
පළමුව අප හා කතාබහට එක්වන්නේ රොෂාන්ය
ජීවන් කියන්නෙ මේ දිනවල ඔබ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගෙන යන චරිතයක්. ඒ වගේ අවස්ථාවක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ජීවන්ගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චරිතයේ සාර්ථකත්වය ගැන කතා කරද්දි තිරපිටපත් රචක බුද්ධික සේමසිංහ සිහිපත් කළ යුතුමයි. ඒ වගේම අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. මං ඔහුත් එක්ක මීට කලින් වැඩ කරල තියෙනවා. ඔහු ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන් විදිහට ඔහු අපව ඔප දමනවා කිව්වත් හරි. ඒ වගේම බුද්ධික ඒ චරිතය හරිම ලස්සනට ලියනවා. ඔවුන්ගේ සහායෙන් තමයි ජීවන් මේතරම් සාර්ථක වෙලා තියෙන්නේ. ජීවන් කියන්නේ මගේ පළමු හාස්‍යජනක අත්දැකීම නොවෙයි. මීට කලින් මං පාර දිගේ ටෙලි නිර්මාණයේත් හාස්‍යජනක චරිතයක් කරලා තියෙනවා.
ජීවන්ගේ චරිතයේ සාර්ථකත්වයට ඒ හා ගැටෙන අනෙක් චරිතවල බලපෑමත් ඇති?
අනිවාර්‍යයෙන්ම. විශේෂයෙන්ම අංජන එහෙම නැත්නම් ලොකු බ්‍රදර්ගෙ චරිතයට පණ පොවන දේවින්ද වික්‍රමසිංහගෙන් ලොකු සහායක් ලැබෙනවා. අපි දෙන්නා තමයි බොහෝ දුරට එකට ගැටෙන්නේ. ඔහුත් ඉතාම දක්ෂ විදිහට ඒ චරිතයට සාධාරණයක් කරනවා. අනෙක් හැමෝගෙම සහායත් ඒ වගේමයි.
ඔබ ගොඩක් දුරට දායක වෙන්නේ බැරෑරුම් චරිතවලට වුණත් ජීවන් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
කොහේ ගියත් ජීවන්ට පුදුමාකාර ආදරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. පාට කුරුල්ලෝ මොන චරිතය ගත්තත් එහෙමයි. ඒ හැම චරිතයකටම අසීමිතව ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ කියන දෙබසට වඩා එය කියන විලාසයට ප්‍රේක්ෂකයාට සිනහව උපදින සම්භාවිතාව වැඩියි. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. ප්‍රේක්ෂකයාගේ මුවට සිනහව ගේනවා කියන එක ලේසි කටයුත්තක් නොවෙයි. සමහර දෙබස් කියද්දි අපිටම හිනා යන අවස්ථාත් තියෙනවා.
රොෂාන්ගේ ටෙලි ඉතිහාසය බැලුවොත් විවිධාකාරයේ චරිතවලට දායකවෙලා තියෙනවා. ඔබ චරිත තෝරා ගැනීමක් කරනවද?
කොහෙත්ම නැහැ. චරිතය කළු ද සුදු ද කියන එක මට අදාළම නැහැ. නිර්මාණය හොඳයි නම් මගේ චරිතය හොඳට ලියවිලා තියෙනවා නම් මං ඒකට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. සීරියස් චරිතවලට වගේම හාස්‍යජනක චරිතවලටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේ දවස්වල ඔබ ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නෙ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙන නිසාද?
ඔව්. පාට කුරුල්ලෝ හැරුණම රාග, ආලවන්තී සහ මලක් කියන ටෙලි නිර්මාණ මේ දිනවල විකාශය වෙනවා. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ‘රොකී’ පළමු කොටසට සම්බන්ධ වුණා. හැම චරිතයකටම ප්‍රේක්ෂක ආදරයක් ලැබීම තමයි ලොකුම සතුට. තවත් නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. අලුත් සිනමාපටයේ වැඩත් කෙරීගෙන යනවා. ඒ වගේම කුමාර තිරිමාදුරගේ ‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’ සහ අසංක පෙරේරාගේ ‘වෙල්ලස්ස වෙඩි හඬ’ වේදිකා නිර්මාණ දෙකත් මේ දිනවල වේදිකාගත වෙනවා. මේ හැමදේම එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
රොෂාන් කියන්නේ ක්ෂේත්‍රයේ නිහඬ ගමනක් යන කෙනෙක් කිව්වොත්?
ඔව්. මට ලැබෙන චරිතය මොකක් වුණත් මං එයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. ලැබෙන ප්‍රතිචාර නිහතමානීව භාර අරගෙන මං මගේ පාඩුවේ මගේ ගමන යනවා.
රොෂාන් මේ වෙද්දි ඉතාම ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙක් වුණත් ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගායකයෙක් විදිහට?
මුලින්ම මං ගායකයෙක් විදිහට තමයි කලාව හඳුන ගන්නේ. නමුත් පාසල් වේදිකාව මට හුරු පුරුදුයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත ටෙලි නිර්මාණයේ සුගත්ගේ මිතුරකු ලෙස දායක වෙන්න ලැබුණු අවස්ථාව තමයි මාව රංගනය පැත්තට යොමු කළේ. ඔහු වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ පළමුවැනි රංගන අත්දැකීම ලබනවා කියන්නෙම වාසනාවක්. ඒක මගේ ජීවිතයේ ලොකු භාග්‍යයක්. පළමු අත්දැකීමෙන්ම මට ගොඩක් දේවල් ඉගෙන ගන්න හැකියාව ලැබුණා. පසු කාලෙක ඔහුගේ ‘අම්මාවරුනේ’ සිනමාපටයට ප්‍රධාන චරිතයකින් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. මුලදීම වැටුණු ඒ ශක්තිමත් අඩිතාලම තමයි අද මං ඉන්න තත්ත්වෙට හේතු වෙන්න ඇත්තේ. ඊට පස්සේ පුංචි තිරයේ, රිදී තිරයේ වගේම වේදිකාවේත් විවිධ චරිත ඔස්සේ රංගනයෙන් දායක වෙන්න අවස්ථා ලැබුණා.
රංගනයටම කොටුවීමත් එක්ක ගායකයා සම්පූර්ණයෙන්ම නිහඬ වුණාද?
කාර්යබහුලත්වයත් එක්ක ගායනය පැත්තට යොමුවෙන්න කාලයක් නැති වුණා. විවේකයක් ලැබෙන විදිහට අදටත් ගායනයේ යෙදෙනවා.
මේ දිනවල ඔබ සම්බන්ධ වෙලා ඉන්න අලුත්ම චිත්‍රපටය ගැන කතා කළොත්?
ඇත්තටම ඒක ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. අමීගෝ කියන්නේ කාලීන මාතෘකාවක් ගැන කතා කරන සිනමා නිර්මාණයක්. සන්දේශ් බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනය අමල් ලංකා මදුරප්පෙරුම. මේ සිනමාපටයට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මං ගොඩක්ම සතුටු වෙනවා. මේක අද කාලයට ගොඩක්ම උචිත මාතෘකාවක් ඔස්සේ නිර්මාණය වන්නක්. මානසික පීඩනය නිසා අද සමාජයේ දරුවන්ට වෙන හානිය විශාලයි. මොනවහරි නොලැබුණොත් මොනවහරි බැරි වුණොත් ජීවිතයට හානියක් කරගන්න දරුවන් පෙලඹෙන කාලයක්. වෙන දෙයක් තියා විභාගයක් අසමත් වුණත් දිවි නසා ගන්න තැනට අද දරුවන් පත්වෙලා. පොඩි දේටත් උස බිල්ඩින්වලින් පනින ප්‍රවණතාවක් තියෙන්නේ. අමීගෝ කියන්නේ මේ සම්බන්ධයෙන් ගොඩනැඟුණු කතාවක්. හොඳ පණිවුඩයක් සමාජගත කරන්න පුළුවන් වේවි කියල විශ්වාසයක් අපට තියෙනවා. ඒ නිසා හරිම කැමැත්තෙන් මං මේකට සම්බන්ධ වුණා.
ඔබේ බිරිය රිද්මාගේ හමුවීම ගැනත් කියමු. ඇයත් කලාවට සම්බන්ධ කෙනෙක්?
ඔව්. ඇයත් කලාවට සම්බන්ධයි. නමුත් පුතා ලැබුණට පස්සේ පුතාට වැඩි අවධානය දුන්න නිසා කලා කටයුතුවලින් ඈත් වුණා. මාත් හරිම සරලව ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා රිද්මාගේ හමුවීම ඒක තවත් පහසු කළා කිව්වත් හරි. ඇයත් මමත් හොඳින් තේරුම් අරන් පටන් ගත්ත ජීවිතයක් මේක. සරලව ජීවත්වෙන තරමට ජීවිතේ හරිම පහසුයි. පුංචි පුතත් එක්ක අපි හරිම සතුටින් ජීවත් වෙනවා.
රිද්මා පිලපිටිය කියන්නෙත් සුරූපී නිරහංකාර රංගන ශිල්පිනියක්. රූපලාවණ්‍ය තරග ජයග්‍රහණ ඔස්සේ කලාවට පිවිසි ඇය ටෙලි නිර්මාණ ගණනාවකට තම දායකත්වය ලබාදුන්නාය. රොෂාන් හමුවීම ඇයගේ කලා ගමනට අත්වැලක් වූවා සේම පුංචි රාහුල්ගේ පැමිණීම ඇයගේ කලා ගමනට විවේක සමයක් වූ බව ද සැබෑවකි.
රිද්මා කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් කැමැති වුණේ නෑ නේද?
ක්ලීන් ඇන්ඩ් ක්ලියර් සහ ලියා ක්වීන් ජයග්‍රහණත් එක්කමයි මට කලාවට ආරාධනා ලැබෙන්නේ. ගෙදරින් කැමැති වුණෙත් නැහැ මං කලාවට සම්බන්ධ වෙනවට. මුලින්ම සම්බන්ධ වුණේ ඉන්ද්‍රචාප ටෙලි නිර්මාණයට. ඊට පස්සේ දෙවනි තාත්තා. දෙවනි තාත්තා කියන්නේ අපේ පවුලට සුවිශේෂී නිර්මාණයක්. මම, රොෂාන්, රාහුල් පුතා වගේම රොෂාන්ගේ අම්මාත් එහි රංගනයෙන් දායක වුණා. ඒ අතරේ මියුසික් වීඩියෝවලටත් පෙනී ඉන්න අවස්ථා ලැබුණා. පුංචි පුතාගේ ඉපදීමත් එක්ක එයාගේ වැඩවලට මුල්තැන දුන්න නිසා මං කලා කටයුතුවලින් ඈත් වුණා. මේ වෙද්දි මගේම කියලා යූටියුබ් නාළිකාවක් කරගෙන යන අතරේ මාර්කටින් කන්ටෙන්ට් ක්‍රිෙය්ටින් සම්බන්ධයෙන් තවත් ආයතන කිහිපයක් එක්ක වැඩ කරනවා.
පුංචි පුතුගේ පැමිණීමත් එක්ක ජීවිතේ ලොකු වෙනසක් වෙලා නේද ?
අනිවාර්යයෙන්ම. පුංචි පුතා රාහුල් තමයි අපට වාසනාව ගෙනාවේ. එයා ආවත් එක්ක අපි දෙන්නගෙ ජීවිතේ තවත් ලස්සන වුණා. එයා තමයි දැන් අපේ හැමදේම. දැන් පුතාට අවුරුදු 6යි. පළමු වසරේ ඉගෙන ගන්නවා. එයත් කලාවට සම්බන්ධයි. අපිත් එක්ක ටෙලි නිර්මාණවලටත් සම්බන්ධ වෙලා තියෙනවා.
රොෂාන් වගේ ජනප්‍රිය කලාකරුවෙක් සහකරුවා කරගනිද්දි බයක් හිතුණේ නැද්ද?
ජනප්‍රිය කෙනෙක් විවාහයට තෝරගනිද්දී ඕනෙම කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයි. බොහෝ දෙනෙක් ආදරය කරන කාලේ පෙන්නන්නේ තමන්ගේ හොඳ පැත්ත විතරයි. ඒකම තමයි එක වහලක් යටට ගියාම ප්‍රශ්න ඇතිවෙන්න හේතුව විදිහට මං දකින්නේ. යාළුවෙලා ඉන්න කාලෙම තමන්ගේ හොඳ පැත්ත වගේම තමන්ගේ දුර්වලකම්, අඩුපාඩු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක බෙදා ගන්නවා නම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නැහැ. තමන්ට ඊර්ෂ්‍යාව දැනෙනව නම්, තරහ යනව නම් ඒ කාලෙම ඒක පෙන්නන්න ඕන. එතකොට දෙන්නගෙම සැබෑ රූපය ගැන දෙන්නට අවබෝධයක් තියෙනවා. එහෙම නොදැන හිටියම තමයි විවාහ වුණාට පස්සේ ඒවා දැක්කම ප්‍රශ්න ඇති වෙන්නේ. එතැනදී තමයි ඉස්සර යාළුවෙලා හිටපු කෙනා නෙවෙයිනෙ දැන් ඉන්නෙ කියන චෝදනාව එන්නෙ. අපි දෙන්නට දෙන්නා අපි දෙන්නගෙ හොඳ දේවල් වගේම දුර්වලකම් ගැනත් අවබෝධයක් ඇතුවයි විවාහ වුණේ. ඒ නිසා එදා හිටපු අපිම තමයි අදටත් ඉන්නේ කියල මට හිතෙනවා.
රොෂාන්ගෙන් ගෙදර වැඩවලට ලැබෙන සහාය ගැන කතා කළොත් ?
එයාට විවේකයක් ලැබුණම අපිත් එක්ක ගත කරන්නයි එයා කැමති. ගෙදර ඉන්නව නම් අනිවාර්යයෙන්ම ගෙදර වැඩවලට උදවු වෙනවා. මං කිව්වෙ නැතත් ඔහු මට උදවු කරනවා.
