“ගුවන්විදුලි නාට්‍ය ඉතිහාසයේ එකම නාට්‍යයක අඩ සියවසකට වැඩි කාලයක් අඛණ්ඩ හඬ රංගනයෙහි වාර්තා තැබූ ශිල්පියා මමයි. 1963 මාර්තු 12 වන දා ‘මුවන්පැලැස්ස’ ගුවන්විදුලියේ ආරම්භ කරද්දි මම ඒ නාට්‍යයේ ආරච්චිලාගේ චරිතය තමයි රඟපෑවේ. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් මට එහි ‘කෝරළේ මහත්තයා’ වෙන්න සිදු වුණා. මගේ සීයා ඒ කියන්නේ මගේ අම්මාගේ අප්පච්චි සැබෑවටම කෝරළේ ප්‍රධානියෙක් වෙලා ඉඳලා තියෙනවා. අපි එයාට කිවුවේ කෝරළේ අත්තා කියලයි. මට කෝරළේ අත්තාව යන්තම් මතකයි. මම කුඩා කාලෙදිම කෝරළේ අත්තා මියගියා. මගේ ගමත් මහනුවර වරකාගොඩමයි. කෝරළේ මහත්තයා මගේ ජීවිතයටත් සම්බන්ධයි. මුවන්පැලැස්ස නාට්‍යයේ පටිගත කිරීම් දෙසතියකට වරක් ගුවන්විදුලි සංස්ථාවේදී සිදු කරනවා. දැන් ඒ නාට්‍යයට වසර 62ක් වෙනවා. අදටත් සෑම සඳුදාවක ම රාත්‍රී 8.30ට ‘මුවන්පැලැස්ස’ නාට්‍ය ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනවා.”
ගම මහනුවර වරකාගොඩ වුවත් විජේරත්න වරකාගොඩ උපන්නේ කුරුණෑගල වැල්ලව රංගම ගමේ සිය මෑණියන්ගේ මහගෙදරයි. පියා පොලිස් නිලධාරියකු ලෙස රාජකාරි කළ නිසා ඔහුගේ ස්ථාන මාරුවීම් සමඟ වරකාගොඩ දරු පවුල ද පියා සමඟ ස්ථාන මාරු අත්දැකීමට එකතු විය. ඒ අනුව විජේරත්න වරකාගොඩගේ පාසල් ගමන ආරම්භ වන්නේ හලාවත මාරාවිල කතෝලික පාසලෙනි. එයින් වසරක ඇවෑමෙන් පුත්තලම සාන්ත ඇන්ඩෘෘ කන්‍යාරාමයට ඇතුළත් වීමට සිදු විය. පාසල් අටකට නවයකට පමණ ගොස් ඇති ඔහුගේ පාසල් කාලයෙන් වැඩි කාලයක් ගත වූයේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේය.
“තුනේ පන්තියේ ඉඳලා එස්. එස්. සී. පන්තිය වෙනකන් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ගියා. එච්. එස්. සී. කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. ඉස්කෝලෙදී මට ‘සිලෝන් තලාත් මෙහෙමුඩ්’ කියලා නමක් පටබැඳුණා. ළමයි විතරක් නෙවෙයි ගුරුවරු පවා මට එහෙම කතා කළා. එහෙම වුණේ මගේ පාසල් මිතුරන් වුණු එල්මෝ ගුණරත්න, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, එස්. සුබසිංහ, අසෝක පොන්නම්පෙරුම, බණ්ඩාර කේ. විජේතුංග, ඩී. බී. නිහාල්සිංහ යන අයත් එක්ක එකතු වෙලා පාසල් විවේක කාලයේදී තලාත් මෙහෙමුඩ්ගේ ජනප්‍රිය හින්දි සින්දු ගයමින් පුංචි සංගීත සාජ්ජ පැවත්වූවා. ඒවා අහගෙන ඉන්න පාසලේ අනෙක් ළමයිනුත් එකතු වෙනවා. එයාලා තාල තියනවා. පාසල් විවේක කාලය උත්තර භාරතීය සිනමා ශාලාවක් වගේ වුණා. පුංචි කාලේ ඉඳලම මට ලොකු කැමැත්තක් තිබුණේ ගායකයෙක් වෙන්න. ඒ වුණාට මම පාසලේදී වැඩි දස්කම් පෑවේ මීටර් 5000, මීටර් 800 මලල ක්‍රීඩාවලට. නමුත් පසු කාලෙකදි මම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ශිල්පියෙක් බවට පත් වුණා. මම ගායනා කළ ඉර පායනවා, රඟහල දැන් ඇත අඩ අඳුරේ (අනුලා බුලත්සිංහල සමඟ), මිහිරි සිහිනයක වගේ ගීත බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. මේ වන විටත් අලුත් ගීත දෙකක් ඇන්ටන් සුරේන්ද්‍ර සහ නවරත්න ගමගේ සංගීතවත් කරලා තියෙනවා. මගේ පුතා ජනනාත් වරකාගොඩගේ ශබ්දාගාරයේ තමයි මේ ගීත දෙක පටිගත කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලොකුම ගැටලුව තමයි මගේ පුතාට මේ දවස්වල අධික වැඩ රාජකාරි රට පුරා යෙදිලා තියෙන නිසා මේ ගීත දෙක පටිගත කර ගන්න වේලාවක් නැතුව ඉන්නවා. පුතා හැකි ඉක්මනින් ඒ ගීත දෙක පටිගත කරලා මගේ ශ්‍රාවක රසිකයින් අතට පත් කරයි. මගේ පුතා ජනනාත් වරකාගොඩ සංගීත නිර්මාණ ශිල්පියෙක්, පටිගත කිරීම් ශිල්පියෙක්, නර්තන සහ බෙර වාදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් හැටියට ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රකට කෙනෙක්නේ. එයාගේ දක්ෂතාවන් සහ ජනප්‍රියත්වය නිසා ඉතාම කාර්යබහුලයි. දුව වින්ද්‍යා වරකාගොඩත් ඒ තරම්ම දක්ෂතා ඇති ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වාගේම ඇය පවුල් උපදේශිකාවක් හැටියට විශාල සේවාවක් ඉටු කරමින් ඉන්නවා. ඇය අපිත් එක්කම ඉන්නවා. පුතාගේ චූටි පුතයි, චූටි දුවයි නිතර අපිත් එක්ක ඉන්නවා. ඒ දෙන්නා බොහොම ළෙන්ගතුයි.”
පාසල් අධ්‍යාපනය නිම කළ විජේරත්න වරකාගොඩ කුරුණෑගල බැංකුවක ලිපිකරුවෙක් ලෙස සේවයට බැඳුණි. ඒ අතරතුර රජයේ ලිපිකරු විභාගයෙන් ලංකාවෙන්ම දෙවැනියා වූ ඔහු කුරුණෑගල දිසා ලේකම් කාර්යාලයේ හෙවත් කච්චේරියේ ලිපිකරුවෙක් බවට පත් වුණි. 1956 දී පොලිස් පරික්ෂක විභාගයෙන් සමත් ව කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබ පිටකොටුව පොලිසියේ පොලිස් පරීක්ෂක වූයේ ය. පොලිස් අපරාධ අංශයේ වසර 8ක් සේවය කළ ඔහු පොලිස් සේවයෙන් පසුව අතුරුගිරිය වානේ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බවට පත් විය.
“පොලිස් නිලධාරියෙක් වෙන්න කලින් මගේ ලොකු ආසාවක් තිබුණේ හමුදා නිලධාරියෙක් වෙන්නයි. ඒකට ගෙදරින් ඉඩක් ලැබුණේ නැහැ. දෙතුන් වතාවක්ම උත්සාහ කරලා තමයි පොලිස් සේවයටත් බැඳුණේ. ඒ කාලේ පොලිසියේ උසස් නිලධාරියෙක් හැටියට මට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණා. ඒත් වැඩි කාලයක් යන්න කලින් පොලිස් සේවය ගැන මට කළකිරුණා. එහි සිටි ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් ගැන මට කලකිරුණා. අදටත් සමාජයේ මේ තත්ත්වයන් පේන්න තියෙනවා. ඒ කාලේ මම ඉඩක් ලැබෙන හැම වෙලාවකම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. පොලිස් සේවයෙන් ඉවත් වුණාට පස්සේ මට නාට්‍යවලට සම්බන්ධ වෙන්න වැඩි ඉඩක් ලැබුණා. චිත්‍රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ තනතුරුත් දැරුවා. රඟපෑමට සම්මාන සහතිකත් ලැබුණා. නවගමුවගේ අජාසත්ත නාට්‍යයේ බිම්බිසාර රජුගේ චරිතය නිරූපණය 1963 වසරේ සිංහල නාට්‍ය උත්සවයේ දී ශෛලිගත අංශයේ හොඳම නළුවාට හිමි අග්‍රාණ්ඩුකාරවරයාගේ සම්මාන ත්‍යාගයෙන් මම පිදුම් ලැබුවා. ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ ගොළු හදවත චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1969 සරසවිය සිනමා සම්මාන උලෙළේ දී කුසලතා සම්මානයක් හිමිවුණා. අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ අරුණට පෙර චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1985 ජනාධිපති සිනමා සම්මාන උලෙළේ දී වසරේ හොඳම නළුවා ලෙස ජනාධිපති සම්මානයත්, OCIC සම්මානයත් ලැබුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කැලෑමල් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනුත් මට ජනාධිපති සිනමා සම්මාන උලෙළේ දී කුසලතා සම්මානයක් ලැබුණා. 2018 රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයත්, එම වසරේ ම රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන කීර්ති රාජ්‍ය සම්මානයත් මට ලැබුණා. දැන් නම් අපි දෙන්නාටම කලා කටයුතුවලට කවුරුවත් කතා කරන්නේ නැහැ. පහුගිය කාලේ හඬකැවීම් බොහෝමයකට සම්බන්ධ වුණා. ඒවාත් දැන් නැහැ. ඒ නිසා ගෙදරට වෙලා විවේක සුවයෙන් පසු වෙනවා. විවේකයක් කිවුවාට ඒ හැටි විවේකයකුත් නැහැ. ගෙදර වැඩකටයුතු බොහෝමයක් මම කරනවා. සමහර වෙලාවට මම උයනවා. සුපුරුදු ආකාරයට එදා ඉඳලා මේ දක්වා අදටත් මම කඩේ යනවා, බඩු ගේනවා. මම ආනන්ද විද්‍යාලයේ ෙ ජ්‍යෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ඉන්නවා. ඒකේ තනතුරකුත් දරනවා. අපි කණ්ඩායම එකතු වෙලා බොහෝ වෙලාවට විනෝද ගමන්, වන්දනා ගමන් යනවා. මේ මොන දේ තිබුණත් අදටත් සති දෙකකට වරක් ගුවන්විදුලියේ ‘මුවන්පැලැස්ස’ නාට්‍යයේ කෝරළේ මහත්තයා ලෙස රඟපාමින් ඒ නාට්‍යයේ පටිගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.”
හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ නාට්‍යයේ පොතේ ගුරු වූයේ විජේරත්න වරකාගොඩ යි. එහි කුවේණියගේ දියණිය වන දිසාලා ලෙස රංගනයට එක් වූයේ මුදියන්සේලාගේ අයිරාංගණී චිත්‍රා ජයසිංහයි. ඒ 1963 දීයි.
“කුවේණි නාට්‍යයේදී අපි දෙන්නා දැන හඳුනාගත්තා. නමුත් ඊට ගොඩාක් පස්සේ තමයි අපි දෙන්නා අතර ආදර සම්බන්ධයක් ඇති වුණේ. චිත්‍රා කලා වැඩකට සම්බන්ධ වෙන්න එද්දි එයාගේ අම්මත් එනවා. චිත්‍රාව ඉතා හොඳින් ඇය ආරක්ෂා කළා. අපේ සිතැඟි මවුපියන්ට කිවුවා. චිත්‍රාට වඩා මම අවුරුදු එකොළහමාරක් පමණ වැඩිමල් නිසා ඇයගේ මවුපියෝ අපේ විවාහයට අකැමැති වුණා. නමුත් පසුව චිත්‍රගේ කැමැත්තට ඉඩ දීලා මහා විශාල විවාහ උත්සවයකුත් ගත්තා. විවාහයෙන් පස්සේ චිත්‍රාගේ රඟපෑම් නතර වුණා. ඇත්ත වශයෙන්ම මම ඒකට විරුද්ධ වුණා. දරුවෝ දෙන්නා ලැබුණාට පස්සේ ගෙයක් දොරක් හදාගන්න කියලා මම විදේශ ගත වුණා. ඒ කාලේ චිත්‍රා චිත්‍රපට සංස්ථාවේ රැකියාව කරමින්, දරුවෝ දෙන්නවත් බලාගෙන, ගෙදර වැඩත් කරගෙන මං ගැන මතක් වෙන මතක් වෙන සැරයක් පාසා කඳුළු සලමින් ඉඳලා තිබුණා. අද කාලේ වගේ අල්ල උඩින් තිරයක් තියාගෙන කොයි ලෝකේ හිටියත් මූණ බල බලා දුක සැප කතා කර කර ඉන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැනේ. එක්කෝ ලියමනක් එන්න ඕනේ. එහෙම නැත්නම් කවදා හරි මං ලංකාවට එනතුරු චිත්‍රා බලා ඉන්න ඕනේ. අනේ ඉතින් එදා වගේම අදටත් මම ගෙදර දොරෙන් එළියට ගිහිල්ලා ආපහු ගෙදරට එනතුරු චිත්‍රා මඟ බලාගෙන ඉන්නවා. අපේ දරුවෝ දෙන්නා ටිකක් ලොකු වුණාට පස්සේ මම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න චිත්‍රාට ඉඩ දුන්නා. අපි දෙන්නා කලා කටයුතු බොහෝමයක එකට රඟපෑවා. වෙන වෙනමත් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. දෙන්නම ජීවිතයේ හැම දෙක්ම සමබරව බෙදා හදා ගත්තා. චිත්‍රායි, මමයි රැකියාවලත් නිරත වුණා. අපි දෙන්නම වැඩි කාලයක් රජයේ රැකියා කළා. මේ හැමදෙයක්ම එක්ක ගෙදර දොර වැඩ, දරුවන්ගේ වැඩ අඩුවක් නැතුව ඉටු කළා. අපි දෙන්නා අපි දෙන්නා ගැනත් බැලුවා. අදටත් බලනවා. ඒක නිසා අදටත් අපි දෙන්නා සතුටින් සහයෝගයෙන් ජීවත් වෙනවා. මේ පුදුම ආදරය අපි දෙන්නාටම නීරෝගි බව සහ සතුට සදනවා.”