අමුතු ආතල් දිදී සින්දු කියන මෝගන් ජේ

gossiplanka image 1
ඔන්න මචෝ අද Y Trend වෙනස්. Trending Character එකක් ගැන තමා අද Chat එක. ඔහු ලෝකයම දන්න අලු‍ත්ම Trend එකක් නිර්මාණය කරපු ඇමෙරිකානු සංගීතඥයෙක්. මේ දවස්වල TikTok, YouTube වගේම Facebook වගේ සමාජ මාධ්‍යවල මෙහෙම වීඩියෝ කෑලි සුදාලා දැකලා තියෙනවද? විශාල ශාලාවක සංගීත ප්‍රසංගයක් කරන ගමන් පිස්සු ගායකයෙක් මිනිස්සුන්ගෙන් එක එක ප්‍රශ්න අහනවා. වැඩේ වෙන්නේ සාමාන්‍ය විදිහට නෙවෙයි. ප්‍රශ්න ඔක්කොටම සින්දුවකින් වගේ උත්තර ලැබෙන්නෙත් ඒ විදිහට. බලාගෙන ඉන්න හැමෝටම මේ ගායන ශිල්පියා ලොකු ආතල් එකක් දෙනවා.


ඒ තමා Morgan Jay කියන ඇමෙරිකානු කලාකරුවා. ඔහු මේ වෙනකොට ලෝකයේම කටින් කට යන "Auto-Tune Comedy" කියන අලු‍ත්ම සංගීත ප්‍රවණතාවේ නිර්මාතෘවරයා. ඔව් මචෝ, මේක නිකම්ම සින්දුවක් කියන සීන් එකක් නෙවෙයි. කොමඩියත් එක්ක සින්දු කියන අමුතුම විදිහෙ ආතල් එකක්.


Morgan Jay කියන්නේ හුදෙක්ම සංගීතඥයෙක් විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ප්‍රහසන ශිල්පියෙක් (stand-up comedian), නළුවෙක් සහ මේ වෙනකොට මිලියන ගණනක රසික පිරිසක් ඉන්න සමාජ මාධ්‍ය තරුවක්. ඔහු ප්‍රසංග කරනකොට ප්‍රේක්ෂකයන් එක්ක කෙලින්ම කතා කරනවා. එයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවලට ලැබෙන උත්තර ක්ෂණිකව Auto-Tune කරලා හාස්‍යජනක ගීත බවට පත් කරනවා.


චුට්ටක් හිතන්න මචෝ, ඔයා ප්‍රසංගයක් බලන්න ගිහින් ඉන්නකොට ප්‍රධාන ගායකයා ඇවිල්ලා ඔයාගෙන් මොනවා හරි ඇහුවොත්, ඒක ක්ෂණිකව සින්දුවක් වෙලා වේදිකාවේදී play වුණොත්! මාරයි නේද? සිරාවටම ඒක වෙන විදිහක ආතල් එකක්. Morgan Jay ගේ නිර්මාණ විශේෂ වෙන්නේ ඔහුගේ මේ ක්ෂණික හැකියාව නිසයි. මෝගන් Auto-Tune මයික්‍රෆෝනයක් පාවිච්චි කරලා, ප්‍රේක්ෂකයන්ගේ අදහස් සින්දු බවට පත් කරනවා. මේක "Improve Comedy" (ක්ෂණිකව නිර්මාණය කරන හාස්‍ය) සහ සංගීතය එකට එකතු වීමක්.


ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් අහන්නෙ ගොඩක් වෙලාවට සාමාන්‍ය ජීවිතයේ සිදුවීම්, සම්බන්ධතා, හෝ විහිළු සහගත තත්ත්වයන් ගැන ප්‍රශ්න. උත්තර ලැබුණු ගමන්ම, ඔහු ඒ උත්තරත් Auto-Tune කරලා, ඔහුගේම සංගීත තනුවක් එක්ක සින්දුවක් බවට පත් කරනවා. මේ එකම මොහොතක වෙන දෙයක්. මේකෙ පිටිපස්සේ ලොකු තාක්ෂණයක් තියෙනවා.


Morgan Jay මේ තරම් ජනප්‍රිය වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ. විශේෂයෙන්ම TikTok සහ Instagram ඔහුගේ ප්‍රසංග වීඩියෝ Clip මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ගියා. ඔහු ප්‍රේක්ෂකයන් එක්ක ගනුදෙනු කරන විදිහ, ඒකටAuto-Tune තාක්ෂණය පාවිච්චි කරන විදිහ, මේ හැමදේම අලු‍ත් නිසා මිනිස්සු ඉක්මනටම ඒකට වශී වුණා. COVID-19 කාලෙදී ඔහුගේ පැරණි වීඩියෝ TikTok එකේ shareවෙන්න ගත්තට පස්සේ ඔහුගේ ජනප්‍රියත්වය අහස උසට නැග්ගා. "Just Friends?" කියන ඔහුගේ TikTok වීඩියෝව මිලියන 129 කට වඩා වැඩි වාර ගණනක් නරඹලා තියෙනවා කියන්නේ මේකට හොඳම උදාහරණය.


Morgan Jay පටන් ගත්ත මේ "Auto-Tune Comedy" trend එක දැන් ලෝකය පුරාම පැතිරෙමින් යනවා. ඔහුගේ වීඩියෝ බලලා තවත් ගොඩක් අය මේ වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. ඒත් Morgan Jay තරම් සාර්ථක වෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව ඔහුට තියෙන ක්ෂණික දක්ෂතාවය, සංගීත දැනුම සහ හාස්‍ය එකට මුසු කිරීමේ හැකියාව. මොකද ඇත්තටම ඔහු හොඳට ඉගෙන ගත්ත සංගීතය පිළිබඳ උපාධියක් තියෙන හොඳ සංගීත තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක්. හැබැයි ඔහු වේදිකාවේ සහ ප්‍රේක්ෂකාගාරයේ හැසිරෙන විදිහට නම් පේන්නේ අමු පිස්සෙක් කියලා.


කොහොම හරි දැන් TikTok එකේ challenge එකක් වගේ මේ සීන් එක පැතිරිලා යනවා. මේ වෙනකොට Morgan Jay දැනට ඇමෙරිකාව පුරාම "The Goofy Guy Tour" නමින් ප්‍රසංග මාලාවක් පවත්වනවා. ඊට අමතරව ඔහු බ්‍රසීලය, ඩුබායි වගේ රටවලත් ප්‍රසංග පවත්වලා තියෙනවා. ඔහු යන යන තැන ප්‍රසංග ශාලා පිරිලා ඉතිරිලා යනවා. ඔහුගේ ප්‍රසංග බලන්න මිනිස්සු විශාල මුදලක් ගෙවලා ටිකට්පත් ගන්නවා. ඒකෙන්ම පේනවා ඔහුගේ ජනප්‍රියත්වය කොච්චරද කියලා.


Morgan Jay ට විශාල රසික පිරිසක් ඉන්නවා. ඔවුන් ඔහුගේ ප්‍රසංගවලට සහභාගි වෙනවා විතරක් නෙවෙයි, සමාජ මාධ්‍යවල ඔහුගේ වීඩියෝ share කරනවා. Comment කරනවා. තවත් අයට ඔහු ගැන කියනවා. ඒක Morgan Jay ගේ සාර්ථකත්වයට ලොකු ශක්තියක්. ඔහුගේ රසිකයන් කියන්නේ ඔහු ඉතාමත් අවංක, දක්ෂ සහ විනෝදජනක කෙනෙක් කියලා.


Morgan Jay ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන වැඩිය ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. පවුලෙන් උදව් ලැබුණා කියලා නම් ඔහු කියලා තියෙනවා. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙන පොඩි පොඩි සමාජ ශාලා වගේ තැන්වල සින්දු කියලා, ප්‍රහසන වැඩ කරලා තමා ඔහු ක්‍රමයෙන් මේ විදිහේ තැනකට එන්නේ. ඔහු රංගනය, සංගීතය, ප්‍රහසනය, මේ හැමදේම එකට අති දක්ෂයෙක් කියලා මේ වන විට ඔප්පු කරලා හමාරයි. ඒක නිසා තමයි ඔහු අද මේ තරම් සාර්ථක වෙලා ඉන්නේ.


මචෝ, ප්‍රේක්ෂකයන්ගෙන් අහන ප්‍රශ්නයකට ක්ෂණිකව සින්දුවක් හදලා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හරියට හිටිවන කවි, වාද බයිලා වගේ තමා. ඒකට විශාල ක්ෂණික බුද්ධියක්, සංගීත දැනුමක් සහ හාස්‍ය පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනෑ. Morgan Jay ට මේ හැමදේම තියෙනවා. ඒ නිසා Morgan Jay ගේ අනාගතය හරිම දීප්තිමත්. ඔහුට තව තවත් අලු‍ත් දේවල් කරන්න පුළුවන්. ඔහුට ලෝකයේ ප්‍රමුඛ පෙළේ කලාකරුවෙක් වෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි. අපි බලමු ඉදිරියේදී ඔහු තවත් මොනවගේ අලු‍ත් "Trends" නිර්මාණය කරයිද කියලා.


තවත් අතකින් මචෝ Morgan Jay කියන්නේ නව පරපුරේ කලාකරුවන්ට හොඳ ආදර්ශයක්. සාම්ප්‍රදායික දේවල්වලින් පිට පැනලා, තමන්ගේම අලු‍ත් දෙයක් නිර්මාණය කරලා සාර්ථක වෙන්න පුළුවන් කියලා ඔහු ඔප්පු කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයට යන්න තියෙන අවස්ථාව කොච්චරද කියලා ඔහු අපිට පෙන්නලා දීලා තියෙනවා.


ඔව්, Morgan Jay තනියම කරපු නිර්මාණ (singles) සහ ඇල්බම කිහිපයක්ම තියෙන බවත් මතක් කරන්න ඕනෑ. ඔහු ප්‍රධාන වශයෙන්ම වේදිකා ප්‍රසංග සහ කෙටි සමාජ මාධ්‍ය වීඩියෝවලින් ප්‍රසිද්ධ වුණත්, ඔහුගේ සංගීත නිර්මාණ, විවිධ streaming platforms ඔස්සේ බලාගන්න පුළුවන්. කැමතිනම් මේ නිර්මාණ සහ ඇල්බම් ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.


Oh No! (2020) මේක තමා ඔහුගේ මුල්ම ඇල්බම් එක. ඔහුගේ හාස්‍යජනක සංගීත ශෛලිය හොඳින් නිරූපණය කරන නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟට Morgan Jay (Self-Titled Album) එකේ ඔහුගේ ප්‍රසංගවල ජනප්‍රිය ගීත කිහිපයක් සහ නව නිර්මාණ අඩංගු වෙලා තියෙනවා. The World is a Little Bit Prettier (2023) තමා අවසානයට නිකුත් වුණු ප්‍රධානම ඇල්බම් එක වුණේ. මේකෙත් ඔහුගේ ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ගීත ඇතුළත් වුණා. "The World is a Little Bit Prettier" වැනි ගීත ඒ අතරින් විශේෂයි.


මේ අපූරු කලාකරුවාගේ තනි නිර්මාණ විදිහට කතා කරන්න ඕනෑ නිර්මාණ කිහිපයකුත් තියෙනවා. "Just Friends?" අපි කලිනුත් කිව්ව විදිහට මෙය TikTok හි අතිශයින් ජනප්‍රිය වූ ගීතයක් මචෝ. මිතුරු සම්බන්ධතාවක සීමා ගැන හාස්‍යයෙන් කතා කරන එක තමා මෙතැන සිද්ධ වෙන්නේ. ඊළඟට "Quarantine" ඒක Covid-19 වසංගතය අතරතුර නිපදවූ හාස්‍යජනක ගීතයක්. එතකොට "My Phone" කියන්නෙ දුරකථනයට ඇබ්බැහිවීම ගැන කියවෙන හාස්‍යජනක ගීතයක්.


අන්තර්ජාලයේ විස්තර හොයලා Morgan Jay වගේම ඔහුගේ නිර්මාණ ගැනත් ගොඩක් තොරතුරු දැන කියාගන්න සුදාලට පුළුවන්. ඔහුගේ බොහෝ ගීත යම්කිසි අවස්ථාවක් හෝ මාතෘකාවක් වටා ගෙතුණු හාස්‍යජනක අර්ථකථනයක් වන ගීත වීම විශේෂත්වයක්. අනිත් අතට Auto-Tune තාක්ෂණය සහ ඔහුගේ ගිටාර් වාදනය එක් වී තිබීමෙන් මේක අලු‍ත් සංගීත ශානරයක් බවට පත්වෙලා තියෙනවා.


ඉතින් මචෝ අවසාන වශයෙන් කියන්න ඕනෑ කතාවක් තියෙනවා. Morgan Jay කියන්නේ නිකම්ම සංගීතඥයෙක් විතරක් නෙවෙයි, ඔහු මේ සමාජ මාධ්‍ය යුගයේ කලා ලෝකයේ අලු‍ත් මානයක් විවෘත කරපු දක්ෂයෙක්. ඔහුගේ මේ "Auto-Tune Comedy" Trend එක තවදුරටත් ලෝකය පුරා පැතිරෙයි කියලා අපිට විශ්වාසයි. මේ පාර Y Trend ඔහු වෙනුවෙන්ම වෙන් කළේ ඒ නිසාමයි.


• චමිඳු නිසල් ද සිල්වා

gossiplanka image 2
Previous Post Next Post