
කළු කොල්ලා ගැන කියලම ඉමු?
ඇත්තටම ගොඩක් සතුටුයි. කළු කොල්ලත් සාරි පොටේ වගේම මිනිස්සු වැලඳ ගත්තා. ඇත්තටම අවුරුදු 7කට විතර පස්සේ තමයි මම සිංදුවක් කළේ. අන්තිමට කළේ චුංයිගම් වගේ කොල්ලෝ සිංදුව. ඊට පස්සේ සිංදුවක් කරන්න ඕනෑ කිය කිය හිටියත් කාර්යබහුලකම නිසා වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම මේ සිංදුව කළේ මිනිස්සුන්ට හිනාවෙන්න, නටන්න. මේ වෙද්දි හැමෝගෙම ආදරය ලැබෙනවා. මිනිස්සු බොහොම ආදරයෙන් ඒ සිංදුව වැලඳගෙන තියෙනවා.
මේකේ මියුසික් වීඩියෝ එකත් බොහොම කතාබහට ලක් වෙනවා?
සිංදුව කරලා සති දෙකක් වගේ ඇතුළත මේකේ මියුසික් වීඩියෝ එකත් කරලා ඉවර කළා. ඇත්තටම මම මේ වෙලාවේ මේ සිංදුවට, මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වුණු හැම කෙනෙක්ටම විශේෂයෙන් ස්තුති කරනවා. ඒ හැමෝම හදවතින්මයි මේක කළේ. කළු කොල්ලා මිනිස්සු අතරට ගියේ ඔවුන් මේක තවත් එක වැඩක් විධියට නොගෙන හදවතින්ම තමන්ගෙම දෙයක් වගේ කරපු නිසා. හරිම සතුටුයි අද වෙද්දි ලංකාවේ සතර දෙසින්ම කළු කොල්ලා ඇහෙනවා. මේ දවස්වල මම චිත්‍රපට රූගත කිරීමකට ලංකාවේ ගොඩාක් පිටිසර පළාත්වලට යනවා. ඒ පැතිවල මිනිස්සු පවා කෝ කළු කොල්ලා කියලා අහනවා.
කළු කොල්ලා රිලීස් කරද්දි මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවද?
මේකේ කැචින් එක නිසා පොඩි අයිඩියා එකක් තිබුණා. හැබැයි මේ තරම් වයිරල් වෙයි කියලා හිතුවේ නැහැ. යම් තාක් දුරකට මිනිස්සු අතරට යයි, වයස් භේදයකින් තොරව වැලඳගනී කියලා අදහසක් තිබුණා. හැබැයි මේ විධියට මේක පුපුරලා යයි කියලා හිතුවේ නැහැ.
කොල්ලොන්ට විතරක් සිංදු කරන්නේ කෙල්ලන්ට සිංදුවක් කරන්න අදහසක් නැද්ද?
ඇත්තටම කෙල්ලොන්ගෙන් මට පොඩි චෝදනාවක් තියෙනවා යුරේනි අක්කා කොල්ලන්ට විතරයි සිංදු කරන්නේ කෙල්ලන්ට සිංදුවක් කරන්නේ නැහැ කියලා. සාරි පොටේ කළෙත් කොල්ලන්ට, චුයිංගම් වගේ එක කළෙත් කොල්ලන්ට, දැන් කළු කොල්ලා කළෙත් කොල්ලන්ට එතකොට අපිට සිංදුවක් නැද්ද කියලා අහනවා. ඉතිං මම බැලුවේ ගැහැනු ළමයි මාත් එක්ක තරහා වෙන්න කලින් එයාලට සිංදුවක් කරන්න.
ඇත්තටම කළු කොල්ලා කිව්වට විෂුවල් එකේ ඉන්නේ සුදු කොල්ලෙක්, යුරේනිට එතැනදි වැරැදීමක් වුණාද?
ඇත්තටම අපි වැඩක් කරද්දි ඒකේ මාර්කටිං පැත්තත් බලන්න වෙනවා. එතැනදි මිනිස්සුන්ගේ කතාබහට ලක්වෙන දෙයක් අපිට කරන්න වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේකට සුදු කොල්ලෙක්ව පාවිච්චි කළේ. එතකොට සිංදුව ගැන වගේම කොල්ලා ගැනත් කතා වෙනවනේ කියලා තමයි එහෙම දෙයක් කළේ. හදිස්සියේ හරි සිංදුව දිව්වේ නැත්තම් අඩුගානේ මිනිස්සු කොල්ලා ගැන හරි කතා වෙයිනේ කියලා හිතලා තමයි සුදු කොල්ලෙක්ව ගත්තේ.
හැබැයි සිංදුවයි විෂුවල් එකයි දෙකම වැඩ කරලා තියෙනවා?
ඔව් ඇත්තටම එකේ විෂුවල් එකේ ඉන්න නිමේශ් මල්ලිටත් මේ වෙද්දි ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔහුගෙන් මට මේ විශුවල් එකට හොඳ සහයෝගයක් ලැබුණා. අපිට ඕන අලුත් ළමයි මේ ෆීල්ඩ් එකට. විශේෂයෙන් සිනමාවට. මට හිතෙනවා නිමේශ් කියන්නේ සිනමාවට හොඳට ගැළපෙන කෙනෙක් වෙයි කියලා. ඔහු දක්ෂ හොඳ මනුස්සයෙක්. ඔහුගේ අනාගතය වෙනුවෙන් මම මේ වෙලාවේ විෂ් කරනවා. මොකද අපිට ඒ වගේ දක්ෂ ළමයි ඕන මේ ඉන්ඩස්ට්‍රියට. ඇත්තටම මේ කළු කොල්ලා එක සමඟ වැඩ කරපු හැම කෙනෙක්ටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
කවුද මේ “කුමී” කියන්නේ, ඒ ගැනත් කියමු?
මේ චිත්‍රපටයේ නම සෝර්. ලංකාවේ පළමු වරට AI තාක්ෂණය යොදාගෙන කරපු චිත්‍රපටය. මේකේ මුල්ම මීටිං එක තිබ්බේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ අධ්‍යක්ෂ ප්‍රසාද් විජේසූරිය සහ සහාය අධ්‍යක්ෂ සරත් සේනාරත්න සමඟින්. නමුත් එතැනදි මගේ ගාණ පිළිබඳව ප්‍රශ්නයක් නිසා මාව චිත්‍රපටයෙන් හැලෙනවා. ඊට පස්සේ ඇත්තටම මට ඒක අමතක වුණා. නමුත් අවුරුදු දෙකකට විතර පස්සේ මට නැවතත් කෝල් එකක් එනවා. එතැනදි ඒ වැඩේට මාවම තමයි හරියන්නේ කියලා නැවතත් මට ආරාධනා කරනවා. ඒ වෙද්දි මේ චිත්‍රපටය ආරම්භ කරන්න දින හදලා සේරම ෂෙඩූල් කරලා ඉවරයි. මේක එක්දහස් අටසිය ගණන්වල ගෝත්‍රික කතාවක් තේමා කරගෙන නිර්මාණය වන චිත්‍රපටයක්. ඒ නිසාම මේ චිත්‍රපටය වෙනුවෙන් කොස්ටියුම් සහ සියල්ල වෙනුවෙන් විශාල වියදමක් දරලා තියෙනවා. මම හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා.
සෝර් එක්ක ලංකාවේ සිනමාව ලෝක සිනමාව එක්ක හරි හරියට යන්න උත්සාහ දරනවා බව පේනවා, ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම අධ්‍යක්ෂවරයාගේ බලාපොරොත්තුවත් මේ චිත්‍රපටය ජාත්‍යන්තරයට අරගෙන යන්න. ඔහුගේ උත්සාහයට අපි සුබ පතනවා. මොකද මේ රටේ සිනමා කර්මාන්තය ඉදිරියට යන්නේ ඉතාමත් අඩු පහසුකම් ප්‍රමාණයකින්. ඉතිං එවැනි තත්ත්වයක් මත තමන්ම වියදම් කරලා. තමන්ගේ රටේ තියෙන දෙයක් ලෝකයට අරගෙන යන්න උත්සාහ දැරීමම හැමෝගෙම ඇගයීමට පාත්‍ර විය යුතුයි. ඇත්තටම මම හිතන්නේ අපේ සිනමාව ලෝකයට යන්න දැන් තමා හරිම කාලය.
අපේ සිනමාව ජාත්‍යන්තර රසිකයන් අතරට නොයෑමට හේතුව මොකක්ද?
හොලිවුඩ්, බොලිවුඩ් ගත්තොත් අපි තාක්ෂණය අතින් ගොඩක් පිටිපස්සේ ඉන්නේ. නමුත් අපිට ළඟම තියෙන එක තමයි මලයාලම් සිනමාව. ඒ සිනමාව හරිම සරලයි, හැබැයි තිර රචනය හරිම පවර්ෆුල්. මම ලංකාවේ දකින දෙයක් තමයි අපේ නිර්මාණකරුවන්, කැමරා ශිල්පීන් මේ හැමෝම හරිම දක්ෂයි. හැබැයි අපේ රටේ තිර පිටපතක් රහ කරලා ලියන්න පුළුවන් අය හරිම අඩුයි. විශේෂයෙන් කාන්තාවන් නැති තරම්. කාන්තා චරිත ලියන්නෙත් පිරිමි කෙනෙක්. එතැනදි බහුතරයක් කාන්තා චරිත ලියවෙන්නේ පිරිමි අතින්. සමහර වෙලාවට මට හිතෙනවා කාන්තා චරිත ඊට වඩා වෙනස් රහකට ලියන්න පුළුවන් නේද කියල.
මේකට හේතුව සිනමාවට ප්‍රවේශ වෙන්න තියෙන අවස්ථාවන් සීමිත වීම නෙවෙයිද?
කලාවෙන් පිටත ඉඳන් බලද්දි මට පේන දෙයක් තමයි යම් කිසි පිරිසක් අපේ සිනමාවේ මොනෝපොලි එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා කියන එක. ඒ පිරිස නිර්මාණවලට ගන්නේ ඔවුන් එක්ක හැමදාම වැඩ කරන සීමිත පිරිසක් විතරක්. ඒ වගේම නිර්මාණ භාගයකට භාගයකම කාස්ට් එක තෝරන්නේ අධ්‍යක්ෂවරයා නෙවෙයි, ඇසිස්ටන්ට් ඩිරෙක්ට හා ප්‍රඩක්ෂන් ටීම් එක. ඕකත් අපේ සිනමාවේ ඉදිරි ගමනට ලොකු බාධාවක්. කර්මාන්තයක් කියන්නේ ලාබ පාඩු ලබන එකක්. නමුත් මට පේන විධියට අපේ සිනමාව ඇතුළේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ හැඳුනුම්කම මත සහ වෙනත් උපකාර මත.
නමුත් අපේ සිනමාවටත් ස්වර්ණමය යුගයක් තිබුණා?
හැත්තෑව අසූව දශකයේ අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේ මේ ගැටලු තිබුණේ නැහැ. අසූව දශකයේදී ගාමිණී ෆොන්සේකා මහත්මයා එක චිත්‍රපටයකට ලක්ෂ 15 ක් අය කරලා තියෙනවා. ඒ කාලේ හැටියට ඒක අතිවිශාල මුදලක්. ඒ වගේ තැනක තමයි එදා සිනමාව තිබුණේ. නමුත් අද අපේ සිනමාව කර්මාන්තයක් නෙවෙයි. මේක තුළ එකමුතුවක් තිබුණා නම් අද වෙද්දි මේක ලාබ ලබන කර්මාන්තයක් බවට පත්වෙලා.
අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
මේ දවස්වල මගේ මෙගා ස්ටාර් සීසන් 2 යනවා. ඒ වගේම ඔබ එන්න ඇවිත් යන්න ටෙලි නාට්‍යයට ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඊට අමතරව මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා අමල් අල්විස් මහත්මයා අධ්‍යක්ෂණය කළ Swans by the Sea චිත්‍රපටය තිරගත වන තුරු.
