
විදුෂිකා රෙඩ්ඩි කොහොමද රිසානා වුණේ?
මේ අවස්ථාව උදා වෙන්නේ යාපනයේ ඉන්න වජිවාරන් අයියා නිසයි. ඔහු මට ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකක් එවලා තිබුණා. ඒක දැකලා මම ඒ අංකයට කතා කළා. ඒකෙදි දේශප්‍රිය සර් එක්ක මම මුලින්ම කතා කළා. ඒ සර්ගේ යාළුවෙක් තමයි තිරුවා සර් කියලා කියන්නේ. තිරුවා සර් තමයි මේ චිත්‍රපටය දමිළ නළු නිළියන්ට පරිවර්තනය කළේ. ඒ දෙන්නා එක්ක කතා කරලා තමයි මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණේ. මුල්ම දවසේ ඒකට සහභාගි වුණාට පස්සේ එයාලා
“පසුව කියන්නම්” කියලා කිව්වා. සති දෙකකට පස්සේ අවසාන පරීක්ෂණයට ආයෙමත් මට එන්න කිව්වා.
විශ්වාසයක් තිබුණද තේරෙයි කියලා?
එදා බොහෝ දෙනෙක් ඇවිත් තිබ්බා. ඒ සෙනඟ දැක්කම මට විශ්වාසයක් තිබුණෙත් නැහැ මාව තේරෙයි කියලා. හැබැයි මම මට ලැබුණු අවස්ථාව උපරිමයට ප්‍රයෝජනයට ගත්තා. අවසානයේ මට නැවත ඔඩිෂන් එකකට එන්න කියලා කිව්වා. ඒ ඔඩිෂන් එකටත් මම ගියා. එදා චන්ද්‍රන් රත්නම් සර් එක්කයි මගේ සම්මුඛ පරීක්ෂණය කළේ. ඇත්තටම මම එදා බය වුණා. ඔඩිෂන් එකේදී මට අඬන්න, හිනාවෙන්න, හැම සංවේදී රඟපෑමක්ම කරන්න තිබුණා. කඳුළු ගන්න ග්ලීසරින් දැම්මෙත් නැහැ. මම ඒ හැමදේම හොඳට කළා. එදා ඒ දේ කළේ කොහොමද කියලා අදටත් මම දන්නේ නැහැ. එදා තමයි චන්ද්‍රන් රත්නම් සර් සහ එම මහත්මිය මට කිව්වේ මාව රිසානාගේ චරිතයට තෝරා ගත්තා කියලා. එදා මට දැනුණු හැඟීම වචන කරන්න බැරි තරම්. ඊට පස්සේ මට පිටපත දුන්නා.
කැමරාවට මුහුණ දුන් අත්දැකීම කොහොමද?
ඒ වෙද්දීත් මම වෙළඳ දැන්වීම් සහ ෆොටෝ ෂූට් කරලා තිබුණේ. ඒ නිසා කැමරාව මට නුහුරු නැහැ. හැබැයි මම වැඩ කරපු පළමු දැවැන්ත සිනමා නිර්මාණය නිසා මෙය මට අත්දැකීම් රාශියක් එකතු කර ගන්න හැකි වුණු සිනමා නිර්මාණයක් වුණා. ගොඩක් තාක්ෂණික ක්‍රම මම ඉගෙන ගත්තා.
පළමු සිනමා අත්දැකීම තුළම හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?
ජෙරමි අයන්ස් කියන්නේ හොඳ වෘත්තියමය රංගන ශිල්පියෙක්. කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් වන් ටේක් එකකින් වගේ එයාගේ කොටස කළා. එයා වුණත් මට කිව්වේ ‘බය වෙන්න එපා අපි හොඳින් මේ වැඩේ කරමු‘ කියලා. එයා ගොඩක් සරල මනුස්සයෙක්. හරිම නිහතමානියි. ඒ වගේම හරි කරුණාවන්ත ආදරණීය මනුස්සයෙක්.
ඒ එක්කම අමතක කරන්න බැහැ කොලිවුඩ් නිළි වරලක්ෂ්මි සරත්කුමාර්. ඇයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
වරලක්ෂ්මි සරත්කුමාර් කියන්නේ මම කොලිවුඩ් සිනමාවේ ආසම කරන රංගන ශිල්පිනියක්. මට ඇය එක්ක රඟපාන්න ලැබීම ගැන හිතා ගන්නත් බැරි වුණා. මුලදී මට තිබ්බේ පොඩි බයක්. හැබැයි එයා මා එක්ක ඉතා ඉක්මනින් සුහද වුණා. එයාලා මට ගොඩක් උපදෙස් දුන්නා. මම ගොඩක් දේවල් එයාලගෙන් ඉගෙන ගත්තා. මගේ රංගනය ගැන වුණත් අගය කරන්න තරම් ඒ දෙන්නම ඉතා නිහතමානි වුණා.
විදුෂිකා රෙඩ්ඩිගේ පවුලේ විස්තර කිව්වොත්?
මම පවුලේ එකම දරුවා. අපි ඉන්නේ හැටන් කොටගල. මගේ තාත්තා ව්‍යාපාර කළා. කාලයක් තිබ්බා එයා ගොඩක් දියුණු වෙලා හිටිය. හැබැයි අද වෙද්දී තාත්තා අසනීප තත්ත්වයෙන් ඉන්නේ. එයාගේ ව්‍යාපාර කඩා වැටිලා. අපිට ජිවත් වෙන්න ඕනේ නිසා මගේ අම්මා රැකියාව කරන්න කුවේට් රටට ගියා. තාත්තා මා එක්ක ඉන්නවා.
රෙඩ්ඩි කියන්නේ මලයාලම් කියලත් සමහර අය කියනවා
මගේ පවුලේ අය ගත්තම දෙමළ, සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි, මලයාලි මේ හැමෝම ඉන්නවා.
විදුෂිකා රෙඩ්ඩි කියන්නේ මොන වගේ කෙනෙක් ද?
මම හරිම සංවේදී කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මම ලොකු සැපක් වින්දේ නැහැ. අවුරුදු හතක් විතර මම බෝඩිම් වෙලා ඉගෙන ගත්තා. පුංචි කාලේ ඉඳන් මම තනියම හැදුණු කෙනෙක්. පාසලේදී පළමු දහය අතර හිටියා. ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා අවුරුදු දෙකක් මම ඉස්කෝලේ ගියේ නැහැ. හැබැයි ගොඩක් හොඳට ඉගෙන ගත්තා. ශිෂ්‍යත්ව ලැබුවා. ගුරුවරු මට උදව් කළා.
අම්මා තාත්තා කැමැති වුණා ද නිළියක් වෙනවට?
මුලදී නම් එච්චර කැමැති වුණේ නැහැ. හැබැයි ඔයාගේ දුව ගොඩක් දක්ෂයි, ඇක්ටින් ඉගෙන ගෙන නැතත් වෘත්තියමය රංගන ශිල්පිනියක් වගේ රඟපාන්න දක්ෂ එයාගේ ඇඟේ තියෙන හැකියාව නිසා. ඒ නිසා දුවට උදව් කරන්න කලාවට එන්න කියලා චන්ද්‍රන් රත්නම් සර් සහ මැඩම් කියද්දී එයාලා කැමැති වුණා. දැන් මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.
දිගටම රඟපාන්න ද කැමැත්ත
ඔව්. රංගනය මගේ ෆැෂන් එක වෙලා තිබුණේ. නමුත් දැන් ඇක්ටින් තමයි මගේ වෘත්තීය. හැබැයි මම හොට් ග්ලැමර් ෆිල්ම් කරන්න ආස නැහැ. මම ආස ආර්ට් ෆිල්ම් කරන්න. සමාජයට පණිවිඩයක් දෙන නිර්මාණ කරන්න ආසයි.ෙ
දැන් වයස කීයද?
අවුරුදු 20යි.
රැකියාවක් කරනවද?
තාම නැහැ. මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. මම දැන් සැලසුම් කරලා තියෙන්නේ භාෂාවන් ඉගෙන ගන්න සහ තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉගෙන ගන්න.
දැනට පුළුවන් භාෂා මොනවද?
දෙමළ මගේ මවු බස. ඒ එක්කම ඉංග්‍රීසි පුළුවන්. චිත්‍රපටයේ වැඩ පටන් ගැනීමත් එක්ක මම සිංහල ඉගෙන ගන්නත් පුරුදු වුණා. සිංහල දැන් ටික ටික කතා කරනවා.
ටෙලි නාට්‍යය වලට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?
තවම නම් සිනමාව පමණයි. අනාගතයේ කොහොම වෙයිද කියන්න බැහැ. බලමු ඉස්සරහට.
රිසානා ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම පව්. එයාට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. මට රිසානාගේ චරිතය රඟපාන්න ලැබීම ගැන සතුටුයි. රිසානාගේ චරිතයට මට පුළුවන් දේ කළා කියලා අද මට හිතෙනවා.
