ඉතිහාසයේ පළමු වතාවට සැමියා-බිරිය ජනප්‍රියම සම්මාන ගත්තා - සාරංග දිසාසේකර.

gossiplanka image 1
සිනමාව, ටෙලිවිෂනය, වේදිකාව තුළ ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් ඔහු තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදී ඔහු ජනප්‍රියම නළුවා සහ හොඳම පූරකයා යන සම්මානයෙන් පිදුම් ලැබුවා. අද ‘හදගැස්ම‘ හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි සාරංග දිසාසේකර. ඔබ මෙවර සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ ගැන ඔබේ අදහස?


මෙවර සුමති සම්මාන උළෙලේදී තුන් වැනි වරට තමයි මම ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ. මෙවර මෙම සම්මානය ලැබීම ඉතා සුවිශේෂයි. ඒ මගේ ආදරණීය බිරිය දිනක්ෂි ප්‍රියසාද් මෙවර ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණ නිසා. ඉතිහාසයේ පළමු වතාවට තමයි  සැමියා සහ බිරිය ජනප්‍රිය නළුවා සහ ජනප්‍රිය නිළිය ලෙස සම්මානය ලබා ගත්තේ. මෙලෙස සම්මානයට පාත්‍ර වීම ගැන හරිම සතුටුයි. මේක ඉතා සුවිශේෂී අවස්ථාවක්.


ඒ වගේම ඔබට හොඳම පූරකයා ලෙස තවත් සම්මානයක් ලැබෙනවා. මේ ගැන කියනවා නම්?


මේක ඇත්තටම මම බලාපොරොත්තු වුණ සම්මානයක් නෙවෙයි. මෙහි නිර්දේශිත නාමයන් කලින් ප්‍රසිද්ධ කරලා තිබුණේ නැහැ. මේ සම්මානය ජයග්‍රහණය කිරීම එවෙලෙ මට ලොකු සප්‍රයිස් එකක් වුණා. රයිගම් සම්මාන උළෙලේදිත් මට ‘හිරු ස්ටාර්‘ වැඩ සටහන සඳහා ඔය සම්මානයම ලැබුණා. මම රංගනය වගේම කැපවීමෙන්, ආදරයෙන් කරන දෙයක් තමයි පූරක භූමිකාව කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඇගයීමක් ලැබීම ගැන සතුටුයි. මම කුඩා කාලයේ පටන්ම ගුවන්විදුලි සංස්ථාව හරහා ළමා ශිල්පියෙක් ලෙස ආරම්භ කළ ඒ නිවේදක ගමනට මේ වගේ ඇගයීමක් ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි.


ඔබ ජනප්‍රිය නළුවා වීමෙන් පසුව ඔබට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචන එල්ල වුණා. මේ ගැන ඔබේ අදහස?


එස්.එම්.එස්. මනාප ක්‍රමය කියන සංකල්පය හරහා තමයි ඔය කතාව එන්නේ. මේවා අද ඊයේ පටන් ගත්ත දේවල් නෙවෙයි. ඉස්සර සරසවි සම්මාන උළෙල වගේ දැවැන්ත සම්මාන උළෙලවල, පත්තරවල කූපන්පත් පුරවලා තමයි රසිකයන් මනාප ලබා දුන්නේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ තමයි එය එස්.එම්.එස්. මනාප ක්‍රමය බවට පරිවර්තනය වුණේ. සෑම අවුරුද්දකම වගේ කවුරු ජයග්‍රහණය කළත් සම්මාන නොලැබුණු පිරිස සහ ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ඔය දෝෂාරෝපණය ලැබෙනවා. ඒක හැමදාම තිබෙන දෙයක්. මේක අපිට පමණක් තිබෙන දෙයක් නෙවෙයි. මේක සාමාන්‍ය දෙයක්. සමාජ මාධ්‍යජාලාවල ව්‍යාප්තිය තුළ  කල්ලි හදාගෙන, ව්‍යාජ ගිණුම් හදාගෙන  කටයුතු කරන පිරිසක් 


අපිට දකින්න ලැබෙනවා. ඇතැම් අයට මේ දේවල් රැකියාව බවට පත් වෙලා. මේ දෝෂාරෝපණ අපි ලොකුවට ගණන් ගන්නෙ නැහැ. අපිට තිබෙන්නේ අපේ නිර්මාණ කටයුතු කරන එක. අපි සතුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍යජාලාවල ඔෆීෂියල් ෆෑන් පේජස් තිබෙනවා. මේවායේ සිටින්නේ අපිට ආදරය කරන සැබෑ රසිකයන්. මේ පිරිස සහ අපිට දෝෂාරෝපණය කරන නෙගටිව් කමෙන්ට්ස් දාන පිරිස මොවුන් සමඟ සසඳා බලද්දී ඉතා කුඩා පිරිසක්. ඉතින් ඔවුන්ට අවධානය ලබා නොදී අපේ ආදරණීය රසිකයන් වෙනුවෙන් අපේ කලා කටයුතු සහ නිර්මාණ කිරීම ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. අපිට ආදරය කරන රසිකයන් දන්නවා මේ සම්මානය ලැබෙන්නේ එස්.එම්.එස්. මනාපවලින් කියලා. ඉතින් ඔවුන් අපි වෙනුවෙන් එස්.එම්.එස්. කරනවා. කවුරුත් කොහේවත් කමෙන්ට් කළා කියලා වෙන රංගන ශිල්පිනියකුට හෝ ශිල්පිනියකට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.


මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන ක්ලැරන්ස් සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද  තිරගත වෙනවා. කොහොමද ඔබ මේ නිර්මාණයට සම්බන්ධ වුණේ?


තේජා ඉද්දමල්ගොඩ මුලින්ම මුණගැසෙන්නේ ආශාවරී චිත්‍රපටය හරහා. චරිතයක් වෙනුවෙන් මම කැපවෙන විධිය සහ අපි එකමුතුව වැඩ කරන ආකාරය ගැන ඔහු දන්නවා. මට ඔහුගෙන් මේ සිනමාපටයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඉතින් මම මේ සිනමාපටයට සම්බන්ධ වුණා.


ඔබ මෙහි රඟදක්වන්නේ ඇනෙස්ලි මාලවනගේ චරිතය ඒ ගැන කියමු?


ඇනෙස්ලි මාලවනගේ චරිතය මට ලැබුණ විට මම අහපු දෙයක් තමයි ඔහුගේ සහ මගේ පෙනුම තුළ යම් වෙනසක් තිබෙනවා නේද කියන දෙය. මට එයට විවේචනයක් එල්ල වෙයි කියන කාරණාව දැණුනා. මම අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසුවම, ඔහුගේ දැක්ම වෙනස් බවත් ඔහුට අවශ්‍ය ග්ලැමරස් චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි කියලා ඔහු මට කිව්වා. ඒ මතයේ ඉඳගෙන තමයි නළු වරණයේදී අදාළ චරිත සඳහා රංගන ශිල්පි ශිල්පිනියන් තෝරා ගත්තේ.


ඔබට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබියදී ඇනෙස්ලි මාලවනගේ හඬට වෙනත් ගායකයකු යොදා ගත්තේ විශේෂ හේතුවක් නිසාද?


ඇනෙස්ලි මාලවනගේ හඬට යොදා ගෙන තිබෙන්නේ වත්මන් පරපුරේ ගායකයකු වන නිලූෆගේ හඬ. ඔහුගේ හඬ ඇනෙස්ලි මාලවනගේ හඬට බොහෝම සමීපයි. ඔහු එතරම් ප්‍රසිද්ධ ගායකයකු නොවුණත් ඔහු ගැන ක්ෂේත්‍රයේ සිටින අය දන්නවා. මට ගායන හැකියාව තිබුණත් ඒ හඬට සමීප හඬක් යොදා ගත යුතු නිසා ඔහුගේ හඬ ගීත ගායනය සඳහා යොදා ගත්තා.


තේජා ඉද්දමල්ගොඩ ගැන යමක් සඳහන් කරනවා නම්?


ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන චිත්‍රපටයක් කරනවා නම් එය අධ්‍යක්ෂණය කරන්න සුදුසුම කෙනා තමයි තේජා ඉද්දමල්ගොඩ කියන අදහස මගේ මනසේ තිබුණා. ඔහුට කැලැරන්සියානු සංගීතය ගැන හොඳ දැනුමක් තිබුණා. ඔහු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ඉතා ප්‍රබල රසිකයෙක්. ඔහුට සිනමාව වගේම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය ගැන තිබෙන පරිචය නිසා ඔහු මෙයට සුදුසුම කෙනා බව කියන්න පුළුවන්. මේ සිනමාපටය නිර්මාණය කරන විට තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයා අසනීප තත්ත්වයෙන් පසු වුණා. කෙසේ හෝ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. බොහෝ බාධක හමුවේ මේ නිර්මාණයට අත් නොහැර එයට දායකත්වය සැපයුවාට තුසිත විජයසේනට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕන.


ක්ලැරන්ස් චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


විවිධ කාරණා නිසා මේ සිනමාපටය නරඹන්න ප්‍රේක්ෂකයන් සිනමාශාලාවලට යනවා. ඇතැම් පිරිස් කැලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීතවලට සහ සංගීතයට තිබෙන ආදරය නිසා මේ සිනමාපටය බලන්න යනවා. සමහර ප්‍රේක්ෂකයන් දමිත් සහ නිහාරිට තිබෙන ආදරය නිසා සිනමාපටය බලන්න යනවා. මේ සිනමාපටය නරඹපු බොහෝ දෙනෙක් සිනමා ශාලාවෙන් පිටවෙන්නේ එහි රසිකයෙක් බවට පත් වෙලා. ඇතැම් පිරිස් පස් හය වතාවක් මේ සිනමාපටය නරඹන්න ගිහින් තිබුණා. ඉතින් ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වන විටත් ලැබෙමින් පවතිනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


ඉදිරියේදී මම නිර්මාණය කළ චිත්‍රපට ආදරණීය ප්‍රේක්ෂකයාට ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ චිත්‍රපටවල බොහෝ කටයුතු මේ වන විට අවසානයි. ඒ වැඩ ටික අවසන් කරලා ලබන වසරෙදි ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තමයි සිතන්නේ.

gossiplanka image 2
Previous Post Next Post