අපිත් කාලයේ හැටියට හැඩගැහෙන්න ඕනෑ -ගීතා කාන්ති

gossiplanka image 2
රංගන ශිල්පිනියක, නිවේදිකාවක, හඬගැන්වීම් ශිල්පිනියක මෙන්ම වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස කලාවේ බොහෝ ඉසව් තුළින් ඔබ හමුවන ඇය ප්‍රවීණ රංගවේදිනි ගීතා කාන්ති ජයකොඩියි. මේ දිනවල හිරු ටී.වී. තුළින් විකාශය වන “හිරු කුමරු ආදරේ අරන් ඇවිල්ලා” ටෙලි නාට්‍ය තුළින් ඇයව ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබේ. මේ  අපි ඇය සමඟ කළ ආදරණීය කතාබහයි.


ඉතින්… කොහොමද මේ දවස්වල ජීවිතය?


මේ දවස්වල ලොකුම ලොකු කාර්යබහුලකමක් නැහැ. භාරගත්ත ටෙලි නාට්‍ය වැඩත් ඉවරයි. අලුත් ඒවා භාරගෙන තිබුණට ඒවායේ රූගත කිරීම් තවම පටන් ගෙන නැහැ. දැනට මම වැඩ කරන්නෙ “හිරු කුමරු ආදරේ අරන් ඇවිල්ලා” ටෙලි නාට්‍යයේ. ඊට අමතරව උත්සව සඳහා ලැබෙන ආරාධනාවලට සහභාගි වෙනවා. ඊට අමතරව මගේ දෝණිගෙ, පුතාගෙ වැඩවලත් යෙදිලා ඉන්නවා.


මේ දවස්වල විකාශය වන “හිරු කුමරු ආදරේ අරන් ඇවිල්ලා” ටෙලි නාට්‍යයෙහි ඔබේ චරිතය ගැන කතා කළොත්?


“හිරු කුමරු ආදරය අරන් ඇවිල්ලා”හි හංසිකාගේ තාත්තගෙ නංගි ඒ කියන්නෙ නැන්දගෙ චරිතය තමයි මම කරන්නෙ. අම්මගේ රැකවරණය අහිමි දියණියක් වුණු හංසිකා, තාත්තාගේ ආදරය, රැකවරණය ඕනෑවටත් වඩා විඳින දරුවෙක්. ඉතින් එයාගෙ තාත්තාවත් කළමනාකරණය කරමින් ඒ දරුවට අවශ්‍ය නිදහස, රැකවරණය හදල දෙන්න උත්සාහ කරන නැන්දා කෙනෙක් ලෙස තමයි මම රඟපෑමේ නිරත වෙලා ඉන්නෙ.


ඔබ වේදිකාව තුළින් රංගනයට පිවිසුණු කෙනෙක්. අතීතයේ වේදිකාවට තිබූ තැන පුංචි තිරය නිසා අඩු වෙලාද?


මම මුලින්ම රංගනයට එක් වෙන්නේ “කැලණි පාලම” වේදිකා නාට්‍යයෙන්. ආර්. ආර්. සමරකෝන්ගෙ “කැලණි පාලම” කියන්නෙ ජනතාවගේ සිත් ඇදබැඳ ගත් වේදිකා නාට්‍යයක්. වේදිකා නාට්‍යවල රඟපාද්දි ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒක හරිම වෙහෙසකරයි. වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනා කැමැති නැහැ බර දේවල් ඔළුවට දමාගන්න.


ඒ අය බොහෝ දෙනෙක් කැමැති සැහැල්ලු දේ මඟින් හිස මෙන්ම හිත පුරවා ගන්න. ඒ නිසා වර්තමානයේ රංගන ක්ෂේත්‍රයට එකතු වන බොහෝ දෙනා කැමැති පුංචි තිරයට.


රංගන ශිල්පීන් විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්තත් ඒක නේද?


අතීතයේ වගේ වේදිකා නාට්‍යයක් බලන්න යන්න, චිත්‍රපටයක් බලන්න යන්න බොහෝ අයට වෙලාවක් නැහැ. තමන්ගේ දවසේ වැඩකටයුතු ඉවර වෙලා නිවෙසට ආවාම මිනිසුන්ට ඕනෑ හිතේ සතුට. අද බොහෝ දෙනා මනසට අවශ්‍ය සතුට, සැහැල්ලුව සොයන්නෙ ටී.වී. එක ඉස්සරහ වාඩි වෙලා ඒවායේ යන ටෙලි නාට්‍ය නරඹලා විනෝද වෙලා රෑට නිදාගන්න තමයි බොහෝ දෙනා කැමැති. වර්තමානයේ බොහෝ දෙනා නිර්මාණවල ගුණ-අගුණ බලන්නෙ නැහැ. බලන්නෙ පහසුව.


එදා ටෙලි නාට්‍ය නිර්මාණ සහ අද ටෙලි නාට්‍ය නිර්මාණ ගැන ඔබට මොකද හිතෙන්නෙ?


එදා අපි ටෙලි නාට්‍යයක වැඩ කරන්න යද්දි හොඳින් ස්ක්‍රිප්ට් එක කියවනවා. එහෙම කියවලා චරිතය ගැන මනා අවබෝධයකින් තමයි දර්ශන තලයට යන්නෙ. ඒත් අද එහෙම නැහැ. සම්පූර්ණ පිටපත කියවන්න ලැබෙන්නෙ නැහැ. මුලින් තිබුණු දර්ශනය සහ පසුව කරන දර්ශන ගැන අවබෝධයක් නැහැ. මුල් කාලයේ පිටපත් කියවලා ලබාගත් අවබෝධය නිසා අධ්‍යක්ෂවරයා කියන විට චරිතය තේරුම් ගන්න පුළුවන්. එහෙම නොවුණම පරිණත ලෙස චරිත නිරූපණය එතරම් පහසු නැහැ. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. කාලයේ හැටියට අපිත් හැඩගැහෙන්න ඕනෑ.


ගුවන්විදුලි වැඩසටහන්වලට ගිය අතීතය මතක් කරමු?


ගුවන්විදුලියේ ළමා පිටියේ හඳ මාමා වැඩසටහනට සහභාගි වීමෙන් තමයි මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නෙ. කරුණාරත්න අබේසේකර, සුමනා ජයතිලක, ප්‍රභා රණතුංග වගේ දැවැන්ත චරිත ඇසුරේ තමයි මගේ ළමා කාලය ගත වුණේ. එහෙම කාලය ගත වෙද්දි සරස්වතී මණ්ඩපයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මාලනී බුලත්සිංහල, නිරංජලා සරෝජනී, චිත්‍රා කුමාරි කළුබෝවිල වැනි අයත් හමු වුණා. ඒ අතීතය නම් හරිම සුන්දරයි.


මෙතෙක් පැමිණි ගමන ගැන තෘප්තිමත්ද?


“කැලණි පාලම” වේදිකා නාට්‍යයේ රඟපාන අවස්ථාවේදීම වැනීසියේ වෙළෙන්දා, මායාදේවි වැනි වේදිකා නාට්‍ය සඳහාත් රඟපෑමෙන් එක්වීමේ අවස්ථාව ලැබුණා. ඒ අතරතුර රූපවාහිනියේ පැමිණීම සිදුවෙනවා. එහිදී “කැලණි පාලම” රූපවාහිනිය වෙනුවෙන් රූගත කිරීම සිද්ධ වෙනවා. එය සිදුකරනු ලැබුවේ පරාක්‍රම නිරිඇල්ල විසින්. කැලණි පාලම රූපවාහිනියේ විකාශය වෙන්න පටන්ගත් පසුව විජය ධර්මශ්‍රී ඔහුගේ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තා. එම රංගනය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලැබුණා. සිනමා ආගමනයත් ඒ සමඟම සිදුවෙනවා. ඒ “පූජා” චිත්‍රපටයෙන්. එම රංගනය වෙනුවෙන් නැඟී එන නිළියට හිමි සම්මානය ලැබුණා. හොඳම නිළියට නිර්දේශ වුණා. “සෙක්කු ගෙදර” චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානය හිමි කර ගත්තා. එහිදී හොඳම නිළිය වුණේ මාලිනී ෆොන්සේකා. ගුවන්විදුලියේ “වජිරා” නාට්‍යයේ ප්‍රධාන චරිතය වගේම බොහෝ නාට්‍යවල ප්‍රධාන චරිතයට හඬ දෙන්න පුළුවන්කම ලැබුණා. බොහොමයක් හොඳ චරිත ලැබුණා. බොහොමයක්ම හොඳ චරිත මඟහැරුණා. කවදාවත්ම රඟපෑම නිසා වෙහෙසට පත්වුණේ නැහැ. හැම චරිතයකටම දායක වුණේ ආසාවෙන්. කලාවේදී මට පුළුවන් දේ මම කළා. අඩුපාඩුවක් වුණේ නැහැ. ඒ නිසා මේ ගමන ගැන මම තෘප්තිමත්.


මෙතෙක් පැමිණි ගමනේදී අභියෝග එහෙමත් ජයගන්න ඇති?


අභියෝග කියන්නේ වැඩිපුරම සිද්ධ වුණේ අහිමි වීම්. මට එක වතාවකදී ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ ‘එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍ය රූගත කිරීම් වෙනුවෙන් හොරණ යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී මම ගුවන්විදුලියේ සහන නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. එක මවකගේ දරුවෝ කරද්දි ගෙයක් අරගෙන නැවැතිලා ඉඳගෙන තමයි රූගත කිරීම් කළේ. එහිදී වැඩට යන්න එන්න අපහසු වෙලා ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා. මේ වගේ සිද්ධි ගොඩක් තිබෙනවා. ඉවත් වීමට සිදුවීම, අහිමි වීම් වැඩි වීම් තමයි ඉතින් සිදුවුණේ.


අතීතයේ සිනමාපටවල දක්නට ලැබුණට වර්තමානයේ දක්නට නොලැබෙන්න හේතුවක් තිබෙනවද?


මම පූජා, සඳරේඛා, රිදී නිම්නය, ගාමණී වැනි චිත්‍රපට 50ක පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. එහිදී විවිධ චරිත ඔස්සේ ජනතාව අතරට ඒමට හැකියාව ලැබුණා. ඒ වගේම ප්‍රවීණයන් සමඟ එකට රඟපෑම තුළින් ඔවුන්ගේ අත්දැකීම් ලබන්නත් අවස්ථාව ලැබුණා. අද එහෙම තත්ත්වයක් සිනමාව තුළ තිබෙනවාද? එහෙම ප්‍රශ්නයක් තමයි තිබෙන්නෙ. අලුතෙන් බිහි වන අධ්‍යක්ෂවරු බොහෝමයක් අපි ගැන දන්නෙත් නැතුව ඇති. ඒ වාගේම මුදල්මය ප්‍රශ්න වගේ දේවල් නිසා අපිව ප්‍රතික්ෂේප වෙනවා ඇති.


දුව ගැනත් කතා කරමු?


එයා ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම ආඩම්බරයි. ඇයගේ රංගනයෙන් මම පුදුමයට පත්වුණු අවස්ථාවන් පවා තිබෙනවා. එදා මම මට නුසුදුසුයි කියලා සමහර චරිත ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මම බලාපොරොත්තු වුණු චරිත මට ලැබුණේ නැහැ. ඒ වුණාට දුවට එහෙම නැහැ. විවිධ චරිත ලැබෙනවා. ඉතින් එයාගෙ සාර්ථකත්වය වෙනුවෙන් මම ආශීර්වාද කරනවා. ඒ වගේ එයා ඒ යන ගමන්මඟ දෙස ආදරයෙන් බලාගෙන ඉන්නවා.


වර්තමාන රංගන පරපුර ගැන මොකද හිතෙන්නෙ?


වර්තමාන දරුවන් ගොඩක්ම කාලය ගත කරන්නෙ තාක්ෂණය එක්ක. අපේ කාලයේ වගේ නොවෙයි. කලාවේදී විතරක් නෙවෙයි එහෙම සුහදව නිහතමානීව කටයුතු නොකිරීම පෞද්ගලික ජීවිතයටත් බලපානවා. එම නිසා පියවරෙන් පියවර හැම දෙයක්ම ප්‍රවීණයන් දෙස බලා හිඳිමින් ඉගෙන ගන්න අවශ්‍යයි. එහෙම හැසිරීමෙන් ඕනෑම ක්ෂේත්‍රයක රැඳිල ඉන්න පහසුයි.


අනාගත බලාපොරොත්තු ගැනත් කියලම මේ කතාබහ අවසන් කරමු?


ලැබෙන චරිත තෝරා බේරා ගෙන  රඟපාලා සතුටෙන්, සැනසීමෙන්, නිදහසේ ඉන්න එක තමයි බලාපොරොත්තුව.

gossiplanka image 1
Previous Post Next Post