
සේමිණී, ‘ද ලේක්’ ඔබේ නිෂ්පාදනයක්?
ඔව්, ඇත්තටම මේ තේමාව ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට අලුත්. මොකද ගොඩක් වෙලාවට අපේ රසිකයන්ට දකින්න ලැබෙන්නෙ පවුලේ කතා. මේ වෙනුවෙන් අපි ලොකු අවධානමක් ගත්තා. නමුත් මේ වන විට ද ලේක් එක්ක ප්‍රේක්‍ෂකයන් බොහෝ දෙනෙක් එකතුවෙලා ඉන්න බව අපිට දකින්න පුළුවන්.
සේමිණී කොහොමද රදැල්ලේ අම්මා වෙන්නෙ?
රදැල්ලේ අම්මා කියන්නෙ හරිම පවර්ෆුල් චරිතයක්. ශක්තිමත් ගැහැනියක්. ඇත්තටම රදැල්ලේ අම්මා කියන්නෙ මට රඟපාන්න ලැබුණ චරිතයක්. මේ චරිතයට තිබුණ කෑදරකම නිසාමයි නිෂ්පාදනයෙන් දායක වුණේ. මොකද කලින් නිෂ්පාදකවරයෙක් ඉදිරිපත්වෙලා තිබුණා මේ නිර්මාණය කරන්න. නමුත් විවිධ ගැටලු නිසා ඔහු ඉවත් වෙලා තියෙනව. ඒ අතර තමයි මම භාරගත්තෙ. මේක වෙනස් චරිතයක් වගේම මං හිතන්නෙ රංගන ශිල්පිනියො කරන්න අකමැති චරිතයක්. නමුත් මම හරිම ආසයි මේ වගේ විශේෂතා තියෙන චරිත කරන්න.
රුක්මණී ගැන කතා කළොත්?
රුක්මණී කියන්නෙ ඉස්සර ලස්සන සුන්දර කෙල්ලෙක්. ඒ කෙල්ල තමයි අවසානයේ රදැල්ලේ අම්මා විදිහට එයාගෙ ඇත්ත චරිතය සඟවාගෙන මවාගත්ත චරිතයක ජීවත් වෙන්නෙ.
රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?
‘ද ලේක්’ කියන්නෙ කොටස් පනස් පහක් සීරිස් තුනක් විදිහට යන නිර්මාණයක්. දැනට සෙකන්ඩ් සීරිස් එකත් කරල ඉවරයි. තර්ඩ් එක ඉදිරියේදී පටන්ගන්නව. අපේ මේන් ලොකේෂන් එක තියෙන්නෙ බෙලිහුල්ඔය. ඒ නිසා නිර්මාණය වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්න සිදුවෙලා තියෙනව. ඇත්තටම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මේ තරම් පිරිවැයක් දරල කරන්න අමාරුයි. ඒ වුණාට අපි මෙහි තියෙන රසය, කුතුහලය අඩු නොවෙන්න ඕන නිසයි අදාළ ලොකේෂන් එකටම ගිහිල්ල රූගතකිරීම් කරල තියෙන්නෙ.
මෙහි නිතර දකින්න නොලැබෙන මුහුණු ටිකක් දකින්න ලැබෙනව?
ඔව්, විශේෂයෙන්ම සෞම්‍ය අයියා අවුරුදු දහ අටකට පස්සෙ තමයි ටෙලි නාට්‍යයක රඟපාන්නෙ. අපේ අධ්‍යක්‍ෂවරයා වන්නෙ ධනුෂ්ක රේමන්. කලින් නිෂ්පාදනය කරන්න හදපු වෙලාවෙත් රදැල්ලෙ අම්මා වෙන්න හිටියෙ මම. මේ කාස්ට් එකමයි. නමුත් සෞම්‍ය අයියා ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැහැ කියන නිසා එයා වෙනුවට වෙන කෙනෙක් හිටියෙ. නමුත් මම නිෂ්පාදනය අතට ගත්ත වෙලාවෙ ධනුෂ්ක මට මේ කතාව කිව්වාම මම කිව්වා අපි ට්‍රයි කරල බලමු කියල. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි සෞම්‍ය අයියා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ.
එහෙනම් ඉදිරියේදී තවත් ප්‍රභල චරිත දැකගන්න ලැබෙයි?
ඔව්, කෝරළගේ සමන්, අශාන් ඩයස්, පූජන, දනූෂි දිසානායක, සංජීව පෙරේරා, සරත් වගේ මිනිස්සු නිතරම හොඳ නිර්මාණවලට දායක වෙනව කියල හිතන ජනප්‍රිය, ප්‍රවීණ චරිත රැසක් ඉදිරියේදී මේ නිර්මාණයට එකතු වෙනව.
අධ්‍යක්‍ෂවරයා ගැන ඔබ තැබූ විශ්වාසය මොන වගේද?
වර්තමානයේ අපි දකින තරුණ අධක්‍ෂ්‍යවරු කියන්නෙ තාක්‍ෂණයත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්ත දැනුම්වත් පිරිසක්. හරිම අප්ඩේටඩ්. ඔවුන් අඳුරේ අතපතගාන අය නොවෙයි. ධනුෂ්ක රේමන් ගත්තොත් ඔහු ඇක්ෂන් කට් කියන අධ්‍යක්‍ෂවරයෙක් නෙමෙයි. පිටපත් රචක රසික සුරවීරආරච්චිත් එක්ක එකතුවෙලා මේ ගැන ගොඩක් රිසර්ච් කරල තියෙනව. ඒ නිසා මට ධනුෂ්ක එක්ක වැඩකරන්න බයක් දැනුණෙ නැහැ. අනෙක් කාරණය, මම බිස්නස්මන් කෙනෙක් නෙමෙයිනෙ, කලාකාරිණියක් හැටියට කලාවට තියෙන ආදරය නිසයි මම මේ මුදල් යෙදෙව්වෙ. ලාභයක් ලැබෙන එක ගැන විශ්වාසයක් නැහැ. නමුත් මට ඕන වුණේ හොඳ නිර්මාණයක් කරන්න විතරයි.
සුද්දිගෙන් පස්සෙ සේමිණීට වෙනස් චරිත ලැබෙන්න පටන්අරන් කිව්වොත්?
ඔව්, සුද්දිගෙන් පස්සෙ බි්‍රජට් ද සිල්වා, මරිය මද්දෙලෙනා, දැන් රදැල්ලෙ අම්මා. මං හිතන්නෙ, මට චරිත රැසකට ආරාධනා ලැබුණත් මම භාරගන්නෙ මට දැනෙන චරිත විතරයි. මේ තෝරාගන්නා චරිත අනුව වෙන්න ඇති මට මේ විදිහේ චරිත ලැබෙන්නෙ.
මේ චරිත අතුරින් ඔබ වඩාත් ප්‍රිය කරන චරිතය මොකක්ද කියල ඇහුවොත්?
සුද්දිගෙ පටන් රදැල්ලෙ අම්මා වන තුරු ලැබුණ හැම චරිතයකටම මම හරි කැමතියි. මොකද මට මේ චරිත තුළ යමක් කරන්න අවස්ථාවක් තිබුණා. එහෙමයි කියල යර්ස් බොස් හි රෝෂිණී මැඩම්ට, ස්වයංජාත, කළුවරගෙදර, නේත්‍රා මංගල්‍යය වැනි නිර්මාණවල චරිතවලට මගේ කිසිම අකමැත්තක් නැහැ. මම බොහොම කැමතියි.
ඔබේ නමින් සමාජ මාධ්‍ය තුළ ගිණුමක් තියෙන බවටත් කතාවක් පැතිරුණා?
ඔව්, ෆේස්බුක් ගිණුමක් මගේ නමින් හදල මගේ ෆොටෝස් පාවිච්චි කරල තිබුණා. වට්ස්ඇප් එකෙත් මගේ නමින් ටැට් කරන කෙනෙක් ඉන්නව කියල කතාවක් තියෙනව. මේ මානසික රෝගියෙක් වෙන්න ඇති. මේවාට අහුවෙන අයත් මෝඩයිනෙ. උදේට, රෑට කෑවද, බිව්වද, ගුඩ් මෝනිං, ගුඩ් නයිට් කියල අහල මැසේජ් කරන්න පුළුවන් තැනක නෙමෙයි සේමිණී ඉද්දමල්ගොඩ කියන කෙනා ඉන්නෙ. සේමිණීට වැඩ තියෙනව. ඒවා තේරුම්ගන්නත් පුළුවන් වෙන්න ඕනනෙ.
ලැබෙන අගැයීම් ගැන අදහස මොන වගේද?
ඕනෑම කෙනෙක් කැමතියි තමන් කරන වැඩේ අගැයීමට ලක්වෙනවනම්. මාවත් එහෙම අගැයීමට ලක්වෙනකොට ලොකු සතුටක් දැනෙනව. මේ වතාවේ සුමති සම්මාන උළෙලට හොඳම සහය නිළිය ලෙස බි්‍රජට්ගෙ චරිතය නොමිනේට් වෙලා තියෙනව.
සිනමාව පැත්තෙන් අලුත් දෙයක් තියෙනවද?
අලුත් වැඩ කිහිපයක් ගැනම සාකච්ඡා මට්ටමින් යනව. තවම මම වචනයක් දීල නැහැ.
මහේෂ් එදිරිසිංහ
