එකිනෙකට වෙනස් තේමා ගොන්නක් අතර සැරිසරන ඇය ත්‍රාසය සහ භීතිය උපදවන සිනමා මඟෙක ගමන් කරනා තැනැත්තියක්. එමෙන්ම තම කුලුඳුල් නිර්මාණයෙන්ම කාන්ස් සිනමා උළෙලට නිර්දේශ වූ සිනමාපටයක් නිර්මාණය කළ අධ්‍යක්ෂවරියක්. තම පන්හිඳ මෙහෙයවමින් තමන්ගේ පරිකල්පනය තුළ පෙර නොවූ විරූ ලෝකයක් ගොඩනඟනා ඇය ප්‍රබල ගණයේ තිරපිටපත් රචිකාවියක්. මේ දිනවල ඇය අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමාපටය වන 69 දිවයින පුරා තිරගත වීම ආරම්භ වුණා. අද එක්වන්නේ අධ්‍යක්ෂවරියක් වන වින්ධ්‍යා හාරිස්පත්තුව.
මෙම සිනමාපටය නිර්මාණය වුණු අයුරු ගැන කියමු?
මේ සිනමාපටය නිර්මාණය කිරීම සඳහා වස්තුබීජය සැපයුවේ මේ සිනමාපටයේ නිෂ්පාදකවරයා වන යූ.ඒ. පල්ලියගුරු. ඔහු මට මෙහෙම සිනමාපටයක් නිර්මාණය කරමු කියලා යෝජනා කළ විට මම ඒ ඔස්සේ කතාව ගොඩනැඟුවා. ලාංකාවේ සිටි මනඃකල්පිත සිනමාවේදියෙක් වන ඉන්ද්‍රජිත් කියන පුද්ගලයා වටා තමයි මේ කතාව ගොඩනැඟෙන්නේ. ඔහුගේ ඉච්ඡාභංගත්වය, වියපත් විට දැනෙන මනෝභාවයන් ආදිය ඔස්සේ තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඔය විධියට තමයි 69 සිනමාපටය නිර්මාණය වුණේ.
මේ සිනමාපටය අසම්මතය වටා ගෙතුණු සිනමාපටයක්. මේ ගැන කියනවා නම්?
69 කියන්නේ මෙහි සිටින ප්‍රධාන චරිතය වන ඉන්ද්‍රජිත්ගේ වයස. ඔහුට වියපත් වියේදී පෙම්වතියක් මුණගැසෙනවා. මේ දෙදෙනා අතර වයස් පරතරය ඉතා විශාලයි. මෙවැනි වියපත් වයසක සිටින මිනිසෙක් ආදරය කියන දෙය සඟවාගෙන සිටිනවා. සම්මතය කියන්නේ මිනිස්සු ගොඩනඟා ගන්න දෙයක්. මේ දේවල් හොඳයි මේ දේවල් නරකයි කියලා අපි අපිමයි කට වචනයෙන් කියා ගන්නේ. ඒවා කිසිම තැනක ලියවිලා නැහැ. සම්මතය කියන රාමුවෙන් එහාට ගිය විට මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා.
69 කියන්නේ මැයි දෙසැම්බර් ගණයේ ආදර කතාවක්. මේ වගේ දේවල් අපේ රටට උචිතද?
අපි මේ සිනමාපටය නිර්මාණය කළේ රටේ සංස්කෘතික රාමුව බිඳින්න නෙවෙයි. අපි මෙතැනදී සංස්කෘතිය කියන දෙය අතපත ගාලා නැහැ. අපි කතාබහ කරන්නේ මානුෂීය අවශ්‍යතාවක් පිළිබඳව. මනුෂ්‍ය හැඟීම්වලට කිසිවකුට සීමා දාන්න බැහැ. කාටවත් කරදරයක් නැතිව අපේ හැඟීම් අපි විඳිනවා නම් ඒකෙ ගැටලුවක් නැහැ. මේ දේවල් උචිතද, උචිත නැද්ද කියන එක තීරණය කරන්න ඕන තමන්. ගොඩක් අය මේ දේවල් සඟවාගෙන කතා කළත්. හැමෝම මේ දෙය සාධාරණීකරණය කරයි කියා මම සිතනවා. අපි හැමෝම මැරිලා යන මිනිස්සු. අපිත් වයසට යනවා. අද අපිට මේ වගේ දේවල්වලට මුහුණ දෙන්නෙ නැති වුණත් හෙට අපිට මුහුණ දෙන්න වේවි.
ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ කාන්තාවක් මුහුණ දිය යුතු අභියෝග කතා කරමු?
අභියෝගයක් නැහැ කියනවා නම් ඒ දෙය විශ්වාස කරන්න අපහසුයි. මේක අභියෝගාත්මකයි. අපි මේ ක්ෂේත්‍රය තුළ මානසිකව සහ කායිකව විශාල ලෙස වෙහෙස වෙන්න ඕන. කාන්තාවක් කියන්නේ ගෙදර දොර වැඩකටයුතු සහ හැමදෙයම සමබර කරන කෙනෙක්. අධ්‍යක්ෂවරියක් ලෙස මට මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් තදබල ලෙස නැඹුරු වෙලා කටයුතු කරන්න බැහැ. මම ජීවත් වෙන්නේ මගේ තිරපිටපත, චරිත, ඒවා ගොඩනැඟෙන විධිය සහ ඒවා අධ්‍යක්ෂණ කාර්යයට ගෙන එන අයුරු ගැන සිතමින්. ඒක දැවැන්ත කාර්යභාරයක්. ඒ වගේම සිනමාපටයක රූගත කිරීමෙන් අනතුරුව තිබෙන පශ්චාත් නිෂ්පාදන කටයුතු පවා දැවැන්ත කාර්යභාරයක්. දැන් ලංකාවේ කාන්තාවන්ට නිසි තැන ලැබිලා තිබෙනවා. අරක කරන්න බැහැ, මේක කරන්න බැහැ කියලා දෙයක් නැහැ.
ඔබ අධ්‍යක්ෂණය කරන බොහෝ නිර්මාණවල තිරපිටපත ඔබම රචනා කරන්නේ කුමක් නිසාද?
මේ ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් වගේ පෙනුණට ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. මමම ලියලා මම අධ්‍යක්ෂණය කරන එක මට ගොඩක් පහසුයි. මගේ සිත තුළ ගොඩනැඟෙන සිතුවිලි මට පහසුවෙන් නිර්මාණය කිරීමට හැකි වෙන්නේ මම රචනා කළොත් විතරයි. ලංකාවේ ගොඩක් දක්ෂ තිරපිටපත් රචකයන් සිටිනවා.
නැවතත් කෙටි චිත්‍රපට නිර්මාණය කිරීමේ අදහසක් නැද්ද?
ලංකාව තුළ සිනමාව පිළිබඳව හදාරන්න නිසි තැනක් නැහැ. මම නිර්මාණය කළ කෙටි චිත්‍රපට කියන්නේ මට අනුව මගේ විශ්වවිද්‍යාල දෙක. ඒ තුළ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ දේවල් නිර්මාණය කිරීමේදී මුහුණ පෑ දැවැන්ත අභියෝග හමුවේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශාල වගකීමක් දරන්න පුරුදු වුණා. තවම කෙටි චිත්‍රපටයක් හදන්න අදහසක් ආවෙ නැහැ. ඉදිරියේදී බලමු.
සිනමාව කියන්නේ පුරුෂ මූලික කලා මාධ්‍යයක් බව ඇතැම් විචාරකයන් පවසනවා. මේ ගැන ඔබේ අදහස?
මේකත් ගොඩනඟාගත් සම්මතයක්. පිරිමින්ට කිසිම විටෙක ඒකපාර්ශ්වික වෙන්න බැහැ. යුද වාතාවරණය දෙස බලන්න. පිරිමි සෙබළුන් වගේම ගැහැනු සෙබළියන් යුද්ධයට නොබියව මුහුණ දුන්නා. සිනමාව පිරිමින්ගේ කලා මාධ්‍යයක් ලෙස හැඳින්වූයේ අතීත කතිකාවෙන්. අධ්‍යක්ෂණය හමුවේ ගැහැනිය පුළුල් ලෙස සමාජයට නිරාවරණය වෙනවා. අපිටත් නිර්මාණයක් භාර දෙන්න කලින් නිෂ්පාදකවරයෙක් දෙපාරක් සිතනවා. ගැහැනියකට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියා ඔවුන් සිතනවා.
සිනමාව පසෙකින් තැබූ විට ඔබ වැඩ කිරීමට කැමැති අනෙක් කලා මාධ්‍යයන් ගැන කියනවා නම්?
තමන්ගේ රක්ෂාව තමන්ගේ විනෝදාංශය කරගත් විට එය ගොඩක් සාර්ථක වන බවට කතාවක් තිබෙනවා. මම දන්න කාලෙක ඉඳන්ම කළේ ලියන එක. අතට අහුවෙන කුමක් හෝ පොතක මම මොනා හරි ලියනවා. වෙන ළමයි බෝනික්කෝ සෙල්ලම් කරනකොට මම කළේ මොනා හරි ලියන එක. මම ලියන එකෙන් විශාල තෘප්තියක් ලබනවා. ඒ ලිවීම නිසා තමයි මම අධ්‍යක්ෂවරියක් බවට පත් වුණේ. මේක තමයි මගේ ලෝකය. එතැනින් එහාට දෙයක් මම දකින්නේ නැහැ.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?
මගේ නවතම සිනමාපටයෙහි වැඩ කටයුතු මේ වසරේ අගදී ආරම්භ කිරීමට නියමිතයි. එය විශේෂයෙන්ම ළමයින් උදෙසා නිර්මාණය කරන සිනමාපටයක්. මම නිර්මාණය කළ ස්පීඩ්, ගරා ඇතුළු සිනමාපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි.
.jpg)
.png)