සටන් නළුවා කියන කොටසට මං ගොඩක්ම කැමැතියි - චමිත් හේනාදීර

gossiplanka image 1
සිරස නාළිකාවේ විකාශය වන රොකී ටෙලි නිර්මාණයේ සඳුන්ගේ භූමිකාවෙන් ඔබ හමුවට එන චමිත් හේනාදීර මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන රංගන ශිල්පියෙකි. ඔහු ප්‍රධාන භූමිකාවකින් ප්‍රේක්ෂක ඔබ හමුවට එන පළමු අවස්ථාව මෙය වුවද චමිත් කලා ක්ෂේත්‍රයට නවකයකු නොවේ. 2025 සිරස වසන්ත කුමරා තරගය ඔස්සේ කලාවට පිවිසි ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම වෙළෙඳ දැන්වීම් කලාවේ ද දස්කම්පාන්නෙකි. මාෂල් ආර්ට්ස් සටන් කලාවේ සුවිශේෂී දක්ෂතාවලින් හෙබි චමිත් එය යොදාගනිමින් සඳුන්ගේ භූමිකාව වර්ණවත් කරන ආකාරය ද සිත්ගන්නා සුලුය. මේ ඔහු හා කළ කතාබහයි.


 සඳුන් කියන්නේ රොකී ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවක්. කොහොමද අවස්ථාව ලැබෙන්නේ?


2025 – සිරස වසන්ත කුමරා තරගයට සහභාගි වීම හරහා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. රොකී, සමීර පියරත්නගේ අධ්‍යක්ෂණයක්. ඔහුගෙන් තමයි මට ආරාධනා ලැබෙන්නේ. ඔහු මුලින්ම මගෙන් ඇහුවේ මල්ලි උඹට හොඳට ගහගන්න පුළුවන් ද කියලා. වාසනාවට මට ඒ හැකියාව තිබුණා. මං පොඩි කාලෙ ඉඳන්ම මාෂල් ආර්ට්ස් සටන් කලාව හැදෑරුවා. ගොඩක් අය මාව දැනන් හිටියෙත් මාෂල් ආර්ට්ස් නිසා. මගේ සටන් ගුරුවරයා වුණේ දුෂාන් සමරවීර සර්. මේ අවස්ථාව ලබාගන්න උදවු කළ ඔහු ගැන විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. Jeet Kung do, Kungfu, Wushu, Mixed martial arts (MMA) කියන සටන් කලාවන් මං හොඳින් ප්‍රගුණ කළා. ඉස්සර ඉඳන්ම මං සටන් කලාවට හරිම ආසයි. ඒ වගේම සටන් නළුවෙක් වෙන එක තමයි මගේ ලොකුම හීනය. රොකී හරහා ඒ හීනෙට යන්න අඩිතාලම වැටුණා කියලයි මට හිතෙන්නේ.


 සඳුන් කියන්නේ වත්මන් සමාජයේ නියෝජනයක් ද කියල ඇහුවොත්?


ඔව්. සඳුන් වගේ තරුණයින් ඇත්තටම අද සමාජයේ ඉන්නවා. සඳුන් කියන්නෙත් යූටියුබ් නාළිකාවක් හරහා දේශපාලන අකටයුතුකම්වලට එරෙහිව ක්‍රියාකරන විශ්වවිද්‍යාල සිසුවෙක්. ඔහු කිසිදේකට බය නැහැ. මේ දවස්වල ගැටෙන්නේ ඇමැති පුතෙක් එක්ක. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ රොකී ටෙලි නිර්මාණයේ දෙවැනි කොටසට. ඒ වගේම මං ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන පළමුවැනි අවස්ථාවත් මේක. රංගනයට නවකයෙක් විදිහට මට මේ චරිතය සාර්ථකව ගොඩනඟාගන්න අධ්‍යක්ෂවරයා ඇතුළු මුළු කණ්ඩායමම උදවු කළා.


 ඔබ මාෂල් ආර්ට්ස් හොඳින්ම හදාරපු කෙනෙක්. ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැද්ද?


සටන් නළුවා කියන කොටසට මං ගොඩක්ම කැමැතියි. සඳුන්ගේ චරිතය හරහා යම්තාක් දුරකට මට මගේ හැකියාව පෙන්වන්න අවස්ථාව ලැබෙනවා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක් කිව්වත් හරි. ඒ වගේම විලන් කැරැක්ටර්ස්වලටත් මං කැමැතියි. තෝරාගැනීමකින් තොරව විවිධ චරිත ඔස්සේ අත්දැකීම් ලබලා චරිතාංග නළුවෙක් වෙන්නයි ආස. පුංචි තිරයේ වගේම ඉදිරියේ දී රිදී තිරයේත් මාව දකින්න ලැබේවි. මේ වෙද්දිත් සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ප්‍රේක්ෂකයින්ට මතකයේ රැඳෙන චරිතයක් වෙන්නයි මට ඕන. සිනමාවේ ඇක්ෂන් නළුවා කියන භූමිකාවට ගොඩක්ම කැමැතියි. ඒක මගේ ඇඟේම තියෙන හැකියාවක් කියලයි මට හිතෙන්නේ.


 මාෂල් ආර්ට්ස් කලාව හොඳින්ම ප්‍රගුණ කරපු චමිත් රංගනයට දුන්නේ මොනවගේ ඉඩක් ද?


ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ මුලින්ම මං රංගනය ගැන හැදෑරීමක් කළා. මේ දවස්වල ආකාශ් තාරුක අයියාගෙන් සිනමා රංගනය පිළිබඳව වැඩිදුර හදාරමින් ඉන්නවා.


 ඔබ නිරූපණයට යොමුවෙන්නේ ක්ෂේත්‍රයට පිවිසෙන්නත් කලින් නේද?


මං පාසල් කාලෙ ඉඳන්ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වුණා. ඒ කාලෙ බොහෝ දෙනා මං ගැන දැනගෙන හිටියෙත් නිරූපණ ශිල්පියෙක් විදිහට. ඒ පසුබිම මගේ මේ ගමනට අඩිතාලම වුණා කිව්වත් හරි. සිරස වසන්ත කුමරා සඳහා ඉදිරිපත් වෙන්න ඒකත් මට පන්නරයක් වුණා.


 ප්‍රේක්ෂකයින් කැමැත්තෙන් ඇති චමිත් ගැන තොරතුරු දැනගන්නත්. අපි ඒ ගැනත් කතා කරමු?


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා තමයි මගේ හොඳම යාළුවා. එදා වගේම අදටත් මං හැමදේම කියන්නේ අම්මට. අම්මේ මට නළුවෙක් වෙන්න ඕන කියන එක මං පොඩි කාලේ ඉඳන්ම හැමවෙලේම මතුරන දෙයක්. ඒ වෙලාවට අම්මා කියන්නේ ඔයාට ඒ දේ කරන්න පුළුවන්. ඒත් ඔයා මුලින්ම හොඳට ඉගෙනගෙන ඉන්න, ඒ දේ වටිනාකම තවත් වැඩිවෙන්නෙ එතකොට කියලා අම්මා කියනවා. අම්මා වගේම මගේ අක්කත් මගේ මේ ගමනට ගොඩක් උදවු කරනවා. ගෙදර හැමෝගෙම ආශීර්වාදය ඇතුවයි මම මේ ගමන යන්නේ. දැනට මම ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක්. උසස් අධ්‍යාපනය ලබන ගමන් ඉදිරියේ දී කලා නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ලොකුම ඉලක්කය සම්මානනීය රංගන ශිල්පියෙක් වෙලා අම්මට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වීම. මේ ගමනේදී මට නොසෑහෙන්න උපකාර කරන මගේ යාළුවෝ ටිකත් මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරන්න ඕන.

gossiplanka image 2
Previous Post Next Post