මුලින්ම රසිකයෝ මන්දෝදරීට බැන්නා -සචින්ත්‍යා අනුරාධි

gossiplanka image 2
කාලෙකදී කුණාටුවක් වගේ සුනු විසුණු කරන තවත් වෙලාවක සීතල සුළඟක් වගේ ආදරයෙන් සිසිල බෙදන මන්දෝදරීගේ චරිතය නිසා ප්‍රේක්ෂකයන්ගේ සිත්වලට සමනල ගැටේ වැටුණු අවස්ථාත් එමටයි. එම නිසාම ඒ ගැටලු ලිහාගන්න මන්දෝදරී එහෙමත් නැත්නම් සචින්ත්‍යා අනුරාධි එක්ක කතාබහ කරන්න අපි හිතුවා.


මේ දවස්වල කරන කලා කටයුතු මොනවාද?


මායාවී ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු හා වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝවල වැඩකටයුතුකරගෙන යනවා.


මන්දෝදරීගේ චරිතය මේ දවස්වල ප්‍රේක්ෂකයාව කරකවල අතහරිනවා වගේ නේද?


කලින් හිතාගෙන හිටිය විදිහට වඩා ඒ චරිතය වෙනස්ම මානයකට ගමන් කරන නිසා ප්‍රේක්ෂකයෙනුත් දැන් මට ආදරේ කරන්න පටන් අරන්. කලින් ගොඩක් ප්‍රේක්ෂකයන් මන්දෝදරීගේ චරිතයට බැන්නා. දැන් ගොඩක් ආදරණීය කමෙන්ට් ලැබෙනවා. ඒ වගේම පෞද්ගලිකවත් බොහොමයක් දෙනා ඒ ගැන කියනවා. යම් යම් ගැටලු නිසා මායාවී නොබැලූ ප්‍රේක්ෂක පිරිසක් මේ වන විට එය නරඹනවා යැයි කියනවා. ඒ ගැන මම නීහතමානිව ආඩම්බර වෙනවා.


මන්දෝදරී චරිතයට කොහොමද ඔබට ආරාධනා ලැබෙන්නේ?


මහේෂ් රත්සර මද්දුමාරච්චි තිර පිටපත් රචකයයි මාව ඒ චරිතයට නිර්දේශ කර තිබෙන්නේ. මට එයට ආරාධනා කළේ එහි නිෂ්පාදකතුමා රංජිත් වසන්තයි. කලින් රඟපෑ කියාදෙන්න ආදරේ තරම් හී චරිතය නිසයි ඔවුන් මාව හඳුනා ගත්තේ.


ඔබ මෙතෙක් රඟ නොපෑ නමුත් ඉදිරියේදී රඟපෑමට කැමති යම් චරිතයක් තිබෙනවද?


මම කැමතියි මායාවී ටෙලි නාට්‍යයේම මංගේෂ්වරී ගේ චරිතය වැනි චරිතයක් කරන්න. ඒක අභියෝගාත්මක චරිතයක්. ඒ වගේම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස විවිධ මානයන් ඔස්සේ චරිත නිරූපණය කරන්නත් ගොඩක් කැමතියි.


ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද


2022 සිරස අවුරුදු කුමරිය ලෙස මම තේරී පත්වෙනවා. ඒ හරහා ධනුෂ්ක රත්නායක මහතාගේ වීණාවී වැඩමුළුවට මම සහභාගී වෙනවා. ඔහු හරහා ‘කියාදෙන්න ආදරේ තරම්‘ හී ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබෙනවා. ‘කියාදෙන්න ආදරේ තරම්‘ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට යෑම මට මහත් රුකුලක් වුණා.


අවුරුදු කුමරියක් වුණේම රංගන වරම් ලබා ගන්නද


රංගන ශිල්පිනියක් වීමේ ආසාව මට තිබුණේ පුංචි කාලේ පටන්මයි. ඇත්තම කියනවනම් නිළියක් වෙන්න මට ලොකු උණක් තිබුණා. ඒත් මගේ අම්මයි අප්පච්චියි මට කියා තිබුණේ හොඳට ඉගෙන ගෙන උපාධිය ලබා ගත්තොත් විතරයි රංගන ශිල්පිනියක් වෙන්න අවසර දෙන්නේ කියලා. ඒ නිසා අධ්‍යාපන කටයුතුත් එලෙසින්ම සිදු කළා. ඒ වගේම අවුරුදු කුමරියක් වීමේ සිහිනයත් සැබෑ කරගත්තා. නමුත් අවුරුදු කුමරියක් වුණේ රංගනවරම් ලබාගන්නම නෙමෙයි.


අවුරුදු කුමරිය භූමිකාවෙන් එහාට ගොස් රට වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවාද?


එහෙම අදහසක් ඇත්තටම නැහැ. මම කැමති වුණේ අවුරුදු කුමරියක් වෙන්න විතරයි. එතනින් එහාට ඒ සඳහාම සූදානම් වූ පිරිසක් සිටිනවා. ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙන්න අවශ්‍යයි.


කලා ක්‍ෂේත්‍රය තුළ ඔබ ස්ථාවර වීමට මොනවගේ උපක්‍රමද යොදන්නේ?


මම හිතන්නේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමට නම් ලැබෙන චරිතය හැකි උපරිමයෙන් කරන්න අවශ්‍යයි කියලා. මන්දෝදරීගේ චරිතය මට ලැබෙන කොට සමහරක් උදවිය ඒ චරිතය මට කරන්න බැරි වෙයි කියලා අනතුරු අඟවලා තිබුණා. නමුත් මහේෂ් කිව්වා ඔයාට මේ චරිතය දෙන්නේ ඔයා ගැන විශ්වාස කරලා කියලයි. මම හිතනවා ඒ විශ්වාසය මම උපරිමයටම ආරක්ෂා කළා කියලා. යම් චරිතයක් තුළින් අධ්‍යක්ෂකවරයාට, නිෂ්පාදකවරයාට, තිර පිටපත් රචකයාට වගේම ප්‍රේක්ෂකයාටත් විශ්වාසයක් දැනෙන විදිහට එය නිරූපණය කරනවා නම් ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න වෙනත් ව්‍යායාමයක් හෝ උපක්‍රමයක් අවශ්‍ය වන්නෙ නැහැ.


මන්දෝදරී චරිතය කළු සුදු චරිත අතර දෝලනය වෙනවා. එම ද්විත්ව රංගනය ඔබට අභියෝගයක් වුණාද?


එම චරිතය මුලින්ම මට අභියෝගයක් වුණේ මීට කලින් කෙළිලොල් චරිතවලට පමණක් පණ පෙවූ නිසයි. මන්දෝදරී චරිතය ඩිප්‍රෙශන් තියෙන, දෙමාපියන් ළඟ නැති තරුණියකගේ චරිතයක්. එය හාත්පසින්ම වෙනස් වගේම එවැනි අත්දැකීමක් මම පෞද්ගලිකව කිසිදිනක අත්විඳ නැහැ. ඒ නිසා මම ඩිප්‍රෙශන් අයගේ හැසිරීම, ඔවුන්ගේ ක්‍රියාලාපය අධ්‍යයනය කළා. ඒ ඇසුරෙන් මගේ චරිතය ගොඩනඟා ගත්තා. ඒ චරිතය මුලින්ම මට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම එහි වෙනස්වීමත් මට අභියෝගයක් වුණා. නමුත් එයට සාධාරණයක් කළා කියලා මම විශ්වාස කරනවා.


රිදී තිරයට ආරාධනා ලැබිලා නැද්ද?


මම චිත්‍රපට දෙකක වැඩ කළා. ඒ චිත්‍රපට දෙකම නුදුරේදී තිරගත වේවි.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ උපාධිය මම නිම කළා. දැන් ආචාර්යය උපාධියක් ලබා ගැනීමට සූදානමින් සිටිනවා. ඒ වගේම වෙනත් ක්ෂේත්‍රයක වෘත්තීය ජීවිතය ගොඩනඟා ගන්නයි මේ දිනවල මම උත්සාහ කරන්නේ.


ඒ කියන්නේ වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන්න ඔබට බලාපොරොත්තුවක් නැද්ද?


නැහැ ඉදිරියේදී වෘත්තිමය රංගන ශිල්පිනියක් වීමට අදහසක් නැහැ


මේ වෙනකොට ඔබ පෙම්වතියක්ද


නැහැ. එයට තවම මගේ අවධානය යොමු වෙලා නැහැ. මුලින්ම මගේ හීන සැබෑ කරගෙන ආදරයක් ගැන හිතන්න ඕනේ.

gossiplanka image 1
Previous Post Next Post