
ඔබ රංගනයෙන් දායක වන නවතම සිනමාපටය සූර්යයා ගැන පළමුව කතා කළොත්?
මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කරන දිනේෂ් මුතුගල නිෂ්පාදනය කරන සූර්යයා සිනමාපටය ලබන 12 වැනිදා තිරගත වෙනවා. මේ මං රංගනයෙන් දායක වන දෙවැනි සිනමාපටය. සූර්යයා පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටයක් වගේම ඔබ ගන්න ටිකට් එකට පාඩුවක් නෑ කියල ඔබටම හිතේවි කියන එක මට විශ්වාසයි. ඔබේ ජීවිතේ වෙනස්ම විදිහකට අත්විඳින්න, අත්දකින්න පුළුවන්. ලංකාවේ බිහිවුණු පළමු අභිප්‍රේරණ සිනමාපටය මෙය කිවුවත් හරි.
ඔබ මේක අභිප්‍රේරණ සිනමාපටයක් විදිහට හඳුන්වන්නෙ ඇයි?
ඇත්තම කිවුවොත් සමාජයේ අපි දකින්නෙම උත්තර තිබුණත් උත්තර හොයන්න යන්නෙ නැති ප්‍රශ්නනේ. අන්න ඒ උත්තර හොයන්න යන්නෙ නැති ප්‍රශ්නවලට උත්තර හමුවන සිනමාපටයක් කිවුවත් හරි. ඒ වගේම තරුණ පිරිසට තමන්ගේ ජීවිතය හරි විදිහට හරි මඟක ගෙනියන්න ගොඩක්ම වැදගත් වේවි. සමාජයේ හරි විදිහේ අයිකන් එකක් වෙන්නේ කොහොමද? තරුණකමත් එක්ක එන වැරදි ආකල්ප හොඳ සිතුවිලි බවට පත්කරගන්නෙ කොහොමද? කියන එකත් හොඳින්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි මවුපිය සෙනෙහසේ වටිනාකම, යහළුවන් තෝරා ගැනීමේ වැදගත්කම වගේම හොඳ නරක මුදලට සීමාකරන මිනිසුන් හැදුණු විට සමාජයට වන පරිහානිය ගැනත් හොඳින්ම වටහා දෙනවා. මං හිතන්නෙ නෑ මීට කලින් මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒකයි මං කියන්නේ ලංකාවේ නිර්මාණය වුණු පළමු අභිප්‍රේරණ සිනමාපටය මේක කියලා. මේ සිනමාපටය බැලුවට පස්සේ ඔයාලම තීරණය කරාවි මං කිවුව කිසිම දෙයක් වැරැදි නෑ කියලා.
ඔබ එහි වොනීෂා. කොහොමද ඒ අත්දැකීම?
වොනීෂා කියන්නේ කතාව පුරාවටම දිව යන චරිතයක්. මේ දිනවල පුංචි තිරය හරහා මගේ රංගන කුසලතාව උපරිමයෙන්ම පෙන්වන චරිතයකින් ඔබ හමුවෙනවා වගේම සිනමාව ඔස්සේ මාව වෙනස්ම විදිහකට දකින්න පුළුවන් චරිතයක්. සිනමාවත් පුංචි තිරයත් අතර මගේ රංගන පරාසයන් ප්‍රේක්ෂක ඔබට බලාගන්න පුළුවන් අවස්ථාවක්. උපරිම බරක් තියෙන චරිතයක්. සම්පූර්ණ කතාවම ගෙතිල තියෙන්නෙ වොනීෂා වටා කිවුවත් හරි. ලොකුවට කතා නොකරන හරිම සියුම් භාවයන් තියෙන චරිතයක්. වේදනාවෙන් ඉද්දි කාන්තාව හැසිරෙන්නේ කොහොමද කියන එක වගේම ආදරයත් එක්ක බැඳුණු කාන්තාවකගේ ප්‍රතිමූර්තියක් විදිහටත් මං ඇයව දකිනවා. හරිම ලස්සන චරිතයක්. දුක සතුට, වේදනාව, හොඳ නරක වගේ සියලුම හැඟීම් මුසුකරලා නිර්මාණය කරපු චිත්‍රපටයක්. ඔයාල බලලම ඒක තීරණය කරන්න කියලත් ඉල්ලනවා.
ඔබට වොනීෂා වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඒක විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. මෙහි තිරපිටපත රොනල්ඩ් සංජීවගේ. ඔහු තමයි අධ්‍යක්ෂවරයාට කියල තිබුණේ වොනීෂාට ගැළපෙන්නේ සුධීක්ෂා තමයි කියලා. මං ඔහුට ස්තුතිය පුදකරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. ප්‍රවීණයන් සහ නවකයන් ඇතුළු විශාල පිරිසකගේ රංගන දායකත්වය මේ සඳහා ලැබිල තියෙනවා.
සුධීක්ෂා සමාධි – ජනිත් වික්‍රමගේ ආදර කතාව ගැනත් කියමු නේද?
ඒක නම් ඉතින් හරේන්ද්‍ර අයියගේ වැඩක්. පුදුම විදිහට වයිරල් වුණා. හැමෝම හිතුවේ අපි දෙන්නා ඇත්තටම යාළුයි කියලා. වෙඩින් අනුග්‍රාහකයො අපේ වෙඩින් එක ගැන කතා කළා. අපි ඉන්න පොටෝ එක එක තැනින් හොයාගෙන සෑහෙන කාලෙක ඉඳන් තියෙන සම්බන්ධයක් ගාණට ගොසිප් හදලා ගොසිප් පේජ්වල ෂෙයාර් කරලා තිබුණා. ජනිත් අයියත් මට කතා කරලා කියනවා හරි වැඩේනෙ නංගි දැන් අපිට බඳින්නම වෙනවා කියලා. මාත් කිවුව ඔව්… ඔව් වෙඩින් අනුග්‍රාහකයොත් මට මේ කතා කරනව කියලා. ලැබෙන ප්‍රතිචාර අසීමිතයි. ගොඩක් අය සුබ පතලා තිබුණා. ඒක ඉතින් ෆිල්ම් ප්‍රමෝෂන් එකක් නේ. මේක හදලත් අවුරුද්දක් විතර වෙනවා. එදා ෆිල්ම් මීඩියා ෂෝ එක දවසේ තමයි රිලීස් කළේ. හරේන්ද්‍ර අයියගේ පේජ් එකේ වැඩිපුරම බලපු වීඩියෝ එකත් මේක.
මේක නිසා මංගේෂ්වරීට ලැබෙන ආදරය අඩු වෙයිද?
එහෙම වෙන එකක් නැහැ. මායාවීත් වෙනද වගේම ප්‍රතිචාර ලබනවා. මායාවී රූපරාමු සමඟ මනේජ් සංජය ගායනා කරන ‘ඔබ කියා දුන්නු පාඩම’ ගීතයත් මේ දවස්වල ගොඩක්ම ප්‍රතිචාර ලබනවා. ඉදිරියේදී ඒක මායාවී තීම් සෝන්ග් එක බවට පත්වේවි. සිරසෙ වැඩිපුරම ඩුවට් හැදුණු කැරැක්ටර් එකත් මංගේෂ්වරී කියල ඔවුන් කියනවා. සම්මාන ලැබුණත් නැතත් මංගේෂ්වරීට ලැබෙන මේ ප්‍රතිචාරවලින් මං සෑහීමකට පත්වෙනවා.
