ඉතිහාසය අමතක කරලා අපිට නැඟිටින්න බෑ - දිනෙත් ඩී සිල්වා

gossiplanka image 1
ඉතිහාසය ගැන විශාල කතාවක් ඇතිවෙලා තියෙන මේ කාලයේ, අපිට අමතක වුණු අපේ ඉතිහාසය නැවතත් සමාජය ඉදිරියට අරගෙන එන්න කලා නිර්මාණ විශාල කාර්ය භාර්යයක් ඉටු කරනවා. ඒ අතරිනුත් ලංකා ඉතිහාසයේ ඓතිහාසික ශානරයේ නිර්මාණවල සුවිශේෂී මංසන්ධි වුණු, අලෝකෝ උදපාදී, දස්කොන්, යශෝධරා, වැනි නිර්මාණ හරහා මෙන්ම මේ දිනවල අති සාර්ථකව තිරගත වන දේවි කුසුමාසන හරහා ඔබ හමුවට එන මෙම රංගන ශිල්පියා, ඉතිහාසය අපේ  දෑස අභිමුව චිත්‍රනය කිරීමටම උපන්නෙක් යැයි සිතෙන්නේ ඔහුගේ රංගනය එතරම් ප්‍රභල නිසා, මේ දිනවල දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර ලෙස වඩාත් ප්‍රචලිත ඔහු ජනප්‍රිය රංගන ශිල්පී දිනෙත් ඩී සිල්වා.


මේ දවස්වල මොකද වෙන්නේ කියලම කතාව ආරම්භ කරමු?


මේ දවස්වල දේවි කුසුමාසන චිත්‍රපටය නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ,  මේ වෙද්දි දින හැටකට වැඩි කාලයක් පුරා සාර්ථකව චිත්‍රපටය තිරගත වෙනවා. පහුගිය දිනවල දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් තමයි වැඩි වශයෙන් කාලය යෙදෙව්වේ. ඊට අමතරව සරත් ධර්මසිරි මහත්මයාගේ කුඩහපොළ හිමි කියන චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කරා. ඒ වගේම මේ දවස්වල තවත් නිර්මාණ කටයුත්තකට සූදානම් වෙමින් ඉන්නවා.


‘දේවි කුසුමාසන’ මේ වෙද්දි කෝටි 100 ඉක්මවා ආදායමක් ලබපු බව වාර්තා වෙනවා ඒ ගැනත් කියමු?


ඔව් ඇත්තටම දේවි කුසුමාසන කියන්නේ ලයිකා ආයතනය විශාල පිරිවැයක් දරලා කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට උදාරි, හේමාල්, මම ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් බොහෝ ප්‍රමාණයක් දායක වුණා. මෙහි අධ්‍යක්ෂවරයා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. එතුමා ඉතාමත් විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක්. විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක් හා චිත්‍රපට ප්‍රමාණයක් කරපු අති දැවැන්ත පෞරුෂයක්. ඇත්තටම එතුමා එක්ක වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. මේ චිත්‍රපටය වෙනුවෙන් අපි හැමෝම විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒ මහන්සිය වෙනුවෙන් මේ වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක හොඳ නිර්මාණයක් කරලා ප්‍රේක්ෂකයන්ට ලබාදීපු, ඒ නිර්මාණයට දායක වුණු ශිල්පීන් විධියට අපිට නිහතමානි ආඩම්බර කමක් දැනෙනවා.


ඔබ මෙහි දායක වෙන්නේ දොන් පිලිප්ගේ චරිතයට, ඒක මොන වගේ අත්දැකීමක් වුණාද?


ඇත්තටම මට මේ චරිතය ලැබුණම, මම ඒ සම්බන්ධයෙන්  ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා සමඟ එහි ගලායෑම ගැන කතා කළා. ඒ වගේම මමත් පෞද්ගලිකව ඒ චරිතය ගැන සොයා බලලා අවසානයේ අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරලා ඒ ගැන අවබෝධය ලබා ගත්තා. ඒ වගේම මේ මේ චිත්‍රපටයේ එක් සටන් ජවනිකාවක් තියෙනවා දොන් පිලිප් විධියට මා හා දොන් ජෝන් විධියට හේමාල් සමඟ. ඒ සටන් ජවනිකාව මේ චිත්‍රපටයේ බොහොම කතාබහට ලක් වුණු දර්ශනයක්. මේ සටන් ජවනිකාව වෙනුවෙන් ඇත්තටම අපි මාසයක් පමණ කාලයක් පුහුණුවීම් කළා. වසන්ත කුමාරවිල මහතා  තමයි මෙහි සටන් අධ්‍යක්ෂවරයා. ඔහු එතැනදි අපිට විශාල සහයක් ලබා දුන්නා. ඇත්තටම මේ වගේ ඓතිහාසික චරිතයකට පණ පොවන්න ලැබීමත් භාග්‍යයක්.


දේවි කුසුමාසන තිරගත වෙන්න කලින් එය සාර්ථක වෙන එකක් නැහැ කියලා කියපු කතා අද බොරුවක් වෙලා නේද?


ඇත්තටම  අපිට ඉතිහාසයෙන් වියුක්ත වෙලා ජීවත් වෙන්න බැහැ. අපේ ඉතිහාසය ලෝකයේ බොහෝ තැන්වල කතා වෙන ලෝකයේ කිසිවකුට නොදෙවැනි ඉතිහාසයක්. අපිට අපේ රට  මේ ඉතිහාසය හරහා ලෝකය වෙත අරගෙන යන්න ඉතාමත් පහසුයි. අපි ඉතිහාසය තුළින් නැඟිටපු ජාතියක්. අද වෙද්දි සංචාරක කර්මාන්තය පවා බොහෝ විට පාදක වෙලා  තියෙන්නේ මේ ඉතිහාසයේ කරපු, කියපු දේවල් නිසා. ඉතිං  අපිට කිසිම දවසක මේ ඉතිහාසය අමතක කරලා නැඟී සිටින්න බැහැ. එහෙම කළොත් ඒක අපි අපිටම කරන විනාශයක් විධියට මම දකින්නේ. මිනිස්සුන්ට විවිධ අදහස් පළ කරන්න පුළුවන්. නමුත්  ඉතිහාසය ඇසුරෙන් අපි සාර්ථක නිර්මාණයක් කරනවා නම්, ප්‍රේක්ෂකයා අදටත් බලන්න කැමැත්තෙන් ඉන්නවා කියලා මේ වෙද්දි ඔප්පු වෙලා තියනවා. ඇත්තටම මේ වෙද්දි දේවි කුසුමාසන ලක්ෂ 1000 ඉක්මවලා ආදායමක් ලබලා තියෙනවා. තව අවුරුදු ගාණක් ගියත් අපේ රටේ ඉතිහාසය ඇසුරෙන් සිද්ධ වෙන සාර්ථක නිර්මාණ ප්‍රේක්ෂකයා වැලඳගනී කියන අදහස මට තියෙනවා.


නිතරම ඓතිහාසික ශානරයේ නිර්මාණවලට දායක වීම ඔබේ රංගන පරාසයන් පෙන්වීමට බාධාවක් නෙවෙයිද?


මේ මොහොතේ මම වැඩි වශයෙන් ඓතිහාසික ශානරයේ නිර්මාණවලට දායක වුණාට ඉන් පිටත රාමුවේ නිර්මාණත් කරලා තියෙනවා. ඒ ගැන හිතද්දි මට හිතෙනවා මගේ සිනමා ආගමනය සිද්ධ වුණේ ඓතිහාසික නිර්මාණයක් හරහා නිසා එවැනි දේකට කොටු වුණාද කියලා, නමුත් මම මෙතෙක් කරලා තියෙන ඓතිහාසික නිර්මාණ වේවා, අනෙකුත් නිර්මාණ වේවා ඒ හැම එකකම එකකට එකක් වෙනස් ස්වරූපයේ චරිත තමයි මම කරලා තියෙන්නේ.දේවි කුසුමාසන වේවා, යශෝධරා වේවා, හිතුමතේ ජීවිතේ වේවා, මේ හැම චිත්‍රපටයකම එකිනෙකට වෙනස් චරිතවලට තමයි මම දායකත්වය දුන්නේ. රංගන ශිල්පියෙක් විධියට මම කොහොමත් එක තැනකට කොටු වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. සමහරවිට මට ඓතිහාසික ශානරයේ නිර්මාණ වැඩි වශයෙන් ලැබෙන්න මොකක් හෝ හේතුවක් ඇති. සමහරවිට අතීතයේ දේවල් මේ විධියට ප්‍රේක්ෂකයාට පෙන්නන්න අවස්ථාව ලැබෙන්න ඒ දේවල් එක්ක මොකක් හෝ බැඳීමක් ඇති කියලා හිතුණු වෙලාවලුත් තියෙනවා.


මේ වෙද්දි ඔබේ නිරූපණ වැඩකටයුතුවල තත්ත්වය කොහොමද?


ඇත්තටම නිරූපණය තමයි මගේ ආරම්භය. මම අදටත් නිරූපණ වැඩ කටයුතු කරනවා. නමුත් මේ තියෙන කාර්යබහුලකම නිසා සමහර වෙලාවට වෙනදා තරම් ඒ වෙනුවෙන් කාල වේලාව ලැබෙන්නේ නැහැ. නමුත් පුළුවන් හැම වෙලාවකම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙනවා.


රංගනයේදී ඒ පිළිබඳව හැදෑරීමක් තිබීම අවශ්‍යමද?


ඔව් අනිවාර්යයෙන්ම. මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයේ හැදෑරීම් කළේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ, ඊට පස්සේ තමයි මම නිරූපණයට එක්වුණේ. ඔය විධියට නිරූපණයේ යෙදෙන අතරතුර රංගනයට එක් වුණාම නිරූපණය සහ රංගනය අතර තිබෙන වෙනස මට තේරුණා. එතැනදී මම අවබෝධ කර ගත්තා රංගනය හරියට කරන්න නම් ඒ පිළිබඳව හැදෑරීම අත්‍යවශ්‍යයි කියන දේ. රංගන කියන්නේ කවදාවත් හදාරලා ඉවර කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. රංගනයේදී අපි නිරූපණය කරන්නේ චරිත, ඉතිං මේ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. චරිත ලක්ෂණ  කියන දේ ජීවිතේ තිබෙන තුරු හදාරලා ඉවර කරන්න බැහැ. ඒ නිසා මම අදටත් රංගනය පිළිබඳව ස්වයං අධ්‍යනයක යෙදෙනවා. ඊට අමතරව මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා සහ අනෝජා වීරසිංහ මහත්මිය වගේ ප්‍රවීණයන් යටතේත් රංගනය පිළිබඳව හදාරලා තියෙනවා.


අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?


ඉදිරියේදී මම දායක වුණු අග්නික කියලා සිනමා නිර්මාණයක් එන්න තියෙනවා. ඊට අමතරව කුඩහපොළ හිමි කියලා චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒ වගේම මම පසුගිය මාසවල දායක වුණා කොටස් විස්සක ටෙලි නාට්‍යයකට ඒකේ නම නුරාමණී. ඒකත් රූගත කිරීම් කරලා ඉවරයි. ඉදිරියේදී ඉක්මනටම විකාශය වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඔය දේවල්වලට අමතරව තව නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post