
කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතය හරියට ගංගාවක් වගේ ගලාගෙන යනවා. සමහර වෙලාවට රළු පරළු මැදින් අසීරුවෙන් ගලාගෙන යනවා. සමහර වෙලාවට හරි ලස්සනට සැහැල්ලුවෙන් ගලාගෙන යනවා. කොහොම වුණත් මම මගේ පවුලෙ අයත් එක්ක හරිම සතුටින් කාලය ගත කරනවා.
අපි පොඩ්ඩක් මතක් කරමුද කලාවට අවතීර්ණ වූ හැටි?
මම කලාවට පිවිසෙන්නේ ජාතික රූපවාහිනිය හරහා 2011 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය කිරුළ පැලඳීමත් එක්ක තමයි මට කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න වාසනාව ලැබෙන්නේ.
ඔබ වෘත්තියෙන් ගුරුවරියක් නේද?
ඔව්. මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වෙන්නෙත් 2011 වර්ෂයේදීමයි. නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරිනියක් විදිහට ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට මුල් ගුරු පත්වීම ලබන්නේ. ඊළඟට අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේත් ඒවගේම වර්තමානයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් විදිහට සේවය කරනවා.
ගුරු වෘත්තිය නිසා කලා නිර්මාණ මඟ හැරෙනවද?
ඇත්තෙන්ම ගොඩක් වෙලාවට මඟ හැරෙනවා වගේම මඟහරින අවස්ථා තියෙනවා. ගුරුවරියක් විදිහට සමහර චරිත තෝර ගනිද්දී එකපාරක් දෙපාරක් නෙමෙයි සිය පාරක් විතර මට හිතන්න සිද්ධ වෙනවා. ඒ වගේම කලා කටයුතු නිසා මගේ වෘත්තීය ජීවිතයේ වගකීම මඟහැරෙන්න නොදී වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට සමහර නිර්මාණවලට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ කාලේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
මේ දිනවල නම් වැඩිපුරම මාව දකින්න ලැබෙන්නේ වෙෙළඳ දැන්වීම් හරහා. මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැති තරම්. පසුගිය දිනවල තිරගත වුණ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ යමුනා ටීචර්ගෙ චරිතයත්, ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ සුලක්ඛනා දේවියගේ චරිතයත් යන චරිත වලින් රංගනයෙන් දායක වුණා.
සිනමාවෙන් ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
මම මුලින්ම රංගනයෙන් දායක වුණේ ජෙගන් සුභ්‍රමනියම් අධ්‍යක්ෂණය කළ‘ඉරානි‘ දමිළ සිනමා නිර්මාණයට එය ඉන්දියාවේ තිරගත වුණා. ලංකාවේ එහි සිංහල නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒවගේම තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ චිත්‍රපටය සහ සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ‘වයිෆ්‘ සිනමා නිර්මාණ හරහා ඉදිරියේදී මාව දකින්න පුළුවන්.
ගුරු වෘත්තිය නිසා චරිත තෝරාගැනීමේ දී පරිස්සම් විය යුතුයි නේද?
ඔව්. මම ගුරුවරියක් වගේම දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ නිසා කොහොමත් මම චරිතයක් තෝරගන්නකොට ගොඩක් හිතනවා.
පුංචි තිරයට එන්න කැමැත්තක් නැද්ද?
කැමැත්තක් තිබුණත් මගේ පවුලේ කටයුතු සහ වෘත්තීය ජීවිතයේ කළමනාකරණය කරගන්න තියෙන අපහසුව නිසා පුංචි තිරයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නවා. මුතු පිහාටු, රුවන්මාලිගා, අහිමි සහ ළංවී කියන ටෙලිනාට්‍ය හරහා මම පුංචි තිරයට සම්බන්ධ වෙලා කටයුතු කළා. අනික මම ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි අපි හැමතිස්සෙම නිර්මාණවල ඉන්නකොට හැමතිස්සෙම දකින්න ලැබෙනකොට අපේ අගය අඩුවෙනවා. ඒ නිසා තමයි මම රිදී තිරය තෝරගන්න තීරණය කළේ.
පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවද?
මගේ සැමියා ගිහාන් ඉෂාන්ත. එයා ව්‍යාපාරිකයෙක්. එයා මාව තේරුම්ගැනීම සහ මගේ කැමැත්තට ඉඩදීම තමයි මට ගොඩක්ම වටින්නේ. කලා කටයුතුවලට සහ මගේ වෘත්තීය ජීවිතයේ සියලුම දේවල්වලට එයාගෙන් ලැබෙන්නේ වචනවලින් සහයෝගයක්. ඒ වචන මාව ගොඩක් ශක්තිමත් කරනවා. ඒවගේම මගේ තාත්තා මාත් එක්ක ජීවත් වෙන්නේ. ඔහු විශ්‍රාමික ගුරුවරයෙක්. මම ගෙදර නැති වෙලාවට මගේ දරුවන්ගේ සියලුම වගකීම් භාර අරගෙන තියෙන්නේ මගේ තාත්තා. ඇත්තෙන්ම තාත්තා මගේ ළඟ නොහිටියා නම් මට මේ ගමන යන්න අපහසුයි. සැමියා ගොඩක් කාර්යබහුල නිසා සමහර විට මගේ වෘත්තියටත් සමුදෙන්න වේවි. දුවෙකුට තාත්තා කෙනෙක් කියන්නේ මහා වෘක්ෂයක් මටත් ඒ වෘක්ෂයේ සෙවණ හොඳටම දැනෙනවා. මගේ අම්මා වෘත්තියෙන් හෙදියක්. ඇයත් හැම වෙලාවෙදිම මගේ වැඩ කටයුතුවලට සහාය වෙනවා. මගේ පවුලේ අයියා කෙනෙක් අක්කල දෙන්නෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා.දරුවො පස් දෙනෙකුගෙන් යුතු පවුලක හතරවෙනියා මම.
මෙතෙක් ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
ඇත්තෙන්ම ඔව්. ඉරානි චිත්‍රපටය හරහා දකුණු ඉන්දියානු සුප්‍රකට නළු රාජ් කුමාර් සමඟ ප්‍රධාන චරිතයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ සුලක්ඛනා දේවියගේ චරිතය මට හිමි වුණා. මේ දිනවල ලංකාවෙ රූගත කරන හන්සාල් මේතා අධ්‍යක්ෂණය කරන ස්ටෙප්ස්සන් හින්දි සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අනිල් කපූර් සමඟ එම නිර්මාණයට දායක වෙන්න මම වාසනාවන්ත වුණා.
