි. මම කතා කළේ එක්තරා හැඟීමක් ගැන. ඒක මලක් නෙවෙයි. දෙහි මල්, ඇපල් මල් ගැන ගීත ලියැවුණු මල් කලාව ඊට පෙරත් තිබුණා. අපි ඉස්කෝලේ යන කාලේ ඔය වගේ මල් ගැන ගොඩක් ගීත තිබුණා. ඔහු එය කියන්න ඇත්තේ වෙනත් අරුතකින්. මම ගායකයෙක් විධියට මිනිසුන්ගේ වේදනාව විරහව ගැන කතා කරන්න එපැයි. මිනිස්සුන්ගේ ජීවිතයේ පැය 24න් විශාල කාලයක් වෙන් වෙන්නේ වේදනාව වෙනුවෙන්. සතුට තිබෙන්නෙ ඉතා කුඩා කාලයයි. ඉතින් ඒ වේදනාව ගැන මම ගීතයක් කළා. එය ගොඩක් දෙනෙක් ආදරයෙන් වැලඳගත්තා.
නැවතුම ගැන කතා කරමු?
මේ කොන්සට්ටුව පැවැත්වෙන්නේ අගෝස්තු 9 වැනිදා. එය පැවැත් වෙන්නේ ආර්කේඩ් එකේදී. එහිදී කීර්ති පැස්කුවල්, දීපිකා ප්‍රියදර්ශනී සමඟ මම ගීත ගායනා කරනවා. ඒක වෙනස් වයිබ් එකක වැඩක්. ඉතින් සැමටම අපි සමඟ එක්වෙන්න කියලා මම ආරාධනා කරනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
මම මේ දවස්වල අලුත් ගීතයක් නිර්මාණය කළා. මම වර්තමාන සංගීතය සහ අතීත සංගීතය මුසු කරලා අලුත් ගීතයක් නිර්මණය කළා. ඒ ගීතය ආදරණීය රසිකයන්ට ඉක්මනින්ම විඳගන්න ලැබේවි.
