
මේ දවස්වල මමයි මගේ සැමියයි ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. ඒකේ නම Dreams by Amanda. ඉතින් ඒකෙ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව පහුගිය කාලයේ පුබුදු චතුරංග අයියා එක්ක සිනමා පටයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ පූජිත ගුණතිලක අයියා. බොහෝ දුරට එම චිත්‍රපටය මේ වසරේදී තිරගත වේවි. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ලස්සන වැඩ ගැනත් ඉදිරියේදී කියන්නම්.
මේ හැබෑ වුණේ පුංචි කාලේ දැකපු හීනයක්ද?
ඇත්තම කිව්වොත් නිරූපණ ශිල්පිනියක් වීම මම හරිම ආසාවෙන් හිටපු දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. ඉස්සර පාසල් යන කාලයේදී බොහෝ දෙනා මම ගොඩක් උසයි, කෙට්ටු වැඩියි, මම ලස්සන නැහැ කියලා කිව්වා. ඒකට මට ගොඩක් දුක හිතුණා. ඒ කාලේ මම හරිම ආසාවෙන් රූපවාහිනියේ විකාශනය වුණු Fashion TV වැඩසටහන බැලුවා. ඒකෙ වැඩිපුරම හිටියෙත් මම වගේම උස කෙට්ටු ගැහැනු ළමයි. හැබැයි ඒ කාලේ ඒ වගේ වැඩසටහන් බලන එක මගේ තාත්තා තහනම් කරලයි තිබුණේ. ඉතින් කොච්චර තහනම් කරලා තිබුණත් තාත්තා නැති වෙලාවට මම ඒ වගේ විලාසිතා සම්බන්ධ වැඩසටහන් බැලුවා. එහෙම ඒ වැඩසටහන් බලද්දි ඇයි මගේ යාළුවෝ මට මෙහෙම විහිළු කරන්නේ කියලා මම කල්පනා කළා. ඒක ඒ කාලේ මගේ පුංචි හිතට තදින්ම දැනුණු දෙයක් වුණා. ඒ නිසාම නිරූපණ ශිල්පයට මම හරියට ආසා කළා.
රඟපාන්න අවස්ථාව ලැබුණේ අඩුවෙන්ද?
සමහර වෙලාවට මටත් හිතෙනවා මට අවස්ථාව ලැබුණේ අඩුවෙන් කියලා. හැබැයි සමහර නිර්මාණ විවිධ හේතු නිසා මම බාරගත්තේ නැහැ. හොඳ විදිහට මට අවස්ථාව ලැබුණානම් මීට වඩා නිර්මාණවලට දායක වෙන්න තිබුණා. හැබැයි ඒ ගැන මට දුකක් නැහැ.
නිරූපණ ශිල්පිනියක් වෙන්න හිතුවේ ඇයි?
කොහොමටත් මගේ ආසාව වෙලා තිබුණේ නිරූපණ ශිල්පිනියක් වීමයි. ඒ වගේම මම ටිකෙන් ටික ලොකු වෙද්දි මගේ උස, ඇඟ, පෙනුම නිරූපණ ශිල්පිනියකට සුදුසු විදිහට හැඩගැහුණා. පුංචි කාලේ ඉඳන් මම ගොඩක් නිරූපණ ක්ෂේත්‍රයට ආසාවෙන් හිටපු කෙනෙක් නිසා ඒක මට දෙවියන් දීපු තෑග්ගක් කියලයි මට වෙලාවකට හිතෙන්නේ. ඉතින් බොහෝ දෙනා මට හිනා වුණු හේතු ටිකම මගේ වාසනාවටත් හේතු වුණා.
ඒ වෙනුවෙන් ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නැහැ. පුංචි කාලේ ඉඳන් මගේ ළඟින්ම මගේ තාත්තා හිටියා. තාත්තා හැම වෙලේම මාව ආරක්ෂා කළා. එයා ඇත්තටම වචනයේ පරිසමාර්ථයෙන්ම තාත්තා කෙනෙක්. ඒ වගේම මගේ නංගිවත් ආදරයෙන් මතක් කරන්නම ඕනෑ. ඒ කාලේ එයා පොඩි වුණත් එයාට පුළුවන් විදිහට මට උදව් කළා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මට ගෙදරින් උපරිමයෙන්ම සහයෝගය ලැබුණා.
පාසලෙදි මොන වගේ චරිතයක්ද?
පාසලේදි මම හරිම තැන්පත් ළමයෙක්. පොඩ්ඩක්වත් දඟ වැඩ කළේ නැහැ. කවුරු හරි මොනවා හරි කිව්වත් ඉක්මනට හිත රිදවා ගන්නවා. ඒ තරමටම මම හරිම සංවේදී ළමයෙක්. ඒ හැම දුකක්ම මම ගෙදර ආවට පස්සේ කියනවා. අක්කා ඔයා බය වෙන්න එපා... මට ඒ අය පෙන්නන්න. මම ඇවිත් ඔක්කොටම බණිනවා... කියලා මගේ නංගි කියනවා. හැබැයි කොච්චර කිව්වත් ඒ බැනපු අයව මම කවදාවත් නංගිට පෙන්නලා නෑ. ඒ විදිහට පාසල් ජීවිතය ගත කරපු මම අද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමම පුදුමයක්.
ඩයස්ව මුණගැහුණේ කොහොමද?
එයාව මට මුණගැහුණේ ‘තාත්වික’ කියන එක්තරා වැඩසටහනකදි. ඒ මුණගැහීම අපිව හොඳ යාළුවෝ කළා. අපි කාලයක් තිස්සේ හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කළා. එහෙම ආශ්‍රය කරද්දි එයාගේ සිතුම් පැතුම්, එයා මාව පරිස්සම් කරන විදිහ, මම ගැන හොයලා බලන විදිහ අනුව මට සුදුසුම කෙනා එයා කියලා මට තේරුණා. ඉතින් කාලයත් එක්ක ඒ හැමදේම ලස්සනට වුණා.
අද ඔහු එක්ක ගත කරන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
එයා හරිම ආදරණීය මනුස්සයෙක්. එයාගේ ජීවිතේ හැමදේටම වඩා උඩින්ම ඉන්නේ මමයි. මේක මම කියන දෙයක් නෙමෙයි, එයා කියන දෙයක් වගේම මට දැනෙන දෙයක්. මාව සතුටින් තියන එක තමයි එයාගේ සතුට. මටත් දැන් එහෙමම තමයි. ඉතින් එයාගේ මගේ ජීවිත හරි ලස්සනට ගත වෙනවා.
ඔහු ගෙදරත් නීති දානවද?
ඔහු සේවය කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ. එයා හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. කවදාවත් මට කිසි දේකට නීති රීති දාන්නේ නැහැ. එයාව මාව හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළාට එයා රස්සාව නිසා ජීවිතයට අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ.
අමන්දා... නිවාඩු පාඩුවේ ඉන්නකොට මොකද කරන්නේ?
අපි දෙන්නා විනෝදයට සවාරි යන්න හරි ආසයි. ගෙදර ඉන්න දවස්වලට අපි දෙන්නා ආසා කෑම අපි දෙන්නාම එකතුවෙලා හදනවා. ඒ වගේම චිත්‍රපට බලනවා. අපිට ‘අමන්දා ඩයස්’ නමින් යූටියුබ් නාලිකාවක් තියෙනවා. ඒකටත් අපි වීඩියෝ එකතු කරනවා.
මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මේ වගේම හරිම සතුටින් සැහැල්ලුවෙන් හැමෝම එක්ක ආදරයෙන් නිදහසේ කාලය ගෙවන්න අපි දෙන්නම කැමතියි.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ
