සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ “බොරදිය පොකුණ” චිත්‍රපටියට දායක වෙමින් සිනමා තිරයට ප්‍රවිෂ්ටය ගත් ඔහු වේදිකා නාට්‍යයට නැතුවම බැරි චරිතයක් බවට පත් වෙලා. කලාත්මක කෘති සිනමාකරණයට ගෙන එන බොහෝ අධ්‍යක්ෂවරුන් ඔහුගේ රංගනයේ නිලද හරියට ඇල්ලු හෙයින් ඔහු පුළුල් තිරයටද ඒ ඒ චරිතයන්ට හරියන පරිදි තාත්වික රංගනයේ යෙදෙමින් සම්මානිත රංගන ශිල්පියෙක් බවට පත් වෙන්න වාසනාවන්ත වුණා. ආසූ, ප්‍රේමය නම්, පැරඩයිස්, ඔබ නැතුව, ප්‍රාණ, ඔබ නැතුව ඔබ එක්ක වැනි අතිශය ජනප්‍රිය සිනමාපට බොහෝමයකට රංගනය ලබා දෙන ඔහු වේදිකාවේද සුවිශේෂ වූ රංගන ශිල්පියෙක්. ඔහු නමින් ශ්‍යාම් ප්‍රනාන්දු. තුන්සිය හැටපස් දවසෙම රංගනයට ඇලී කාලේ නොගෙවා කුටුම්බය රැකගන්නත් වෙහෙස ගන්න ඔහු = කතාබහට ප්‍රවිෂ්ට වුණේ මෙහෙමයි.
සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන පැරඩයිස් චිත්‍රපටයෙන් ඔබේ රංගනය දකින්න ලැබෙනවා. ඔහුත් එක්ක වැඩ කර තිබුණත් මෙය ඔබට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වෙන්න ඇති..?
මම ප්‍රසන්න විතානගේ මහතාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක හා ගාඩි‘ කියන චිත්‍රපට දෙකටම රංගනයෙන් දායක වුණා. නමුත් මෙය සුවිශේෂ අවස්ථාවක් වුණා දර්ශනා රාජේන්ද්‍රන්, රෝෂන් මැතිව් හා මලයාලම් සිනමාවේ දක්ෂ කැමරා ශිල්පී රජිව් රව් එක්ක වැඩ කරන්න ලැබීම. මෙය කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උෙලළ නියෝජනය කරමින් හොඳම චිත්‍රපට ලෙස තමයි පැරඩයිස් චිත්‍රපටය සම්මාන ලැබුවේ. තවම චිත්‍රපටය තිරගත වෙලා නැහැ , ලෝකයේ බොහෝ රටවල වගේම ලංකාවේ මැයි මස 19 වැනිදා මෙය එකවර තිරගත වීම ආරම්භ කරනවා..
ආසු චිත්‍රපටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටයත් එන්න තියෙන නිර්මාණ වලින් එකක්.
එක තැනක ඔබ කියලා තිබුණා දමිල දැනගෙන හිටියා නම් ඔබ අද කොලිවුඩ් රංගන ශිල්පියෙක් කියලා..?
මම මනිරත්නම් මහත්මයාගේ “පොන්නියින් සෙල්වන්” චිත්‍රපටයේ දෙවැනි කොටසේ චරිතයක් කළා. ඒ වෙලාවෙ එයාලා මට කිව්වා ඔයා දෙමළ දැනගෙන හිටියා නම් අපිත් එක්ක මෙහේ වැඩ කරන්න තිබුණා කියලා. මම දන්න විදිහට සිංහල කෙනෙකුට මනිරත්නම්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වුණු පළමු කෙනා මම. ඒ නිසා තමයි මම එහෙම අදහසක් කිව්වේ.
ඔබව තාත්වික රංගන ශිල්පියෙක් කරන්නේ වේදිකාව කිව්වොත්..?
මම දිගටම වැඩ කළේ රාජිත දිසානායක එක්ක වේදිකාවේ. ධර්මප්‍රිය ඩයස්ගේ එක නාට්‍යකට සම්බන්ධ වුණා. රාජිත තමයි වේදිකාවේ තාත්වික විදිහට රඟපාන්න පුළුවන් නාට්‍ය නිර්මාණ කළේ. ඒ රටාව මට කැමරාව ඉදිරියට ගෙන එන්න පහසු වුණා. ඒ නිසා තමයි මගේ රංගනය තුළින් ස්වභාවික රඟපෑම දකින්න ලැබෙන්නේ. ඒක මට සිනමාවට උපකාරී වුණා කියන්න පුළුවන්.
කැමරාව ඉදිරියට ඔබේ තාත්වික රංගනය ගෙන එන්න ඔබ නිතරම වෙහෙස ගන්නවා වගේ මගේ පන්තියේ ළමයෙක් එක්ක ඔබ අධ්‍යක්ෂණට පිවිසෙනවා..?
ඒක මගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. මගේ පන්තියේ ළමයෙක් කියන්නේ පළමු පන්තියට ළමයින් ඇතුළත් කර ගැනීමේදි ඇතිවෙන ගැටලු තමයි මේ චිත්‍රපටය ඔස්සේ කතා කරන්නේ. ලංකාවේ අධ්‍යාපනයේ අරගලය හා ගෙතුණු කතාවක්. මෙය රිවස්ටන් හා කොළඹ ප්‍රදේශ කිහිපයක රූගතකිරීම් කළේ. ජූලි මාසේ තිරගත වීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. රඟපෑමෙන් ඔබ්බට ගිහිං චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් ද කියලා බැලුවා.
ලංකාවේ තිබෙන ආර්ථික අරගලය එක්ක සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන එක අවධානමක් කියලා හිතුණේ නැද්ද ..?
අවදානමක් කියලා මම හිතන්නේ නැහැ. ඊට හොඳ උදාහරණ තියෙනවා. පසුගියදා කතුරු මිතුරු තිරගත කළා. එය සියලුම ආදායම් වාර්තා බිඳ හෙළු චිත්‍රපටයක් බවට පත් වුණා. ඒ වගේම ගජමෑන් Comedy වර්ගයේ Animation චිත්‍රපටයක් . එයත් ආදායම් වාර්තා බිඳ දැමූ ඒවා. හෝ ගානා පොකුණ වගේ ළමයි මුල් කරගෙන හැඳූ නිර්මාණ සාර්ථක වුණා. දැන් ජනතාව මානසික පීඩනයෙන් මිදෙන්න සිනමා ශාලාවලට ඇවිත් හොඳ නිර්මාණ රස විඳිනවා. ඒ නිසා මම අවදානමක් කියලා හිතන්නේ නැහැ. මගේ පන්තියේ ළමයෙක් චිත්‍රපටයත් සාර්ථකව තිරගත කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
බොහෝ නිර්මාණකරුවන් කරන්නේ නිර්මාණ විකුණා ගැනීමේ අරමුණෙන් ජනප්‍රිය තරු නිර්මාණ තුළට ඔබා ගැනීම. ඒ ගැන ඔබේ අදහස ..?
නිර්මාණයක් සාර්ථක කර ගන්න ජනප්‍රියම මුහුණු පාවිච්චි කරන්න ඕනම කියලා එකක් නැහැ. වැදගත්ම දේ දක්ෂතා තිබීමයි. තරු ගුණය විතරක් තිබීමෙන් නිර්මාණ සාර්ථක කර ගන්න බැහැ. තරු ගුණයත් දක්ෂතාත් එකතු වෙන්න ඕන.
මගේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයක් කරන මොහාන් රාජ් මඩවල දක්ෂ කතුවරයෙක්. ඔහුගේ ප්‍රථම සිනමා රංගනය තමයි මෙය. මයුර, උමා වගේ අයගේ දක්ෂතා ඉහළයි. උමා කියන්නේ වේදිකාවේ හොඳම නිළිය වුණු රංගන ශිල්පිනියක්. දැන් ප්‍රධාන ධාරාවේ නාට්‍ය කිහිපයක හා සිනමා නිර්මාණ කිහිපයක ඇය රංගනයෙන් දායක වෙලා ඉන්නවා. මම බැලුවේ ඔවුන්ගේ දක්ෂතා මේ චරිත ඔස්සේ එළියට ගන්න. හෝ ගානා පොකුණ චිත්‍රපටයේ දක්ෂ නළු නිළියෝ හිටියේ. නමුත් එය මහ රජ ගැමුණු චිත්‍රපටයට වඩා එදා ආදායම් ලැබුවා. ඒ නිසා නිර්මාණ සාර්ථක කර ගන්න පේන මුහුණු නිර්මාණයේ අවියක් කර ගන්න ඕනම කියලා මම හිතන්නේ නැහැ.
ශ්‍යාම්ට හිතන්නේ නැද්ද ශ්‍යාම් එකිනෙකට වෙනස් චරිත කළත් ඔබෙන් හරියට වැඩක් අරගෙන නැහැ, ඔබවත් එකම රාමුවකට කොටු කරලා තියෙන්නේ කියලා ..?
මම ගුරුවරයෙක් හැටියට වැඩ කළා. 2018 වර්ෂයේ තමයි ඉන් විශ්‍රාම ගත්තේ. එතකොට මට ලොකුවට උවමනාවක් තිබ්බේ නැහැ රඟපාන්න. අදත් එක දිගට වැඩ අරන් වෙහෙස වෙන්න අදහසක් නැහැ. මීටර් සීයය දෙසීය දුවලා ඉක්මනට මගේ නිර්මාණ ජීවිතේ ඉවර කරනවට වඩා මැරතන් එකක් වගේ හිමින් දුවලා දීර්ඝ කාලයක් නිර්මාණකරණයේ රැදෙන්න තමයි මට ඕන. එහෙම මාව හරියට පාවිච්චි කළේ නැහැ කියලා මගේ පසුතැවීමක් නැහැ. සතර කලාපයේ යන්න තිබ්බා නම් හොදයි. නමුත් ලැබෙන දේ හරියට කරනවා. වෙනසක් කරන්න කියලා හිතාගෙන තමයි දෙවැනි ඉණිමක් විදිහට අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණේ. ලැබෙන චරිත හැම එකක්ම මම හරියට කරන්න උත්සාහ ගන්නවා. ජේසන් පොලොක් මැරෙනකල් අවුරුදු හතළිහක් විතර ඇන්දේ එයාගේ රාමුවේ චිත්‍ර. පිකාසෝ, වැංගෝ වගේ විත්‍ර ශිල්පීන් හැමදාම ඇන්දේ ඔවුන්ගේ රටාවට මිසක් ඉන් ඔබ්බට යන්න දැඟලුවේ නැහැ. නමුත් ඒවා අදටත් පවතිනවා. මම හිතන්නෙත් එහෙමයි.
තවම ඔබ ඉන්නේ උපන් ගමේ. ඔබේ සාමකාමී ජීවිතේට එය පහසුවක්ද..?
තවම මම ජීවත් වෙන්නේ උපන් ගමේ. මේ පරිසරය එක්ක සතුටින් සාමකාමීව ජීවිතේ ගෙවන්න පුළුවන්, ශාරුක් ඛාන්ලා වගේ පාරේ බැහැලා යන්න බැරි තරම් අපේ රටේ කලාකරුවන්ට ප්‍රතිචාර ලැබෙන්නේ නැති නිසා නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන්. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා වගේ දක්ෂ රංගන ශිල්පියෙකුට එක ඇමතුමක් දුන්නත් ගිහිං මුණගැහිලා කතාබහ කරලා එන්න පුළුවන්. ජැක්සන් ඇන්තනී වගේ දහසක් වැඩ කරපු අයත් ලස්සනට පවුල් ජීවිතේ වින්දා. දරුවෝ පවුල එක්ක ජීවිතේ බෙදා ගත්තා. ඉතිං ඇතැම් අය කාර්‍යබහුලයි කියලා කියන්නේ මවාපෑමක්. මම ඒ වගේ මවාපෑම් කරන්නේ නැහැ. මම විවේකීව වැඩකටයුතු කරගෙන පවුල් ජීවිතෙන් විඳිමින් සතුටින් ජීවිතේ ගෙවනවා කියන්න පුළුවන් .
කලාකරුවන්ට කලා කටයුත්ත සාර්ථක කර ගන්න නම් කය, ගත, මනස නිරවුල්ව තියෙන්න ඕන, ඔබට ඒ නිදහස උපරිමයෙන් ලබන කෙනෙක්…?
මගේ බිරිඳ සදුනි ජයසේකර. මට ඇයව මුණුගැහෙන්නේ ඇයත් මමත් රජයේ පාසලක සේවය කරමින් සිටියදී. ඇය ප්‍රසාංගික නර්තන කලා උපාධිධාරිනියක්. මගේ රංගන පැවැත්ම දැනගෙනම තමයි ඇය අමාරුවේ වැටෙන්නේ. මට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන්න ඕන නිසා විවාහයෙන් පස්සේ දරුවන්ගේ වැඩ එක්ක එයා එයාගේ ජීවිතේ කැප කළා පවුලට. එයා ගැන කියන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මම ගෙදරින් පිට වුණාට පස්සේ එයා මට එක කෝල් එකක්වත් දෙන්නෙ නැහැ. ගෙදර එද්දී මොනවා හරි අරගෙන එන්න ඕන නම් ඒකත් මම කතා කරලා අහනකල් කෝල් කරලා කරදර කරන්නේ නැහැ. එයා දන්නවා මම කරන්නේ මොනවද? මම කවුද? කියලා. මම දන්නවා රූගත කිරීම්වලට නළු නිළියෝ ආවට පස්සේ කී දෙනෙක් කෝල් කර කර කරදර කරනවද කියලා. වීඩියෝ කෝල් ගන්න අය ඉන්නවා. ඉතිං එහෙම කරදරයක් මට බිරිඳගෙන් නැහැ. හොඳ තේරුම් ගැනීමක් ඈ සතුයි. ඒ නිසා ඒ පැත්තෙන් මම නිදහස්.
ඔබ ඒ විශ්වාසය රැකීමත් ඊට හේතුවක් වෙන්න ඇති ..?
ඔව්. මම ගැන ඇය තියන විශ්වාසය මම රකින්න ඕන. මගේ ජීවිතේ පුරුද්දක් තමයි වැඩ ටික ඉවර කරලා ඉක්මනින් ගෙදර යන එක. මම ටිකක් වැඩිපුර පවුල එක්ක ගැවසෙන්න කැමති කෙනෙක්.
දරුවෝ ගැන කිව්වොත්..?
පුතා තුමිත. එයාගේ වයස අවුරුදු දහයක්. දුව මනුලීගෙ වයස අවුරුදු පහයි. පුතා නම් දන්නවා මගේ රඟපෑම් ගැන. පුතා චිත්‍රපට නරඹනවා. ඒත් දුවට තේරුමක් නැහැ. එයා තවම පොඩියි. පුතාව මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තා ළමා නළුවෙක් හැටියට.
කැමති දේ තෝරාගෙන හරි දේ එක්ක ජීවිතේ ඉදිරියට ගෙන යන්න ඔබට මඟ පෙන්නූ දෙමවුපියන් ගැනත් කතාබහ අවසන් කරන්න කලින් කියමු..?
මගේ තාත්තා අම්මා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්. එයා දක්ෂ ක්‍රීඩකයෙක්. පසුගියදා සමස්ත ලංකා මාස්ටර් මීට් එක තිබ්බා තාත්තගේ වයස අවුරුදු 83ක්. තාත්තා තමයි මීටර 100/ 200 ධාවන තරගවලින් ගෝල්ඩ් මෙඩ්ල් එක ගත්තේ. යගුලිය විසි කරලා රිදී පදක්කම ගත්තා. එයා තවම ශක්ති සම්පන්න කෙනෙක්. අලුත් දේවල් හඹාගෙන යන කෙනෙක්. මගේ තාත්තා වගේ තමයි මමත් කියලා මට හිතෙනවා. මගේ අම්මා මට කැමති දේ කරන්න ඉඩ දුන්නා.ඒ නිසා කැමති මඟ නිවැරැදි ව යන්න මට පුළුවන් වුණා .
හර්ෂණී වීරරත්න

.png)