
තිසරි කොහෙද ඔබ ජිවත් වෙන්නේ?
මම ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ තමයි ජීවත් වෙන්නේ.
මේ කාලේ ඔබ මොනවද කරන්නේ?
මම ඔස්ට්‍රේලියාවට ආවේ ඉගෙන ගන්න. 2021 අවුරුද්දේ මගේ ඉගෙනීම් කටයුතු අවසන් කළා. දැන් මම රැකියාවක් කරනවා.
පසුගියදා පැවති 36 වැනි ‘සරසවිය සම්මාන උලෙළෙ‘ හි වසරේ හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුවේ ඔබයි. ඔබට එය දැනෙන්නේ කොහොමද?
සම්මානය හිමිවීම මට වචනවලින් විස්තර කරන්න අමාරුයි. එය මට ලැබුණු ලොකුම ලොකු ගෞරවයක්. මම කොහෙත්ම හිතුවේ නැති දෙයක්. සම්මානය හිමිවුණේ අවුරුදු 12කට පස්සේ තිරයට ආව මින්නු චිත්‍රපටයට. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ‘සරසවිය සම්මාන උලෙළට සහ එහි ජූරියට මට මේ ගෞරවය ලබා දුන්නට. ඒ වගේම අසෝක අන්කල්, රේණු ආන්ටි, සුනිල් ටී. ප්‍රනාන්දු අන්කල් වගේම මා එක්ක රඟපෑ හර්ෂ තෙන්නකෝන් අයියා, මේනකා අක්කා සහ දිල්හානි අසෝකමාලා ආන්ටි වගේම මගේ අම්මත් මේ චිත්‍රපටයේ මා එක්කම රඟපෑවා. මේ හැමෝගෙම සහයෝගය නිසයි මට මේ සම්මානය ලැබුණේ.
කොහොමද පූර්ණිමා වෙන්න අවස්ථාව ලැබුණේ?
මට මේ අවස්ථාව ලැබෙන්නේ මගේ අම්මා හරහා. සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ලියූ මේ පිටපත ගැන අම්මා දැනගෙන අසෝක අතාවුදහෙට්ටි මහතා හමුවෙලා කතා කළාට පස්සේ මාව එක්කගෙන ගියා ඔඩිෂන් එකට. එදා ඒ ඔඩිෂන්වලින් තේරිලා තමයි මට මේ චරිතේ ලැබුණේ.
හිතුවද එදා මේ තරම් දුරක් ඔබව ඒ චරිතේ අරගෙන එයි කියලා?
මට අවුරුදු 16දී මින්නු චිත්‍රපටයේ පූර්ණිමාගේ චරිතේ රඟපෑවේ. එදා මම කොහෙත්ම හිතුවේ නැහැ මේ වගේ සම්මානයක් මට ලැබෙයි කියලා. අවුරුදු 12ක් ගත වුණා චිත්‍රපටය තිරගත වෙන්නත්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මට පූර්ණිමා කියන චරිතේ රඟපාන්න අසෝක අන්කල් ලබා දුන්නු සහයෝගය. ඒ දුන්නු ගුරුහරුකම් උපදෙස් නිසා තමයි මට අවස්ථාව ලැබුණේ පූර්ණිමා චරිතෙට සාධාරණයක් කරන්න. ඒ සාධාරණය නිසා තමයි මෙවර ‘සරසවිය සම්මාන උලෙළ‘ දී වසරේ හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි කර ගන්න අවස්ථාව උදා වුණේ.
අපි පොඩ්ඩක් මතක් කරමුකෝ තිසරි කොහොමද කලාවට යොමු වුණේ කියලා?
මගේ අම්මා නීතා සමරනායක. ඇයත් රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කළා. මම මුලින්ම රඟපෑවේ අම්මා එක්ක වෙළඳ දැන්වීමක. ඊට පස්සේ මම රඟපෑවා දඟයන්ට පමණයි කියන ළමා නාට්‍යයක. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති. ඒක අධ්‍යක්ෂණය කළේ ලක්ෂ්මන් විජේසේකර අන්කල්. ඊට පස්සේ මම රඟපෑවා ටිකිරි සහ උංගි කියන නාට්‍යයේ උංගිගේ චරිතය. ඒ චරිතයට රයිගම් සම්මාන උලෙළේ දී කුසලතා සම්මානය ලැබුණා. ඊට පස්සේ සුමති සම්මාන උලෙළේ දී ලක්ෂ්මන් අන්කල් සහ මම සම්මාන ලැබුවා. මම ගොඩක්ම රඟපෑවේ පාසල් යන කාලේ. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනය ලබන්න විදෙස්ගත වුණා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
එහෙම දැනට කරපු නිර්මාණ මුකුත් නැහැ. පොඩි කාලේ ඉඳන් අම්මා රඟපානවා දැකලා ඒ දර්ශන තලවල ඉඳලා මමත් රඟපෑමට යොමු වුණා. මම ලෝකේ ආසම දේ රංගනය. ඒ නිසා මට හොඳ ඇරයුමක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම භාර ගන්නවා.
පවුලේ විස්තර මොනවද?
අම්මා නීතා සමරනායක. අම්මා දැන් රඟපාන්නේ නැහැ. අම්මා මේ වෙද්දී මහණ වෙලා ඉන්නේ. මම විවාහ වුණෙත් 2021 වසරේ, අම්මා මහණ වුණෙත් 2021 මැයි මාසේ දී. අම්මා කොහොමත් කියලා තිබුණේ මම විවාහ වුණාට පස්සේ අම්මා මහණ වෙනවා කියන එක. මගේ අම්මා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මගේ අප්පච්චි සහ අයියා ඉන්නේ ලංකාවේ. මේ වෙද්දී මම විවාහකයි. මගේ සැමියා ඉන්නෙත් ඔස්ට්‍රේලියාවේ.
සම්මානය අරන් අම්මාව බලන්න ගියා ද?
මම 36 වැනි ‘සරසවිය සම්මාන උලෙළට ආවේ අම්මා එක්ක. මාව කවුරුවත් වැඩිය නොදන්නා නිසා සරසවි සම්මාන උලෙළේ මගේ හයියට මගේ අම්මා මා එක්ක හිටියා. ඒත් අම්මා දැන් වෙනත් මඟක් ඔස්සේ ගමන් කරන නිසා කැමරා ඉදිරියට එන්න කැමැති වුණේ නැහැ.
ඔස්ට්‍රේලියාවේම ජිවත් වෙන්න ද තීරණය කරලා තියෙන්නේ?
අපි දෙන්නම මෙහෙ ඉන්න නිසා දිගටම මෙහෙ ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වුණත් විවේකයක් ලැබුණු ගමන් ලංකාවට එනවා. ගිය මාර්තු මාසෙත් මම ලංකාවට ආවා.
මේ ලෝකේ මම කරන්න ආසම දේ රඟපෑම නිසා මම කොහේ හිටියත් රංගනයට අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන සලකා බලනවා.
