
මේ වනවිට 38 වැනි වියෙහි පසුවන රයිනා රඟපෑමට නියමිතව ඇති චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක් බවයි සඳහන් වන්නේ. නමුත් තවමත් එයට නමක් තබා නැති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. දැනට තාවකාලික වශයෙන් එය Production No.1 යනුවෙන් නම් කර තිබෙන බව පැවසෙනවා.
දෙමළ චිත්‍රපටයක් සඳහා රයිනා තෝරා ගැනීම පිටුපස විශේෂ හේතුවක් තිබෙනවා. ඔහු දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වන තමිල්නාඩු ප්‍රාන්තය තුළ ඉතා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ. එයට ප්‍රධාන හේතුව ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉතා දිගු කලක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීම යි. ඔහු සීසන්ස් 15 ක්ම එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. රයිනා කලක් එම කණ්ඩායමේ උප නායකකමත් දැරුවා. (නායකත්වය දැරුවේ එම්. එස්. දෝනි).
තමිල්නාඩුවේ චෙන්නායි සුපර් කිංග්ස් ලෝලීන් රයිනාට ආදරයට කියන්නේ ‘චින්න තලා’ කියල යි. එහි තේරුම උප නායකයා යන්න යි.
රයිනා රඟපාන චිත්‍රපටයේ කතාව ගැනත් තවම වැඩි විස්තරයක් ප්‍රකාශයට පත් වී නැහැ. නමුත් එය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කතාවක් රැගත් සිනමාපටයක් බව සඳහන් වෙනවා. රයිනා රඟපාන්නේත් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ චරිතයක් බවයි පෙනෙන්නේ.
මෙම චිත්‍රපටය නිශ්පාදනය කරන සමාගම පසුගිය දිනෙක ඊට අදාළ විඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එය රයිනා ගේ සිනමා ආගමනය නිවේදනය කරන විඩියෝවක් ලෙසයි හැඳින්විය හැක්කේ. රයිනා ක්‍රිකට් පිටියකට අවතීර්ණ වන ආකාරයත්, විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඔහු වෙනුවෙන් ඔල්වරසන් දෙන ආකාරයත් එහි දැක්වෙනවා. මෙම චිත්‍රපටයට රයිනාව සාදරයෙන් පිළිගන්නා බවත් නිෂ්පාදන සමාගම එහි සඳහන් කර තිබෙනවා.
චිත්‍රපටයේ රූපගත කිරීම් තවම ආරම්භ වී නැහැ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ රයිනාගේ රූපගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ වනු ඇති බව යි. ඇතැම් විට එම්. එස්. දෝනි මෙහි කෙටි චරිතයක් සඳහා පෙනී සිටින්නට ඉඩ ඇති බවකුත් මාධ්‍ය වාර්තා කර තිබුණා.
රයිනා ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේ 2005 - 2018 අතර කාලයේ යි. එක්දින තරගවල සහ විස්සයි විස්ස තරගවල ඔහු විශේෂ දස්කම් දැක්වීමට සමත් වුණා. ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස යන තරග මාදිලි තුනේම ශතක රැස් කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොතට එක්ව සිටිනවා. රයිනා මෙම වාර්තාව පිහිටුවූයේ 2010 වසරේ දකුණු අප්‍රිකාව සමග පැවැති විස්සයි විස්ස තරගයක දී නොදැවී ලකුණු 101 ක් රැස් කරමින්. ඊට කලින් ඔහු ටෙස්ට් සහ එක්දින තරගවල දී ශතක රැස් කර තිබුණා. දකුණු අප්‍රිකාව සමග පැවැති ඉහත කී තරගය ලෝක කුසලාන තරගයක් වීමත් විශේෂත්වයක්.
ඉන්දියාවේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුම චිත්‍රපටවල රඟපා තිබෙනවා.
බොහෝ කාලයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණු සුනිල් ගවස්කාර් වැනි ක්‍රීඩකයනුත් ඒ අතර සිටිනවා. ගවස්කාර් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපා ඇති බවයි සඳහන් වන්නේ. ඔහු මෙම චරිතය රඟපා තිබුණේ ‘‘සව්ලි ප්‍රේමාචි” නමැති චිත්‍රපටයක යි. 1980 වසරේ ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටය එතරම් සාර්ථක වී තිබුණේ නැහැ.
ඉන්දියාවේ තවත් සුප්‍රකට ක්‍රිකට් නායකයකු වූ කපිල් දේව් ද චිත්‍රපටවල රඟපා තිබෙනවා. නමුත් කපිල් බොහෝ චිත්‍රපටවල රඟපෑවේ කෙටි චරිත. චේන් කුලි කි මේන් කුලි, 83, ලාල් සලාම් යනු කපිල් රඟපෑ චිත්‍රපට කිහිපයක්.
දක්ෂ පන්දු යවන්නකු වූ හර්බජන් සිං ද චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ඒ 2021 වසරේ තිරගත වූ Friendship නමැති චිත්‍රපටයේ යි. ඊට අමතරව තවත් චිත්‍රපට කිහිපයකම හර්බජන් කෙටි චරිත රඟපා තිබෙනවා.
චිත්‍රපටවලට සම්බන්ධ වූ තවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු තමයි ඉර්ෆාන් පතාන්. 2022 වසරේ තිරගත වූ Cobra නමැති චිත්‍රපටයේ ඔහු සැලකිය යුතු චරිතයක් නිරූපණය කළා. යූසුෆ් පතාන්, ෂිකාර් ධවාන්, යුව්රාජ් සිං සිනමාවට සම්බන්ධ වූ තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්.
