මගේ ගීත අද මට ගන්න වෙලා තියෙන්නෙත් සල්ලි දීලා-ඉන්ද්‍රානි පෙරේරා

gossiplanka image 1
ඇය යුග ගණනක් මියුරු ගී හඬින් ඔබ අප අමන්දානන්දයට පත් කළ ආදරණීය ගායන ශිල්පිනියකි. ඒ හඬින් මුසපත් නොවූයේ සවන් නෑසුණු අයෙකු පමණි. ඇයගේ ගී හ‍ඬෙහි ඇති මිහිරි බව සේම ද්වනිතවත් බව සංගීතය සමඟ මුසු වීමෙන් ශ්‍රාවකයින් වෙත රැගෙන ආවේ වෙනත්ම මිහිරකි. අදටත් තවෙකෙකුට අනුකරණය කිරීමට නොහැකිව ඇති ඒ ප්‍රතිභාපූර්ණ ගී හ‍ඬ ඉන්ද්‍රානි පෙරේරා නම් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියගේය. ඇයත්, ක්ලැරන්ස් විජේවර්ධන සහ අනෙස්ලි ම‍ාලේවන එක්ව දෙස් විදෙස්හි ප්‍රකට කළ ගී ප්‍රසංග වෙත ලද රසික ආදරය කෙතරම් ද යත් 70 දශකයේ ඔවුන් ජනප්‍රිය වූයේ ‘සිංහල පොප් සංගීතයේ අපූර්ව ත්‍රිත්වය’ (The Original Pop Trio) යනුවෙනි.


ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා ලෙස බො‍රැල්ලේ ඉපිද හැදී වැඩුණු ඉන්ද්‍රානි පෙරේරාගේ පියා බෞද්ධාගමිකයකු වූ අබේපාල පෙරේරාය. මියුරියෙල් පෙරේරා වූ මව කතෝලිකය. ඉන්ද්‍රානි පෙරේරාගේ වැඩිමල් සොයුරිය වූ මල්ලිකා පෙරේරා 1965 වර්ෂයේ පටන් චිත්‍රපට රංගනයටත්, පසුබිම් ගී ගායනයටත් එක්ව සිටියාය. ක්ලැරන්ස් විජේවර්ධනයන් හා ඇනස්ලි මාලේවනයන් සමඟ ‘ද මූන්ස්ටෝන්’ සංගීත කණ්ඩායමට එක් වූ ඇය දිගින් දිගටම ගීත ගැයුවාය. 1969 වසර අවසානයේදී ඉන්ද්‍රානි සිය අක්කා මල්ලිකා සහ නංගී අයිරාංගනී සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රථම තුන් සොහොයුරියෝ ගායක කණ්ඩායම වූ ‘ත්‍රී සිස්ටර්ස්’ ගායන කණ්ඩායම ආරම්භ කරමින් තැප්‍රොබේන් හෝටලයේදී අපූරු ගී ප්‍රසංගයක් පවත්වන්නට යෙදුණි. එතැන් පටන් වසර ගණනාවක් පුරා ගීත ප්‍රසංගවලට නැතුවම බැරි ගායන ත්‍රිත්වයක් බවට මේ තුන් සොහොයුරියෝ පත් වූහ. ඔවුන් අතිශය කාර්ය බහුල ගායිකාවන් බවට පත් විය. ශ්‍රාවක ප්‍රේක්ෂකයින් මේ අරුම පුදුම ගී ගයන සොයුරියන් තිදෙනා ආදරයෙන් වැලඳ ගත්තේ උමතුවෙන් මෙනි. 1980 වසරේදී සිය වැඩිමල් සොයුරිය මිය යනතුරුම ‘ත්‍රී සිස්ටර්ස්’ ජනප්‍රිය ප්‍රසංග පැවැත්විණි.


කණ්ඩායම් ගීතවලට පරිබාහිරව ඉන්ද්‍රානි පෙරේරා නම් ගායන ශිල්පිනිය ගැයූ ගීත ගණනාවකි. ඒ අතර ‘තිළිනේ ලෙසින්, වසන්තයේ මල් කැකුළයි, සුදු අසු පිට නැගලා, මතකය ඇසුරෙන්, අතැඟිලි බැඳුණේ.., සීගිරිය.., හා හා හොරේ.., කුරුල්ලනේ.. ගීත ද අතිශය ජනප්‍රිය විය. පොඩි මල්ලී, දිනුම් කණුව, ලස්සන කෙල්ල, සදහටම ඔබ මගේ, සිකුරුලියා වැනි චිත්‍රපට ගණනාවකට ඇය පසුබිම් ගායනයෙන් සම්බන්ධ වූවාය. 70 දශකයේ ඇයට අප්‍රමාණ රසික ආදරයක්, ගෞරවයක් හිමි වන්නට මෙම චිත්‍රපට පසුබිම් ගීත ද හේතු විය. 2014, 2015, 2016, 2019 වසරවල පිළිවෙළින් සෝල් සවුන්ඩ් සම්මාන දෙකක්, ජාතික කතෝලික සාහිත්‍ය සංගමය සහ ප්‍රාදේශීය සාහිත්‍ය සංගමය පිරිණැමූ සම්මාන, ජනාභිමාණී සම්මානය, හෙළ මහා රාවණා රාජාභිමාණී සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් ද ඇයට හිමි වී ඇත. ගායන ක්ෂේත්‍රයේ අඩසිය වසක් ඉක්මවා ඇති ඇය අදටත් දෙස්, විදෙස් සංගීත ප්‍රසංගවල ජනප්‍රිය ගායිකාවකි.


“අදටත් මම ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරනවා. මට විදේශ රටවලින් වැඩිපුර ආරාධනා ලැබෙනවා. අලුත් ගීත කිහිපයක්ම පසුගිය කාලේ මම නිර්මාණය කළා. ඒවා කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. කලාතුරකින් නාළිකාවකින් ඇහුණත් ඒ ගායනාව කළේ කවුද කියලවත් ඒ ගුවන්විදුලි නාළිකා කියන්නේ නෑ. ඉස්සර ගුවන්විදුලියෙන් ගීතයක් ප්‍රචාරය වන වාරයක් පාසා ගායන ශිල්පියාට රුපියලක් බැඟින් ලැබුණා. යුගල ගායනයක් නම් සත පනහක් ලැබුණා. ටික කාලයක් යද්දී සත පහක්වත් නොලැබී ගියා. මේ වෙද්දී සමහර ගීතත් අපට අහිමි වෙලා. මම ගැයූ සමහර ගීත මටවත් අද හොයා ගන්න නැහැ. මම ගායනා කරලා තියෙන සමහර ගීත බොහෝ අය අහලවත් නැහැ. නාළිකාවලත් හැමදාම ප්‍රචාරය කරන ගීත කිහිපයම තමයි ප්‍රචාරය කරන්නේ. අද ගායන ශිල්පීන්ට නීතියෙන්වත් ගීතමය අයිතියක් නැහැනේ. සමහර ගීත පටිගත කරවාගෙන, ගායනා කරලා, ඒවා ජනප්‍රිය කරවන්න අපි ඒ කාලේ අප්‍රමාණව වෙහෙසුනා. මම සල්ලි වියදම් කරලා පටිගත කළ, මගේම හඬින් ගැයූ ගීත අද මට වෙන කෙනෙකුට සල්ලි දීලා ගන්න වෙලා තියෙනවා. මගේ ගීතවලට ආදරය කරන, ඒවා රසවිඳින්න කැමති පිරිසක් අදටත් ඉන්නවා. අදටත් මට ප්‍රසංගවල ගීත ගයන්න ඇරයුම් ලැබෙනවා. පිටරටවල ප්‍රසංග වැඩිපුර ලැබෙනවා. මගේ ගීතවලට ආදරය කරන අය වෙනුවෙන් ගීත ප්‍රසංගයක් කරන්න කියලා මම කාලයක් තිස්සේ සූදානම් වෙනවා. විටින් විට ඒ සඳහා නොයෙකුත් බාධා ඇති වුණා. මගේ සැමියා හිටියා නම් මේ ප්‍රසංගය මේ වනවිටත් කෙරිලා. එයා මීට වසර දෙකකට පෙර මියගියා. ‘ලෝටස්‘ ගී තැටි නිෂ්පාදනය කළ, මගේ ගීත බොහොමයක නිෂ්පාදකවරයා වූයේ මගේ සැමියා වන ‘ජේම්ස්’ නැතහොත් ජේම්ස් ශ්‍රී නිවාසන් බව බොහෝ අය දන්නවා. ‘හා හා හොරේ දැනුනා‘, ‘අම්මා..‘වගේ ගීත ගණනාවක් ඔහු නිෂ්පාදනය කළා. ඔහු මියගිය වෙලාවේ මාධ්‍යවලින් ඒ ගැන සඳහන් කිරීමක් කළේ නැහැ. ‘හා හා හොරේ..’ ගීතය නිෂ්පාදනය කළ කාලේ ඔහු සමඟ මගේ සමීප ඇසුරක් ඇති වුණා. පසු කාලෙක අපි දෙන්නා විවාහ වුණා. අපට දුවෙක් සහ පුතෙක් ලැබුණා. අපේ පුතා නිමේන්ද්‍ර ධනංජය ජේම්ස්. දැන් විවාහකයි. පුතා පුංචි කාලේ ඉඳලා සිංදු කිව්වා. පල්ලියේ ගීතිකා කණ්ඩායමට පුතා පුංචි කාලෙදිම එක් වුණා. 2000 වසරේ සිට නාරාහේන්පිට පල්ලිය හා සම්බන්ධව වැඩ කරනවා. එයා දැන් පල්ලියේ පියතුමෙක්. පුතාත් ගීත ගයන්න හරිම දක්ෂයි. එයා කුඩා කාලයේදි සමිතා මුදුන්කොටුව සමඟ ‘මොනවද අම්මේ අකුරු ජාතියක්….’ ගීතය ගායනා කළා. ඒ වගේම ඔහු කුඩා කාලයේ එඩ්වඩ් ජයකොඩි මහතා ස්වාධීන රූපවාහිනියේ කළ කුරුලු කැදැල්ල වැඩසටහනට ගීතයක් ගායනා කළා. එම ගීතය කැලැරන්ස් විජේවර්ධන ලියා සංගීතවත් කර දුන්නා. නිමේන්ද්‍රට ඕගන්, ඩ්‍රම්ස්, පියානෝ, ගිටාර් හොඳින් වාදනය කළ හැකියි. ඒ වුණාට එයාට සංගීත ක්ෂේත්‍රයට එන්න ඉඩක් ලැබුණේ නැහැ. අඩුම තරමේ මගේ පුතා කියලාවත් ඉදිරියට එන්න ඉඩක් ලැබුණේ නැහැ. පුතාගේ දරුවෝ දෙන්නාගේ වැඩේත් සිංදු කියන එකම තමයි. මගේ දුවත් ගායනයට ඉතා දක්ෂයි. මගේ අක්කාගේ දුවටත් ඉතා හොඳින් ගීත ගයන්න පුළුවන්. එයාලා හැමෝම ඉතා හොඳින් ඉගෙන ගත්තා. මගේත්, අක්කාගේත්, නංගිගේත් දරුවෝ උපාධිධාරීන් බවට පත්වුණා. දක්ෂතා තිබියදීත් මේ දරුවන්ට ගායන ක්ෂේත්‍රයේ දොරටු විවර නොවීම ගැන මට කනාගාටුවක් තියෙනවා. අඩුම තරමේ මාධ්‍ය වැඩසටහනකටවත් සම්බන්ධ වෙන්න අවස්ථාවන් නැහැ. මේ රටේ කලාකරුවන් ජීවත්ව සිටින කාලයේදී නිසි අගය කිරීමක් කරන්නේ නැහැ. මට මතකයි ක්ලැරන්ස් විජේවර්ධනයන් ජීවත්ව සිටි කාලේ කිසි කෙනෙකුට ඔහුගේ අගයක් දැනුණේ නැහැ. දැන් තමයි ඔහු ගැන අගයන්නේ. ඒ ඇගයුම් ඔහුට ඇහෙන්නේ, දැනෙන්නේ නැහැනේ. එහෙම ඇගයුම් මොකටද.. ඒ අගයන්නේ කාටද… එයින් සතුටක් ලබන්නේ කවුද…. ඔහුව හදවතින්ම අගය කළ, ඔහුට හිතවත් අයගේ දෑස්වල කඳුළු පිරෙනවා හැරෙන්නට එයින් සතුටට පත් වන කෙනෙක් නැහැ. කලාකරුවෙක් මිය ගියාට පස්සේ මොන තරම් ඇගයීම් කළත් වැඩක් නැහැ. මගේ අක්කා මල්ලිකා තමයි කලා ක්ෂේත්‍රයට මුලින්ම යොමු වුණේ. අක්කා සංගීතය, ගායනය හොඳින් ඉගෙන ගෙන තමයි ඒ දේවල්වල නිරත වුණේ. පණ්ඩිත් අමරදේවයන් වෙතින් අක්කා සංගීතය හොඳින් හැදෑරුවා. ප්‍රවීණයින් බවට පත්වුණු බොහෝ අය අමරදේවයන්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. මමයි, නංගිත් සංගීතය ගැන හොඳ හැදෑරීමක් කරලා තමයි ගීත ගායනා කළේ. අක්කාගේ ජනප්‍රිය ගීත ගණනාවක් තියෙනවා. අක්කා ගැයූ ‘වනන්තරේ ගල් අරනේ..’ චිත්‍රපට ගීතය 1965 ජනප්‍රියම ගීත අතර තිබුණා. අපේ අම්මාගේ දේහය පෙරහැරෙන් අරන් යන වෙලාවේ අතරමඟ කඩයක ඒ ගීතය අහඹු ලෙස වාදනය වුණා. මගේත් සමහර ගීත තියෙනවා බෙහෝ අය අහලාවත් නැහැ. මගේ ‘සමනල රෑනක් සේ..’ ගීතය මම ගායනා කරන්න ගියේ ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිල්ලා. ඒ කියන්නේ මම එතකොට ඉස්කෝලෙ යන ළමයෙක්. පස්සේ කාලෙක මිල්ටන් මල්ලවආරච්චිගේ පුතා රනිල් සමඟ මම ඒ ගීතය නැවත පටිගත කළා. ලන්ඩන් නුවර පැවති ප්‍රසංගයකදි මිල්ටන්ගේ පුතාගේ පුතා ඒ කියන්නේ මිල්ටන්ගේ මුනුබුරා ‘පවන්’ සමඟත් මම ගායනා කළා. පරම්පරා කිහිපයක් එක්ක ගීත ගැයූ සතුට මට තියෙනවා. මම, අක්කා, නංගි ගැයූ ගීත එකතු කරගන්න ඕනැකමක් මට තියෙනවා. නමුත් සමහර ගීත හොයාගන්නවත් නැහැ. මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර පනස් පහකටත් වැඩියි. ගීත කීයක් ගයලා තියෙනවාද කියලා ගණන් කරලාවත් නැහැ. ඒ තරම් ගීත ගැයුවා. අපි නැති කාලෙක වුණත් අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට අපේ ගීත ඉතිරි වෙන්න ඕනෑ. අද හොඳ ගීතවලට මාධ්‍යවලින් ඉඩක් ලැබෙන්නේ නැහැ. කාලයක් තිස්සේ මාධ්‍යවලින් හොඳ ගීත කප්පාදු කෙරුණා. ඉස්සර මාධ්‍යායතන දෙක තුනයි තිබුණේ. ඒත් ඒ මාධ්‍යායතන දෙක තුනෙන් මේ රටේ හොඳ ගීතවලටත්, සෑම ගායන ශිල්පියෙකුටත් ලොකු ඉඩක් ලැබුණා. අඩුපාඩු, ප්‍රශ්න නොතිබුණා නෙවෙයි. නමුත් බොහෝ අයට සාධාරණය ඉටු වුණා. දැන් මේ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය ගැන ලොකු කළකිරීමක් මට තියෙනවා.”


වෛද්‍යවරියක වීමට සිහින මවමින් කොළඹ ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ද පසුව උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරීමට ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයට ද ගිය ඉන්ද්‍රානිට පාසලේ ද ගීත ගයන්නට නොයෙකුත් අවස්ථාවන් උදා වී තිබිණි.


“පාසල වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ තිබුණු පටිගත කිරීමකට මම සම්බන්ධ වුණා. පාසලේ සංගීත ගුරුතුමිය පොට්ගර් මහත්මියත්, පාසලේ විදුහල්පතිතුමිය වැලරි මහත්මියත් මගේ කුසලතා ඉස්මතු කර ගන්න විශාල අනුබලයක් දුන්නා. මට පාසල තුළ අවස්ථා ඇති කර දුන්නා. මම පාසලේදී උඩරට නර්තන අංග ඉදිරිපත් කළා. වජිරා චිත්‍රසේන කලායතනයේ මම නැටුම් ඉගෙන ගත්තා. නමුත් මම චිත්‍රපටවල රඟපෑවේ නැහැ. අපේ නංගි නම් පොඩි කාලේ චිත්‍රපටවල රඟපෑවා. ඊට අමතරව නංගි ශේෂා පලිහක්කාර, මිරැණ්ඩා හේමලතා, සීතා ගමගේ යන ගුරුභවතුන් යටතේ නර්තනය හැදෑරුවා. එයා නාට්‍යවලත් රඟපෑවා. එහෙම ඉන්න අතරේ අපි තුන්දෙනා වේදිකාවට අවතීර්ණ වුණා. ඇනස්ලි මාලේ 12:41 PM 6/30/2025වනගේ ඥාති සොයුරියක් වුණු ‘මාරි’ මගේ හොඳ මිතුරියක් නිසා ඇයගේ මාර්ගයෙන් ඇනෙස්ලි හඳුනා ගන්න ලැබීමත්, ඇනෙස්ලිගේ ඇරයුමින් ‘ද මූන්ස්ටෝන්’සංගීත කණ්ඩායම සමඟ පුහුණුවීම් කරන්න ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ නි‍ෙවසට ගිය වෙලාවක එහිදි මට ක්ලැරන්ස් විජේවර්ධනයන් හමුවීමට ලැබීම මගේ ජීවිතයේ දෛවෝපගත සිදුවීමක් වුණා. ‘දිල්හානි’ ගීතය ඒ කාලයේ ම එළි දැක්වුණා. ලංකාවේ ප්‍රථම වතාවට මර්වින් රුද්‍රිගු මහත්මයා ගීතයකට තවත් කටහඬකින් ද්විත්ව හඬ නිකුතුවක් (හාමනි) මුසු කළේ මගේ ‘දිල්හානි’ ගීතයට යි. නොසිතූ තරම් එය ජනප්‍රිය වුණා. මම අදටත් ක්ලැරන්ස්ටත්, මර්වින් රුද්‍රිගු මහතාටත්, ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාටත්, මට ක්ලැරන්ස් ව හඳුන්වා දුන් ඇනස්ලි මාලේවන මහතාටත් මගේ ගෞරවය පුද කර සිටිනවා. පසු කාලෙක මට සම්මාන ගණනාවක් මේ ගීතය නිසා ලැබුණා. ඒ සමමානවල ගරුත්වය ඔවුන්ටත් හිමියි. මම ගුවන්විදුලි ගීත, චිත්‍රපට ගීත ගණනාවක් ගැයුවා. ඉතා මෑතකදිත් ගීත කිහිපයක් කළා. මං වෙනුවෙන් පද රචනා කළ, තනු නිර්මාණ හා පටිගත කිරීම් කළ, ගීත නිෂ්පාදනය කළ, සහාය ගායනයෙන් එක්වුණු සැමටත්, මාව සෑම අතින් ම දිරිමත් කරමින් කිසි දිනක මා තනි නොකළ මගේ මිතුරු මිතුරියන්ටත්, ආදරණීය සහෘද රසික පිරිසටත් මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. මොකද අපට දැන් මාධ්‍යවලින් ඉඩක් ලැබෙන්නෙත් ඉතාම කලාතුරකින් නිසා මේ ලැබුණු අවස්ථාව ඒ සෑම සියලු දෙනාටත්, මාධ්‍ය හිතවතුන් හිතවතියන් ඇතුළු සැමටත් ස්තුතිය පිරිනමන්න මා අවස්ථාවක් කර ගන්නවා. අද දක්වා මේ ආව ගමන දිහා ආපහු හැරිලා බලද්දි පුදුමාකාර සතුටකුත්, අද ගැන දුකකුත් දැනෙනවා. අපට පෙර සහ අපේ පරපුරේ ගායක ගායිකාවන් ගැයූ ගීත අදටත් ඉතිරි වෙලා අලුත් පරපුර රසවිඳිමින් සිටිනවා. නමුත් පසු පරපුරවල වැඩි දෙනෙකුගේ ගීත අහගෙනවත් ඉන්න පුළුවන්ද කියලා හිතෙනවා. බස්වල, ත්‍රීවීල්වල කන් දෙදරන හඬින් දාලා බලෙන් ඒ ගීත ඇස්සෙව්වත් සිහි බුද්ධියක් ඇති කෙනෙකුට ඒවා අහගෙන ඉන්න බැහැ. ඒ ගීතවල ආදරය ඉල්ලලා උගුරු දණ්ඩ ගැලවෙන තරමට කෑගහන හැටි දැක්කාම අපට ආදරය කියන සොඳුරු සෞම්‍ය වදන පවා ජුගුප්ත්සාජනක වෙනවා. කනගාටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මට පුළුවන් විදිහට මගේ ගීත රසවිඳින මගේ ආදරණීයයන් වෙනුවෙන් කොහොම හරි මම ප්‍රසංගයක් කරනවා. ඒ වෙනුවෙන් අනුග්‍රාහකයෝ සොයමින් මම වෙහෙසෙනවා.” 

gossiplanka image 2
Previous Post Next Post