සිස්ටම් හැදෙන්න නම් ජනාධිපතිවරයා තව අවුරුදු 10ක් වත් ඉන්න ඕනෑ - දිල්හානි අශෝකමාලා

 



ඇය සිංහල සිනමාවට පියඹා ආ සමනලියයි. මනබන්ධනීය රූපයෙන්ද, එයටම ඔබින සිනහවෙන්ද මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික හදවත් වසඟ කරගත් ඇය රංගනයෙන් ඔබ්බට ගිය අති දක්ෂ නර්තන ශිල්පිනියක්ද වේ. සිංහල සිනමාව තුළ සදාකාලික මතකයන් රාශියක් තබන්නට සමත් වූ ඇය සැබෑම සිනමා තාරකාවකි. මේ දිල්හානි අශෝකමාලා ඒකනායක වූ ඒ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමඟින් කළ සුහද කතාබහයි.


අලුත් තොරතුරු ටිකක් කියලම කතාව පටන් ගමු?


මේ දවස්වල දෙරණ රූපවාහිනියේ වර්ෂා ටෙලි නාට්‍යය සමඟින් සහ පුබුදු චතුරංගගේ කුණා චිත්‍රපටයේ වැඩකටයුතු එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම රනිල් කුලසිංහගේ ලවර්ස් ලීප් හෙවත් එළිය මැද ඇල්ල නිර්මාණය එක්ක තමයි මේ දිනවල කාලය ගත වෙන්නේ.


ඔබලාගේ යුගයෙන් පස්සේ සිංහල සිනමාවට තරු බිහිවීම අවසන් වුණා. දැන් අපිට සිනමා තාරාකාවියන් නැහැ. ඇයි එහෙම වෙලා තිබෙන්නේ?


ඒ කාලයේ  මාධ්‍ය සිනමාව විතරයි. දැන් මාධ්‍ය කියන දේ ඉතාම පුළුල් වෙලා. රංගන ශිල්පීන්, ශිල්පිනියන්ව නිතරම දකින්න ලැබෙනවා. රූපවාහිනිය ගත්තොත් නාළිකා කීයක් තියෙනවද, සමාජ මාධ්‍ය හරහා දිනපතාම නළු නිළියන්ව දකින්න ලැබෙනවා. අද තරු බිහි නොවෙන්න හේතුව ඒකයි. ඉඳලා හිටලා දකින එකයි නිතරම දකින්න ලැබෙන එකයි අතරේ වෙනස තමයි ඒකට බලපාලා තියෙන්නේ. එහෙම නැතුව වර්තමාන ශිල්පීන්, ශිල්පිනියන්ට


දක්ෂතා නැතිව නෙවෙයි. ඔවුන් දක්ෂයි. නමුත් අර නිතරම දකින එක මේකට හේතුවක් වෙලා තියෙනවා. ප්‍රේක්ෂකාගාරයත් එහෙමයි. එදා සිනමාවට විතරක් තිබුණු ප්‍රේක්ෂකාගාරය අද බොහෝ මාධ්‍ය හරහා විසිරිලා තිබෙන්නේ. ඒ කාරණය එක්ක මේ තුළ පැවැත්මක් හදාගන්න එක හරිම දුෂ්කරයි. ඒ නිසාම වර්තමානයේදී එදා අපි හදාගත්තා වගේ නමක් හදාගන්න එක පහසු නැහැ. අපිත් මේ කාලේ වගේ සිනමාවට ආවා නම් අපිටත් ඕකමයි වෙන්නේ. මේක ලංකාවට විතරක් බලපාන දෙයක් නෙවෙයි. ලෝකේ හැම තැනටම ඔය කාරණය පොදුයි.


බහුතරයකට කලාව තුළ ස්ථාවර පැවැත්මක් නැත්තේ ඒ නිසාද?


මට හිතනවා ප්‍රේක්ෂකයා තවමත් අපි වගේ අය හොයනවා කියලා. නමුත් එතැන තවමත් හිස් වෙලා තිබෙන්නේ. ඒක තමයි ඔය ගැටලුවට හේතුව.


තමන්ගේ හිත ගත්ත නළුවට, නිළියට  මිටි ගණන් ලියුම් එවපු ප්‍රේක්ෂකාගාරය,  සමාජ මාධ්‍ය තුළ කලාකරුවන් ප්‍රසිද්ධියේ විවේචනය කරන තත්ත්වයට පත්වෙලා තිබෙන්නෙත් ඒ නිසාද?


අද කාලේ පොඩ්ඩක් අඟපසඟ වැඩියෙන් නිරාවරණය කරන ප්‍රවණතාවක් තියෙනවානේ. ඉතින් කොච්චර ලෝකය දියුණු වුණත් අදටත් පවුල් පිටින් චිත්‍රපට බලන්න එන අය බහුතරයක් ඔය කාරණයත් එක්ක රංගන ශිල්පිනියන්ව විනිශ්චය කරනවා. ඒක නිසාම රංගන ශිල්පියා, ශිල්පිනිය කියන කෙනා තමන්ගේ ගමන හරි පරිස්සමට කළමනාකරණය කරන්න ඕනෑ කියලා මට හිතෙනවා. මොකද කලාකරුවෙක් පිට කරන එක පොඩි වචනයක් ඇති මුළු


ජීවිත කාලය පුරාම කරපු දේවල්වල වටිනාකම නැතිවෙන්න. ඒ නිසාම මම ගොඩක් අයට කියන දෙයක් තමයි තමන්ගෙ පෞද්ගලිකත්වය පෞද්ගලිකව තියාගන්න කියන දේ. නමුත් ඒක බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. අද ගෙදර ඇඳේ නිදියන එක පවා සෝෂල් මීඩියා දානවා. තමන්ගේ පෞද්ගලිකත්වය ඕනෑවට වඩා සමාජයට විවර කරන්න හොඳ නැහැ. මොකද මිනිස්සුට ඒ දේවල් හොඳට මතකයි. ඔවුන් අවශ්‍ය තැන්වලදි ඒවා එළියට ගන්නවා.


මම වුණත් ඒ කාරණයෙදි බොහොම පරිස්සම් වෙනවා. මම පොදු ස්ථානවල හැසිරෙන්නේ බොහොම කල්පනාකාරීව. මෙච්චර කාලයක් පුරා හදාගත්ත නම එක පොඩි දෙයකින් නැති කරගන්න මම කැමැති නැහැ. රංගනයේදී විතරයි ඒ ඒ චරිතයට අවශ්‍ය විධියට විවෘත වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී මෙතෙක් කාලයක් ගොඩනඟාගෙන තිබෙන නම ආරක්ෂා වෙන විධියට හැසිරෙන්න මම කල්පනාකාරි වෙනවා.


නව දේශපාලන වෙනසත් එක්ක ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වෙලා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?


මම මෙතැනදි සිනමාව පැත්තෙන් විතරක් කතා කරන්න කැමැති නැහැ. මොකද මුළු පද්ධතියම, මුළු රටක් විනාශ වෙලා තිබෙන්නේ. ඒ නිසාම කියන තරම් පහසුවෙන් සියල්ල වෙනස් කරන්න හම්බවෙන්නේ නැහැ. මෙතැනදි මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. මේ ආණ්ඩුව ආපු නිසානේ අපි දන්නේ මේ තරම් හොරාකාලා, මේ තරම් වැරැදි වැඩ කරලා කියන දේ. මෙච්චරකල් ඇත්තටම වෙලා තියෙන්නේ සුදු ඇඳගෙන කළු ඇවිත් වගේ වැඩක්. ඒක සිනමාව තුළ විතරක් නෙවෙයි හැම තැනම එහෙමයි. මේ ළඟදි සුදත් මහදිවුල්වැව අයියා කතා කළාම ඔහු කිව්වේ මේක ලේසි පහසු වැඩක්


නෙවෙයි කියන එක. එතැනදි මම ඔහුට කිව්වේ මේ වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න අයියේ කියන එක. ඇත්තටම මම දේශපාලනික චරිතයක් වෙන්න හෝ තනතුරු දරන්න වගේ දේවල්වලට කැමැති නැහැ. නමුත්  කලාකාරිනියක් වශයෙන් මගෙන් උදව්වක් අවශ්‍ය වුණොත් ඒ උදව්ව මම කරනවා. මගේ පෞද්ගලික මතය නම් මේ සිස්ටම් හැදෙන්න නම් මේ ජනාධිපතිවරයා අවම අවුරුදු දහයක් වත් ඉන්න ඕනෑ කියන දේ.


අද වෙද්දි විවාහක තරුණියන් බහුතරයකගෙන් එල්ල වන චෝදනාවක් තමයි නැන්දම්මා නිසා පවුල අවුල් වෙනවා කියන දේ. ඔබේ එකම පුතා දැන් විවාහකයි. මේ කාරණාව ඔබ දකින්නේ කොහොමද?


ඇත්තටම මම දකින දේ තමයි අම්මා කියන කෙනා අම්මා කියන වචනයෙන් එහාට තමාගේ භූමිකාව මාතෘත්වය කියන තැනට අරගෙන එන්න ඕනෑ. එතැනදි අම්මලාට හැම දරුවම එකයි. මගේ පුතා විවාහ වුණාට පස්සේ මම ගත්ත තීරණයක් තමයි මම ඔවුන්ගේ ජීවිතයට බලපෑම් කරන්නේ නැහැ කියන දේ. පුතා මාව බලන්න එන්න හැදුවත් මම කියන්නේ දුවත් එක්කම එන්න කියලා. පුතා තනියම ගමනක් යන්න හැදුවත් මම කියන්නේ දෙන්නත් එක්කම යන්න කියලා. මම කැමැති ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතය නිදහසේ, ලස්සනට, සැහැල්ලුවෙන් ගෙවනවා බලන්න. එතැනදි ඔවුන්ගේ තීරණවලට මගෙන් බලපෑමක් නැහැ. ගොඩක්ම ඔය ප්‍රශ්නය එන්නේ පුතාලා ඉන්න අම්මලාට. ඔවුන්ට තමන්ගේ


පුතා විවාහ වුණාම පුතාගේ අවධානය වෙන කෙනෙක්ට යද්දී පොඩි ඉරිසියාවක් වගේ එනවා. එතැනදී තමන්ගේ ලේලිට දෙන්න පුළුවන් වධ බන්ධන සේරම දෙනවා. එතැනදි ඒ පවුලත් විනාශ වෙලා යනවා. අම්මා කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනෑ ඒ  භූමිකාව ඇතුළේ මුළු ලෝකෙටම ආදරය කරන්න. ඒකට ටිකක් මොළෙත් තියෙන්න ඕනෑ. එතැනදි ඒ කාරණාව අවබෝධ කරගන්න තමන්ගෙ ආගම කියන දේ වුණත් උපයෝගී කරගන්න පුළුවන්.


ඔබේ සැමියා ප්‍රියංකර පෙරේරා මහත්මයාගේ සුවදුක් දැන් කොහොමද?


ඔහු දැන් හොඳ සුවෙන් ඉන්නවා. මට පුළුවන් උපරිමයෙන් ඔහුට සලකනවා. ජීවිතයෙදි කවදා හෝ ලෙඩ දුක්වලට, මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙන බව දැනගෙන ජීවත්වීම තුළ අපිට මේ වෙනස්කම්, අසනීප සාමාන්‍ය විධියට දරාගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඔහු මේ වෙද්දී සනීපෙන් සතුටෙන් ඉන්නවා.


අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


ඔව්, ඇත්තටම මම මේ දිනවල තිබෙන වැඩ කටයුතු ටික ඉවර වුණාම මාස දෙකක විතර පොඩි විවේකයක් ගන්න ඉන්නේ. මොකද මම වෙනුවෙන් මහන්සි වෙන මගේ ශරීරයට නැවත ශක්තිය, අවධානය ලබා දෙන්න ඒ විවේකය අත්‍යවශ්‍යයි. මේ අවුරුදු ගණනාව පුරාවටම මගේ හිත කියන කියන පදේට නැටුවේ මගේ ශරීරය. ඒ නිසා ඒ ගැන වැඩි සැලකිල්ලක්, අවධානයක් ලබා දෙන්න ඕනෑ. හැම වෙලේම මේ ශරීරයට අනන්ත අප්‍රමාණ වධ දෙන්න හොඳ නැහැ. අපි වෙනුවෙන් මේ ශරීරය කොයි තරම් වෙහෙසිලා තියෙනවද? අපි කවුරුත් අපේ ශරීරය දිහා අනුකම්පාවෙන් බලන්නේ නැහැ. මම නම් හැම වෙලේම ස්තූති කරන්නේ මගේ ශරීරයට. ඉතිං විවේකයක් අරගෙන නැවතත් ශක්තිමත්ව එන්න තමයි බලාපොරොත්තුව.




Previous Post Next Post