දැන් මමත් ජනතාවට අයිති මිනිහෙක් - ඉෂාක් බෙග්

gossiplanka image 1
නැසීගිය ප්‍රවීණ ගායක අල්හාජ් මොහිදීන් බෙග්ගෙ පුතකු වන ජනප්‍රිය ගායක ඉෂාක් බෙග් සිය පියා ගැයූ ඒ අමරණීය වූ බෞද්ධ ගීත අප හදවත් වල දෝංකාර දෙමින් රැව් පිළිරැව් දෙමින් ගයන්නට සමත් විය. කලක් තිස්සේ සිය පියා ගැයූ ගී ගයමින් සිටි ඉෂාක් පසුගිය කාලයේ හදිසියේම අසනීප වන්නට විය. ඔහු වෙනුවෙන් එකතු වූ ශ්‍රී ලාංකේය ගායක – ගායිකා සංගමය ‘ඉෂාක්ට කෝටියක්’ මැයෙන් අරමුදලක් ද ආරම්භ කරන්නට විය. දින හතරක් වැනි කෙටි කාලයක් තුළ එම අරමුදල සම්පුර්ණ කර ගැනීමට හැකිවීම තවමත් ප්‍රවීණ ගායක අල්හාජ් මොහිදීන් බෙග් නාමයට ඇති ආදරය මනාවට කියාපාන්නක් විය. මෙලෙස ප්‍රේක්ෂක ආදරේ අදටත් ඉහළින්ම ලබන බෙග් මාස්ටර්ගේ දරුවන් අතර කා අතරත් ජනප්‍රිය වී සිටින ඉෂාක් බෙග් සිළුමිණ රසඳුනට කළ කෙටි කතා බහයි මේ…..


දැන් අසනීප තත්ත්වය කොහොමද?


යම් තරමක් සුවයක් ලබලා තියෙනවා. නමුත් තවම ප්‍රතිකාර ලබමින් ඉන්නවා. වෛද්‍ය ප්‍රතිකාර වගේම ව්‍යායාම කටයුතු කරගෙන යන කාලයක්. මේක සුව වෙන්න යන කාලය කියන්න බැහැ. මම ම නැඟිටින්න ඕනේ.


ඇත්තටම මොකක් ද මේ වුණේ?


මට කාලයක පටන් දියවැඩියා රෝගය තිබුණා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර පවා ලබා ගත්තා. නමුත් සංගීත ප්‍රසංගවලට සහභාගී වෙලා නිදි වරාගෙන පාන්දර ගෙදර එන වෙලාවල් කොතෙකුත් අපේ ජීවිතවල තියෙනවානේ. ඉතින් නොහිතපු වෙලාවක මට අංශභාගේ රෝගය හැදුණා.


දැන් කොච්චර කාලයක් වෙනවාද?


මාස හතක් වෙනවා. ඒ ගෙවුණු කාලය තුළ මම ගොඩක් අසරණ වුණා. බෙහෙත්වලට වියදම සහ මගේ ව්‍යායාමවලට යන්න එන්න යන වියදම් ගත්තම ඔක්කොම වියදම් විතරයි. මගේ වැඩවලට සහයෝගය දෙන්න මාව බලා ගන්න කෙනාට දවසට වැටුපක් දෙන්න ඕන. ඒ දේවල් ඔක්කොම කර ගන්න ආමාරුවෙන් හිටියේ.


ඔබ වෙනුවෙන් ශ්‍රී ලාංකේය ගායක – ගායිකා සංගමය ඉෂාක්ට කෝටියක් මැයෙන් අරමුදලක් ආරම්භ කළා නේද?


ඇත්තෙන්ම ඔව්. මගේ බෙහෙත් වලට සහ මට සහායට ඉන්න අය වෙනුවෙන් විශාල මුදලක් යන නිසා මොන අමාරුකම් තිබුණත් මම වේදිකාවේ ගීත ගායනා කරන්න හිතුවා. එතැනදී ශ්‍රී ලාංකේය ගායක – ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා මූලික වෙලා මට කතා කරලා කිවුවා ඉෂාක් දැන් ටිකක් විවේක ගන්න. ඒ විවේකය අතරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරමු කියලා. ඒ අනුව තමයි ඉෂාක්ට කෝටියක් කියන අරමුදල පටන් ගත්තේ. මේ ඇසළ පොහෝ දවසේ ඒ සල්ලි මට භාර දෙනවා. මේ මොහොතේ ගායක – ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු සියලුම සාමාජික සාමාජිකාවන්ට මගේ හදවතේ ස්තුතිය පුද කරන්නට අවස්ථාවක් කර ගන්නවා.


ඉතාමත් කෙටි දින කිහිපයක් තුළ කෝටියක අරමුදල සාක්ෂාත් වුණු එක ගැන මොකද හිතෙන්නේ?


මේ තමයි මගේ තාත්තා සහ මම උපයපු වත්කම. අපිට හැමදාම ජීවත් වෙන්න බැහැ. නමුත් ජීවත් වෙලා ඉන්න කාලේ තුළ මේ විදිහට ආදරයක් ලබන්න සහ ඒ ආදරේ ඇස් දෙකෙන් දකින්න විඳින්න මම වාසනාවන්ත වුණා. මට මේ වෙලාවේ මතක් වෙන්නේ මගේ තාත්තා එදා කියූ දේ…


“තව අවුරුදු දාහක් ගියත් මගේ නම අමතක කරන්න බෑ පුතේ….එහෙම නැති වෙන්නෙ බුද්ධාගම ලංකාවේ නැති වුණු දවසට….”


“මගේ තාත්තා පාගන වැලි කැටයක් ගාණේ කිවුවෙ ඒ දේ….”


“මම මේ රටට ආවෙ මහ භාරතය අතහැරල. මම මුස්ලිම් වුණත් සිංහල බෞද්ධ, කතෝලික, හින්දු මේ හැම කෙනෙක් එක්කම මගේ රුධිරගත බැඳීමක් තිබුණා. මම මුස්ලිම් කියල පැන්නුවේ නෑ. පුතේ සිංහල බෞද්ධයා මා වට කරගෙන ආදරේ කළා. මම හෙට මැරුණත් මේ රටේ අන්තිම සිංහල මිනිහ ඉන්නකල් උඹල බඩගින්නෙ ඉන්නෙ නෑ පුතේ…” කියලයි මගේ තාත්තා එදා සදහටම ඇස් දෙක පියාගත්තේ. තාත්තා වියෝ වෙලා වසර 30කට වැඩියි. ඒත් එදා තාත්තා අපිට කිවුව ඒ කතාව හරි නේද කියන එක අපිට අදත් දැනෙනවා. සියලුම ශ්‍රී ලාංකිකයින් මා වටා මේ මොහොතේ එකතු වුණා. ඒ ආදරේ මට මහමෙරක් වගේ. දැන් මමත් ජනතාවට අයිති වෙච්ච මිනිහෙක්.


බෙග් මාස්ටර්ගේ දරුවෙක් වීම ගැන අද මොකද හිතෙන්නේ?


බෙග් මාස්ටර්ගේ දරුවෙක් වීමම තමයි මම ලද ලොකුම භාග්‍යය. අපේ පවුලේ ඔක්කොම දරුවෝ අට දෙනෙක්. මම අපේ පවුලේ හයවෙනියා. හැබැයි තාත්තාගේ සංගීත ගමන්මඟේ ගමන් කරන්නේ මමත් මගේ මල්ලි සහ නංගි. ඒ කියන්නේ හය, හත සහ අට දරුවන් විතරයි සංගීත කලාවට යොමු වුණේ. මේ වෙද්දී මගේ ලොකුම අයියලා දෙන්නා සහ අක්කලා දෙන්නත් ජීවතුන් අතර නැහැ. දැන් ඉන්නේ අපි හතර දෙනෙක් විතරයි. ජනතාවට ඕනේ ඉෂාක් බෙග් ව. පොඩි දරුවන් මට කියනවා අපේ ආයුෂත් අරගෙන ඉෂාක් අන්කල් ජීවත් වෙන්න ඕනේ කියලා. ඒවා අහනකොට දරා ගන්න බැහැ. ඒ තරම් සතුටු කඳුළු එනවා මේ තරම් ආදරයක් ලබන්න කොයි තරම් නම් වාසනාවන්ත වෙන්න ඕනේ ද කියලා.


ඔබේ පවුලේ විස්තර මොනවාද?


මගේ ආදරණිය බිරිඳ සහ දරුවන් තුන් දෙනා ඉන්නේ. දුව සහ පුතාලා දෙන්නා.


දරුවන් කලාවට එන්නේ නැද්ද?


ඒ අයටත් ගායන හැකියාව තියෙනවා. පුතාලා දෙන්නවත් ඉදිරියේදී පුරුදු පුහුණු කරලා මේ සංගීත ක්ෂේත්‍රයට අරගෙන එන්න මම කැමැත්තෙන් ඉන්නවා.


අවසාන වශයෙන් මේ මොහොතේ ඉෂාක් වටා එකතු වුණු අයට කියන්න දෙයක් ඇති


හැමෝටම බොහොම පින්. විවිධ වෘත්තීන්වල නියැළී ඉන්න හැමෝම දන්නා චරිත මෙන්ම දවසේ වැටුපක් ලබන පුංචි මිනිසුන්ගේ මුදලින් මා වෙනුවෙන් හැකි අයුරින් ‘ඉෂාක්ට කෝටියක්‘ කියන අරමුදලට මූල්‍ය ශක්තිය වෙලා තියෙනවා. ඒ හැමෝම කොහේ කොතැනක හිටියත් ශ්‍රී ලාංකික හදවත්. නැවත නැවත මම කියන්නේ දැන් මම ජනතාවට අයිති මිනිහෙක්. මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම හැකි ඉක්මනින් නැගිටිනවා. ආයෙමත් සුපුරුදු විදිහට වේදිකාව මතට නැඟලා සුවහසක් රසික හදවත් සුවපත් කරන්න මම ගීත ගායනා කරනවා.

gossiplanka image 2
Previous Post Next Post