මම මේ තරම් සාර්ථක වුණේ මගේ මහන්සියෙන්මයි - ගෞතම්

gossiplanka image 1
සංගීත ක්ෂේත්‍රයේ ගෞතම් නමින් බොහෝ දෙනා හඳුනන ඔහු, මෙම ගමන ආරම්භ කරන්නේ පාසල් වියේදීය. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගෞතම් හය වසරේ සිට පද්‍ය රචනා තරගවලට සහභාගී වී විශිෂ්ට ලෙස ජයග්‍රහණ හිමි කරගෙන ඇත. අධ්‍යාපනයෙන් පසුව සංගීත ක්ෂේත්‍රයට පියනඟන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සංගීතයට ඇති දැඩි ආශාව නිසාවෙන් ඔහු මෙම ක්ෂේත්‍රයට පිවිසිය ද සංගීතය හැදෑරීමක් සිදු කර තිබුණේ නැත.


“මම සාමාන්‍ය පෙළට කළේ චිත්‍ර විෂය. උසස් පෙළට තෝර ගත්තේ වාණිජ විෂය. සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ මගේ හිතේ තිබ්බ දැඩි ආශාව නිසාමයි.”


2013 වර්ෂයේ මුල්ම ගීතය ලෙස ‘ හිමි වන්නේ නැති තරම් ඔයා’ ඔහු විසින් රචනා කරන අතර එය 2014දී එය පටිගත කර ඇත. මෙම ගීතය ගායනය සඳහා සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ සුමිත් කල්දේරා තෝරා ගත් අතර එයට සංගීතය සඳහා දායක වී ඇත්තේ චමත් සංගීත්ය.


“පළවෙනි ගීතය කරන්න සල්ලි දුන්නේ මගේ අම්මා. පළමු ගීතය කරලා අවුරුද්දක් එය මා ළඟම තියාගෙන හිටියා. මට කිසිම කෙනෙක් අවස්ථාවක් දුන්නේ නෑ ගීතය එළිදක්වන්න. 2015 දෙසැම්බර් මාසයේ අන්තර්ජාලයට මුදා හරින්න උදවු කරන්නේ සඳුන් පෙරේරා. එදා ඔහු උදවු නොකළා නම් අද ඩිලාන් ගෞතමදාස කියලා කෙනෙක් නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ මම ඔහුට හදවතින්ම ස්තූති කරනවා.”


ඔහු විසින් රචිත ගීත එකතුවේ ප්‍රේක්ෂකයන්ගේ වඩාත් සිත් ගත් ගීතය වන්නේ ‘ශෘෘංගාරී‘ ගීතයයි.


“මගේ ගීත අතරින් ප්‍රේක්ෂකයන් අතර බොහෝ ප්‍රසිද්ධියට පත් වුණේ රහල් අල්විස් ගායනා කරන ශෘෘංගාරි ගීතයයි. ඊට පෙර ගීත 20ක් විතර මම ලියල තිබුණා. ශෘෘංගාරි ගීතයේ සංගීතය කරන්නේ ශනුක එස්. පීරිස්. මෙම ගීතය එකල හැම චාට් ෂෝ එකකම වගේ පළවෙනි තැනට ආවා. මෙම ගීතය 2017දී ඔක්තෝබර් එළිදක්වලා ඒ අවුරුද්දේම නොවැම්බර් උදය නදීශාන් ගායනා කරන ‘මාගේ නොවන මතු දාක ‘ ගීතය එළිදක්වනවා. ඒ ගීතයෙන් පස්සේ ඩිලාන් ගෞතමදාස යන නම සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දැනගත්තා කියලා මම හිතනවා.”


ඊට අමතරව ජින්ජර් ගයන ‘දුක දන්නේ නම් ඇස්‘, ශම්මු සිං ගයන ‘මියදෙන මොහොතක් ඒවී‘ සහ සසංක පෙරේරා ගයන ‘ආලේ කතාවක්‘ මේ වන විට ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි. ඔහුගේ ප්‍රථම මවු ගුණ ගීතය ‘මගේ සුදු අම්මා’ බවත් ඔහු එම ගීතයට මහත් ප්‍රියතාවක් දක්වන බවත් පැවසුවේය. ඔහු අතින් ගීත 57ක් පමණ මේ වන විට ලියැවී ඇත.


ඔහු කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ රුසියානු භාෂාව ඉගෙන ගත් ඩිලාන් දැන් වෘත්තියෙන් රුසියානු භාෂා මාර්ගෝපදේශකයකු ලෙස ශ්‍රී ලංකා මධූ ට්‍රැවල්ස් ආයතනයේ සේවය කරයි.


“මගේ ලොකු හීනයක් තමයි රුසියානු භාෂාවෙන් ගීතයක් කරන එක. ඒකත් නොබෝ දිනකින් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක බුද්ධප්‍රිය රාමනායක මහතා මා මෙහෙයවන අතර ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මාව දිරිමත් කරනවා.”


සංගීත ක්ෂේත්‍රයට කිසිදු පවුල් පසුබිමක් නොමැති බව සඳහන් කළ ඔහු, පියා උපපොලිස් පරීක්ෂකයෙකු බවත් මව ගෘහණියක් බවත් ඔවුන්ගෙන් මේ සඳහා විශාල සහයක් ලැබෙන බවත් සඳහන් කළේ ඉතා සතුටිනි.


ගෞතම් සතු සුවිශේෂී දක්ෂතාව වන්නේ රචිත පද වැල්වලට සංගීතය සැපයීමට, රූප රචනාවලට, ගීතයේ ගායනය කරන ගායකයාව තෝරා ගැනීම සිදුකරන්නේ ඔහු විසින්ම වීමයි. ඔහු විසින් රූප රචනා කළ ගීතයන් ලෙස ‘දුක දන්නේ නම් ඇස් මගේ‘,‘කාලයක් නෙතු නොවසා‘,‘මියැදෙන්න මොහොතක් ඒවි‘පෙන්වා දිය හැකිය.


තනි පුද්ගලයෙක් ලෙස මෙතරම් දුරක් පැමිණීම ගැන ගෞතම්ට ඇත්තේ අපරිමිත සතුටකි.


ප්‍රභාෂලී රත්නායක

gossiplanka image 2
Previous Post Next Post