
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
ලංකාව තුළ සිනමාපටයක් නිර්මාණය කරනවාට වඩා සිනමාපටයක් තිරගත කිරීම අතිශය භාරධුර ක්‍රියාවලියක්. ඉතින් මේ සිනමාපටයේ තිරගත කිරීම් කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු සමඟ මම අතිශය කාර්යබහුලයි. වැඩ කටයුතු ගොඩක් තිබෙන නිසා මේක ලොකු මෙහෙයුමක්. ඉතින් ඒ වැඩකටයුතු සමඟ කාර්යබහුල අන්දමින් මේ දවස් ගෙවී යනවා.
සූර්යා නිර්මාණය වුණු අයුරු ගැන කියමු?
රෂ් සිනමාපටයෙන් පසුව මම තව සිනමාපට දෙකක් පමණ නිර්මාණය කිරීමට පිඹුරුපත් සකසමින් සැලසුම් කොට තිබුණා. ඒ සිනමාපට රූගත කිරීම් කරන මට්ටමට පැමිණි අවස්ථා තිබුණා. පසුගිය කාලය තුළ අපි කොවිඩ් සහ ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා. ඒ නිසා මේ වැඩ කටයුතු පස්සට ගියා. මගේ සිතේ තරුණයෙක් කේන්ද්‍රගත වුණු නැවුම් ආකාරයේ කතාවක් ගැන අදහසක් තිබුණා. ඒ අනුව තමයි සූර්යා නිර්මාණය වුණේ. ඉතින් වසර ගණනාවක් පුරා මේ සිනමාපටය ඉතා විශාල ශ්‍රමයක් දරමින් නිර්මාණය වුණේ ඒ විධියට.
මෙහි තිරපිටපත රචනා වුණේ කෙසේද?
මෙහි තිරපිටපත රචනා කළේ රොනල්ඩ් දසනායක. මෙහි තිරපිටපත රචනා කරන අවධියේදී අපිට නිෂ්පාදකවරයකු සිටියෙත් නැහැ. මගේ සිතේ තිබුණ වස්තු බීජය තිරපිටපතක් ලෙස රචනා කරන්න මට අවශ්‍ය වුණා. ලංකාවේ විශිෂ්ට තිරපිටපත් ලියැවීමේ අඩුවක් තිබෙනවා. වාණිජ අංශයේ තිරපිටපතක් ලියවෙනවා කියන දෙය තිබෙන්නේ ඉතා අර්බුදකාරී තැනක. ඉන්දියානු සිනමාව සමඟ බලන විට ඒ කාර්තව්‍ය මේ රටේ සිදු කරන එක ලෙහෙසි පහසු නැහැ. අපේ රටේ ප්‍රේක්ෂකයා දැන් මලයාලම් සිනමාව ඉතා හොඳින් රසවිඳිනවා. මේ නිසාම ලොකු තරගයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ යම් සිනමාපටයක් නිර්මාණය කරන්න යන විටම ඇතැම් පිරිසක් සිටිනවා මේක කොපියක් කියලා කියන්න බලාගෙන සිටින. මේ නිසාම මම මේ ගැන ගොඩක් සැලකිලිමත් වුණා. මේක කොපියක් කියලා කියනවා නම් ඒක අහඹුවක්.
සූර්යා සිනමාපටයේ නිෂ්පාදකවරයා රටක් ආදරය කරන ගුරුවරයෙක් මේ ගැනත් කියමු?
ලංකාවේ අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ පිරිවැය ලැබෙනවා නම් නිෂ්පාදකවරයා කවුරු වුණත් කමක් නැහැ. මම හැමෝත් එක්කම චිත්‍රපට කරන තැනක නැහැ. මම ඒක බොහොම පැහැදිලිවම කියනවා. මගේ සමාජ අවබෝධය අනුව සාධාරණව මුදල් හරිහම්බ කරන හුදු ආයෝජකයකු නොවන පුද්ගලයෙක් තමයි මම මගේ නිෂ්පාදකවරයා ලෙස තෝරා ගන්නේ. ඒක මගේ ප්‍රතිපත්තියක්. මේ කතාවේ හැටියට එය නිෂ්පාදනය කරනවා නම් මෙන්න මේ පුද්ගලයන් තමා මේකට සුදුසු කියන කාරණය මම ජනිත් චතුරංගට කිව්වා. එහි ඉහළින්ම සිටි පුද්ගලයා තමයි මේ වැඩේට මම යොදාගත්තේ. ඔහු විශාල සමාජ ප්‍රතිරූපයක් තිබෙන පුද්ගලයෙක්. ඒ වගේම සමාජයට වග වෙන සාරධර්ම තිබෙන යහපත් පුද්ගලයෙක්. මුතුගල සර් කියන්නේ එහෙම කෙනෙක්. මට ඔහු වගේ නිෂ්පාදකවරයකු ලැබීම මගේ වාසනාවක්.
දිනේෂ් මුතුගල ගුරුතුමා මෙහි නිෂ්පාදකයා වීමමද මෙහි රංගනයෙන් දායක වීමට හේතු වුණේ?
එහෙම දෙයක් නැහැ. ඔහු කිසිම විටක මට ඒ ගැන බලපෑමක් කළේ නැහැ. ලංකාවේ තිබෙන දෙයක් තමයි නිෂ්පාදකයාට ඒ සිනමාපටය තුළ රඟපාන්න ඕන. නැතිනම් ඔහුගේ දුවයි පුතයි රඟපාන්න ඕන. නැත්නම් වෙනත් අනීතික බලපෑම් තිබෙනවා. ඔහු මගෙන් ඇහුවා මොහාන් කියන චරිතයකට කවුද රඟපාන්නේ කියලා. ඊට පසුව ඔහු ඒ සඳහා දන්න කෙනෙක් සිටින බවත් මට කිව්වා. ඉන් පසුව තිර පරීක්ෂණයක් කරලා ඔහුව ඒ සඳහා සුදුසු නම් තෝරාගන්න කියලා මට කිව්වා. ඊට පසුව ඔහු ඒ කෙනා දිනේෂ් මුතුගල කියලත් ඔහු කිව්වා. ඔහු මේ චරිතය සඳහා විශාල කැපකිරීමක් කළා. ඔහු ඉතා කැපවීමෙන් පුහුණු වෙමින් මේ චරිතය සිදු කරන්න බෙහෙවින් මහන්සි වුණා. එහෙම තමයි ඔහු මේ සිනමාපටයට රංගන ශිල්පියකු ලෙස එක් වුණේ. නැතුව නිෂ්පාදකවරයා නිසා නෙවෙයි.
සූර්යා සිනමාපටය හරහා දිවෙන නීතිය සහ දේශපාලනය ගැන ඔබේ දැක්ම කුමක්ද?
මේ සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේදී අපි එය වාණිජ ගණයේ සිනමාපටයක් ලෙස තමයි ප්‍රේක්ෂකාගාරයට රැගෙන යන්නේ. එතකොට බහුතරයක් ප්‍රේක්ෂකයන් සිතන්නේ මේක පාට පාට කතාවක් කියලා. නමුත් මෙහි පුළුල් ලෙස නීතිය, දේශපාලනය සහ සමාජය ගැන කතාබහ කරනවා. මේ සිනමාපටය ඒ දේවල් ගැන කතා කරන බරසාර කතාවක්. නීතිගරුක සමාජයක්, යහපත් ජනතාවක් හදන එක කිසිම දේශපාලන පක්ෂයකටවත් ආණ්ඩුවකටවත් කරන්න බැහැ. අපිටම තමයි හැදෙන එක කරන්න පුළුවන්. අපි අපේ ස්වයං විනය හදා ගත්තොත් රටක් විධියට අපිට ඉදිරියට යන්න පුළුවන්.
ජනිත් චතුරංග නම් රංගන ශිල්පියාගෙන් මේ සිනමාපටයට ලැබුණු දායකත්වය ගැන කියනවා නම්?
මේක විශේෂයෙන්ම කතා කළ යුතු දෙයක්. ලංකාවේ හැමදාම දකින මිනිසා නැති නම් හොඳම ශිල්පියා හෝ ශිල්පිනියව තමයි තමන්ගේ වැඩේට ගන්නේ. හේතුව තමන්ගේ වැඩේට තිබෙන අවදානම අඩු කර ගැනීම. මේ නිසාම එකම පිරිසක් හැම තැනම රොටේට් වෙනවා. මේ නිසා විකල්ප හැදිලා නැහැ. ජනිත් මේ සිනමාපටයට යොදාගැනීමේදී ඔහු වෙත ගලා ආ ප්‍රතිරෝධය ඉතා විශාලයි. මම මානසික වශයෙන් පීඩනයට පත් වුණු අවස්ථා ඉතා විශාලයි. මම විශාල ශ්‍රමයක් යොදමින් විශාල අවදානමක් ගනිමින් තමයි මේ දෙය දරාගත්තේ. මේක සෙල්ලමක් නෙවෙයි. මේක විශාල අවදානමක්. නමුත් අවසානයේදී ජනිත් මේ වැඩේ මරුවට කළා කියන එක කාටත් වැටහුණා. මේක ඔහුගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක්. ඔහුගේ කැපවීම ඉතා ඉහළ මට්ටමක තිබුණා. මොන ගැටලුව, විවේචන ආවත් අපි මේ දෙය කරලා පෙන්නුවා.
සූර්යාගෙන් පසුව පැමිණෙන ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
මගේ ඊළඟ සිනමාපටය පිළිබඳව අපි මූලික කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා වැඩ කරමින් සිටිනවා. එහි රූගත කිරීම් මේ වසරේ අවසානයේදී ආරම්භ වෙනවා. වෙනස් විධියක වැඩක් සමඟින් අපි ඉක්මනින්ම මුණගැහෙමු
