මට හරි ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න-ෂෙහානි කහඳවල

gossiplanka image 1
 

පසුගිය කාලයේදී මෙරට සිනමා ශාලා රසික ප්‍රතිචාරයෙන් පිරී ඉතිරී යමින් වාර්තා තැබූ තිසර ඉඹුලානගේ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයේ සිය අහිංසක සහ දඟකාර ‘සොපියා’ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ෂෙහානි කහඳවල මේ දිනවල කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියකි. තමන් රංගනයට වගේම ගායනයට ද දක්ෂ බව පවසන ඇය, මෙම චරිතය තමාගේ රංගන ජීවිතයේ විශාලතම අභියෝගය මෙන්ම හැරවුම් ලක්ෂ්‍යය වූ බව ද කියයි. අද ‘හාට්’ එකට ෂෙහානි කහඳවල ගොඩවැදුණේ මේ විදිහට…


ඉතින් ෂෙහානි කොහොමද?

ඇත්තටම හොඳයි. වැඩ කටයුතුත් හොඳින් කරගෙන යනවා.

කවුද මේ සොපියා කියන්නේ?

සොපියා කියන්නේ මෝඩ තරිඳු චිත්‍රපටියේ මෝඩ තරිඳු සමග චූටි ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියපු චරිතයක්.

ඔබ කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ?

චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන තමයි මට මුලින්ම කතාකරලා කිව්වේ. මුලින්ම කිව්වේ මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා. මම හරි ආසාවෙන් හිටියා තිසරත් එක්ක වැඩක් කරන්න. මම මීට කලින් චිත්‍රපටවල ලොකු චරිත වගේම විවිධ පරාසයන්වලට යන්න පුළුවන් විදිහේ චරිත මුණගැසිලා නැහැ.

ඇයි ඔබ මෙවැනි චරිතයක් තෝරා ගන්නේ?

මේ වගේ චරිතයක් තෝරගන්න හේතුව ඇත්තටම අභියෝගයක්. මට ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න. ඉතිං මම චරිතයට කැමැති වුණා පිටපත කියවපු ගමන්. මට හිතුණා මේක මට කරන්න පුළුවන් කියලා ඉතිම් මම මේ චරිතේ භාරගත්තා.

සොපියා කියන චරිතය ඔබට දැනුනේ කොහොමද?

ඇත්තටම සොපියා කියන්නෙ සමහර අවස්ථාවල දඟකාර චරිතයක් වෙන්න පුළුවන්. නමුත් ඇය අහිංසක අවංක චරිතයක්.

මේ චරිතය ඔබට අභියෝගයක් වුනාද?

අභියෝගයක් කියන්නේ මේක මගේ පළවෙනි චිත්‍රපටය. ඒ වගේම හරිම ආසාවෙන් කරපු චිත්‍රපටයක්. අභියෝගයක් ලෙස මට 70 දශකයේ නැතිවෙච්ච චරිතයක් විදිහට තමයි මම රඟපාන්නේ. ඉතින් ඒ චරිතයත් අභියෝගයක්. අද කාලෙ තරුණ පිරිමි ළමයෙක් සමග ඒ සම්බන්ධතාව සහ ගුණවතීගේ චරිතය සමග ගැටීම මට පුංචි අභියෝගයක් වුණා. ඉතින් මම හිතනවා ඒක හරි ලස්සනට සාධාරණව මම ඉෂ්ට කළා කියලා.

මෝඩ තරිඳු චිත්‍රපටියේ ඔබට අමතක නොවන සිදුවීම් මොනවද?

මෝඩ තරිඳු චිත්‍රපටයේ අමතක නොවන සිදුවීම් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මට ඒවා මතක නෑ. සුන්දර සිදුවීම් තියෙනවා. චිත්‍රපටයේ රූගත කරන අවස්ථාවල අපට ලැබුණු පුංචි පුංචි අකරතැබ්බත් තියෙනවා. මට හරියට ඒවා මොනවාද කියල කියන්න අමාරුයි.

මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි ඒ ගැන. ලංකාවේ මේ වෙනකොට හැම සිනමා ශාලාවක්ම හවුස් ෆුල්. ඉතින් මෑත කාලේ එහෙම චිත්‍රපටයකට එහෙම ප්‍රේක්ෂක පිරිසක් දැකබලා ගන්න හරි අමාරුයි. ඇත්තටම පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් මම දකින විදියට දැන් ඒ තත්ත්වය වෙනස් වීගෙන යනවා. මට ඒ ගැන හරි සතුටුයි. මෝඩ තරිඳු චිත්‍රපටිය හරහා මිනිසුන්ට විශ්වාසය, චිත්‍රපටියක් බලන්න ඒ මේ විශ්වාසය සහ චිත්‍රපටයට තියෙන ආදරේ පෙන්නන්න තමයි එන්නෙ. ඉතින් ගේ චිත්‍රපටිය ඒ තරමටම රසවත්. කටින් කට කොයි කෙනා කොහොම කිව්වත් ඇස් දෙකෙන් දකිනකන් ඒ රස විඳින්න අමාරුයි. ඉතින් එහෙම රසවින්ද සෑම කෙනෙක්ගෙම ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මම හිතන විදිහට ලංකාවට මේක තමයි ඕනා. මේ වගේ වෙනසක් ඕනෙ. තිසර සහ පොඩි තිසර ඒ වගේම රංගනයෙන් දායක වුණු හැම නළුවෙක්ම එයාලගේ චරිතවලට උපරිම සාධාරණයක් ඔවුන් ඉටුකළා.

මේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයද?

ඔවු ඇත්තටම මේක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්.

රංගනයට වගේම ඔබ ගායනයටත් දක්ෂයි. ඉදිරියේදී ඔබේම ගීත අපිට අසන්නට ලැබෙයිද?

ඔව් පුළුවන් තරම් ඉක්මනටම අසන්න ලැබෙයි. මේ ටිකේ ඒ වැඩ කටයුතුත් කරගෙන යනවා. ගායනය පැත්තෙන් පුළුවන් තරම් ඉක්මනට අලුත් ගීත නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා.

ඔබ වැඩිපුර කැමැති රංගනයටද ගායනයටද?

එහෙම කියන්න ඇත්තටම අමාරුයි. මම දෙකම සමබරව කරගෙන යන්න කැමැතියි. මම උපරිම උත්සාහ දෙනවා රංගනය හා ගායනය සාර්ථකව කරගෙන යන්නත්. මොකද මට දෙකම කරන්න පුළුවන්. නමුත් මම ඇත්තටම ආස ගායනයට තමයි.

ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ අහඹු ලෙසයි. ඒ 2013 ටීවී දෙරණ හරහා තමයි මම මාධ්‍යයට එන්නේ. 2015 තමයි මම මිනිස්සු අතරට එන්නේ. ඒ ෂෙහානි කකඳවල ලෙස.

ඔබේ මුල්ම නිර්මාණය කුමක්ද?

සිරස නාලිකාවේ සුජාතා ටෙලිනාට්‍ය හරහා මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.

මෙතෙක් පැමිණි ගමන ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. මම ඇත්තටම තෘප්තිමත්. මොකද මම තනියම මගේ දේවල් කළමනාකරණය කරගෙන ඉස්සරහට යන කෙනෙක්. මට මං ගැන හරිම ආඩම්බරයි. මම මෙච්චර කල් මගේ නම මේන්ටේන් කරගෙන ආව වගේම මේ අවුරුදු ගණන ගැන මම ඇත්තටම තෘප්තිමත්.

ඔබගේ ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?

මට තව චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන මේ දවස්වල කතාබහ කරමින් තියෙන්නේ. ඒ වගේම මගේ ගීතවල වැඩ කටයුතුත් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න තමයි මම උත්සාහ කරන්නේ.

ඔබගේ පවුලේ විස්තර දැනගන්න පුළුවන්ද?

මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි.

ඔබ ආදරය දකින්නේ කොහොමද?

ආදරය හරි සුන්දරයි ඉතින්. ඒකේ වරදක් නැහැ.

ඔබ ජනප්‍රියත්වය රඳවා පවත්වාගන්නේ කොහොමද?

ජනප්‍රියත්වය කියන දේ අපිට බලෙන් රඳවා පවත්වා ගන්න බැහැ. නමුත් ජනප්‍රියත්වය රඳවා පවත්වාගන්නේ කොහොමද කියන එක දෙවිදිහකට කතා කරන්න පුළුවන්. එනම් මැනේජ්මන්ට් කම්පැනි එකක් තිබුණොත් මැනේජ්මන්ට් එක එයාලා ඒ විදිහට කරනවා. කලාකරුවට එතැනදි හිතන්න දෙයක් නෑ. නමුත් තනියෙන් ඉන්න කලාකරුවෙක්ට එනම් ලංකාවේ ඉන්න කලාකරුවෙක්ට තනිවම තමයි කළමනාකරණය කරගන්න වෙන්නේ. මම නම් පෞද්ගලිකව මගේ ජනප්‍රියත්වය තියාගන්න අවශ්‍යයි කියලා දේවල් කරන්නේ නැහැ. තමන් තමන්ටම අවධානය දී තමන් කරන දේවල් කොච්චර ප්‍රශ්න ආවත් තමන් මොනවද මිනිස්සුන්ට දෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. චිත්‍රපටියක් හෝ නිර්මාණයක් අවසානයේදී තමන්ව මිනිස්සු කොච්චර දුරට භාරගන්නවාද කියන එක දැනගන්න පුළුවන්.

gossiplanka image 2
Previous Post Next Post